ඔබත් උපත් පාලන පෙති පිළිබදව ඔබ දැනුවත්ද?? Birth control pills

දරු පිළිසිඳගැනීමක් සඳහා ඔබ සූදානම් නැතිද?

upath-palana1

වර්තමාන සමාජ ක්‍රමය තුල උපත්පාලනය නැතුවම බැරි දෙයක් වී හමාරය. පවුල් සංස්ථාව තුල දරු දැරියන් ගණන බහුලවම දෙදෙනෙකුටට හෝ තුන් දෙනකුට සීමා කිරීමට සිදුවීම මූලික හේතුවයි. බොහෝ දෙනෙක් විසින් උපත් පාලන පෙති භාවිතයට ගත්තද එය තමන්ට සුදුසුවන්නේද, වෙනත් ක්‍රමයක් භාවිතයට ගැනීම වඩාත් සුදුසුද, මෙමගින් ඇතිවන අතුරු ප්‍රතිඵල මොනවාද, නිසි පරිදි පරිහරණය නොකිරීම නිසා අනපේක්ෂිත ගැබ් ගැනීම් ඇතිවිය හැකිබව ආදී කරුණු පිලිබඳ අවබෝධය මද බවක් දැකිය හැක. මෙම සටහන අවසානයේදී එම ගැටලුව සඳහා පිලියම් ලැබෙනු ඇත.

උපත් පාලන පෙති යනු මොනවාද?

උපත් පාලක පෙති ලෙස සාමාන්‍ය භාවිතයේදී බොහෝ ග් යොදා ගන්නේ පෙති 28 හෝ 21 කින් සමන්විත මිශ්‍ර හෝමෝන පෙතිය.

මෙම හෝමෝන පෙති ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන වලින් සමන්විත වේ.

  • ඊස්ට්‍රජන් මඟින් මූලිකවම සිදු කරනුයේ ඩිම්බ මෝචනය වීම වැළැක්වීමයි. ඊට අමතරව පැලෝපීය නාල චලන ඔස්සේ ඩිම්බ ගර්භාෂය වෙත යොමු වීම වැලක්වීම. ගර්භාෂයේ බිත්ති වල වෙනස් කම් ඇති කිරීම මඟින් සංසේචිත ඩිම්බ ගර්භාෂයේ රෝපණය වීම වැළැක්වීම. යෝනි මාර්ගය තුළ ස්‍රාවයන්ගේ ඝනත්ව ඉහළ දැමීම මඟින් ශුක්‍රාණු ගර්භාෂය වෙත ගමන් කිරීමේ හැකියාව අඩු කිරීම.
    ආදියද සිදු කරයි.
  • ප්‍රොජෙස්ටරෝන් මඟින් උපත් පාලනය කෙරෙහි ඍජු බලපෑමක් නැතත් ඊස්ට්‍රජන් බාහිරින් ලබා ගැනීම නිසා ඇතිවන, ගර්භාෂ බිත්තියේ ඝනවීම් හා මාසික ශුද්ධියේදී ඇතිවිය හැකි අධික රුධිර වහනය මඟ හැරවීම ආදිය ද සිදු කරයි.

උපත් පාලක පෙති භාවිතයට පෙර සැළකිලිමත් විය යුතු කරුණු.

  • ඔබ වයස අවුරුදු 40ට වැඩි වීම
  • දුම්පානයට යොමු වූවකු නම් වයස 35 ට වැඩි වීම
  • මඳ වශයෙන් වන රුධිර පීඩනය 140-159/90-99 mmHg
  • දියවැඩියාව
  • නිරන්තර හිසරදය
  • රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමානය ඉහල යෑම
  • ස්ථුල තාවය
  • යෝනි මාර්ගය ආශ්‍රිත, හේතුව හදුනානොගත් ලේ ගැලීම
  • ගර්භණී සමයකදී ඇඟ කහ වීමේ ගැටළු වලට මුහුණ දී තිබීම
  • පිත්තාශය ( gallbladder) ආශ්‍රිත ගැටළු
  • පිළිකාකාරී නොවන අක්මාව ආශ්‍රිත ගැටළු
  • ගැබ්ගෙල පිළිකා හෝ පිළිකකාරී තත්වයන්
  • පියයුරු වල පිළිකා තත්වයන් ඇතිවී තිබීම

ඉහත සඳහන් කුමන හෝ තත්ත්වයක් ඔබට අදාල නම් උපත් පාලක පෙති භාවිතයේදී සැළකිලිමත් විය යුතු අතර වෛද්‍ය උපදෙස් යටතේ මෙය කිරීම වඩා යෝග්‍ය වේ.

  • රුධිර නාල තුල ලේ කැටි ගැසීම
  • අධි රුධිර පීඩනය
  • මොළයේ ලේ කැටි ගැසීම
  • හෘද කපාට ආශ්‍රිත ගැටළු
  • හෘදයාබාධ හෝ ලේ කැටි ගැසීම
  • ඉරුවාරදය
  • අක්මාවේ- සිරෝසිස් ගැටළු(Cirrohsis) හෝ පිළිකාකාරී තත්ත්වයක්
  • ගැබ්ගෙන ඇතැයි සැක සහිත අවස්ථා
  • මව් කිරි ලබාදෙන මවක් වීම
  • මෑතකදී සිදු කළ ශල්‍යකර්මයක් නිසා හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් විවේකීව, චලනයකින් තොරව ඇදක් මත රැදී සිටීමට සිදුවීම

මෙම ගැටළු වලින් කිසිවකට හෝ ඔබ මුහුණපා සිටින්නේ නම් මිශ්‍ර හෝමෝන පෙති උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතය නුසුදුසු වන අතර පවුලේ වෛද්‍යවරයකු හමුවී ඔබට සුදුසු වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.

උපත් පාලන පෙති භාවිතයට ගැනීමේදී ඔබ සැළකිලිමත් විය යුත්තේ ඇයි???

හෝමෝන අඩංගු උපත් පාලන පෙති භාවිතය නිසා ඔබත් මෙවැනි ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දිය හැක.

  • පාද වල රුධිර නාල තුල ලේ කැටි ඇතිවීම හා ඒවා ශරීරය පුරා ගමන් කරමින් විවිධ අවයව වලට වන රුධිර සැපයීම අඩපණ කරවමින් හානි පැමිණවීම. (Venous thromboembolism)
  • රුධිර නාල වල මේද සංඝටක තැන්පත් වීම.(Atherosclerosis) නිසා හෘදයාබාධ සඳහා හේතු සාධක වීම.
  • අධි රුධිර පීඩනය
  • අක්මාව ආශ්‍රිත ගැටළු
  • පිත්තාශයේ ගල් ඇතිවීම
  • මානසික තත්වයන් පහළ වැටීම හෙවත් මානසික සමතුලිතතාවය බිද වැටීම (Depression)

මෙවැනි බරපතළ ගණයේ ගැටළු වලට අමතරව එදිනෙදා ජීවිතයේදී ගැටළුකාරී වන වෙනත් තත්ත්වයන්ද උපත් පාලන පෙති නිසා ඇති විය හැක.

  • ඔක්කාරය හා වමනය
  • හිසරදය
  • කෙන්ඩා පෙරලීම
  • පියයුරු වල වේදනාව
  • ස්ථුල භාවය / බර වැඩිවීම
  • මාසික ඔසප් වීමේදී රුධිර වහනය වැඩි වීම
  • ලිංගික රුචිය අඩුවීම
  • යෝනි ආශ්‍රිත සුදු පැහැති ශ්‍රාවය
  • ඔසප් චක්‍රය මැද ඔසප් වීමට අමතරව, යම්විටෙක රුධිර වහනයක්

ආදිය ඔබ මුහුණ දිය හැකි අනෙකුත් ගැටළුකාරී තත්වයන් වේ.

උපත් පාලන පෙති භාවිතයේදී සැළකිල්ලට ගත යුතු කරුණු.

සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන මිශ්‍ර හෝමෝන උපත් පාලන පෙති ඛාණ්ඩ 2කි.
එනම්,

  • දින 28 ක් සඳහා වන පෙති පැකට්ටුව.
  • දින 21 ක් සඳහා වන පෙති පැකට්ටුව.
  • පෙති ලබා ගැනීන මාසික ඔසප් වීම ඇරඹී 5 වන දිනයේදී ආරම්භ කළ යුතුය.
  • පෙති ලබා ගැනීම රාත්‍රි කාලයේ සිදු කිරීම මැනවි.

දින 28 ක් සඳහා වන පැකට්ටුව නම් පළමුව සුදු පැහැති පෙති ලබාගැනීම ආරම්භ කළ යුතුය. එම පෙති 21 අවසන් වූ පසු ඉදිරි දින 7 ඇතුලත රතු පැහැති පෙති 7 ලබා ගත යුතුවේ.පෙති 28 ම අවසන් වූ පසු මීළඟ පැකට්ටුව භාවිතයට ගැනීම ඇරඹිය යුතු අතර පැකට්ටු භාවිතය අතර කාල පරතරයක් නොතිබිය යුතුය.

දින 21 පැකට්ටුවක් නම්, පළමු දින 21පෙති ලබා ගැනීම සිදු කළ යුතු අතර ඉන්පසු දින 9 ක් පෙති රහිත කාලයකින් අනතුරුව නව පැකට්ටුව භාවිතය ආරම්භ කළ හැකිය.

යම්හෙයකින්, එක් දිනක් පෙති ලබා ගැනීම අතපසු වුවහොත් මතකයට ආ සැනින් එය ලබා ගැනීම සිදු කල යුතු අතර එම දිනට අදාළ පෙත්ත රාත්‍රියේ සුපුරුදු ලෙස ලබා ගැනීමද කල යුතු වේ.

යම් හෙයකින් දින 2ක් හෝ වැඩි ගණනක් ඍජුවම පෙති ලබා ගැනීම අතපසු වුවහොත්, උපත් පාලනය සඳහා වන වෙනත් ක්‍රමයක් (condom භාවිතයද), ඉතිරි පෙති සුපුරුදු ලෙස ලබාගැනීමට අමතරව සිදු කල යුතුය.

ගබ්සාවකින් (Abortion) හෝ ගර්භාෂය පිරිසිදු කිරීමකින් (Womb Washing) පසුව නම්, එම ක්‍රියාවෙන් දින 5කට පසු සිට උපත් පාලන පෙති ලබා ගැනීම ඇරඹීම මඟින් නැවත හදිසි, අනපේක්ෂිතව ඇති විය හැකි ගැබ් ගැනීම් වලක්වා ගත හැක.

සෑම විටම උපත් පාලන පෙති සඳහා යොමුවීමට ප්‍රථම පවුලේ වෛද්‍යවරයකුගේ සහාය පැතීම සුදුසුය. එහිදී ඔබ හෝ පවුලේ ලඟම ඥාතීන් මුහුණ දී ඇති ලේ කැටි ගැසීම, අධි රුධිර පීඩනය හා දියවැඩියාව. ගැබ්ගෙල, පියයුරු පිළිකා තත්ත්වයන් පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න.

අනෙකුත් උපත් පාලන ක්‍රම වලට වඩා උපත් පාලන පෙති භාවිතයේ ඇති වාසි

  • 100% සාර්ථක ක්‍රමයක් වීම
  • භාවිතයේ පහසුව
  • නැවත් ගැබ් ගැනීමට අවශ්‍ය වූ විට උපත් පාලනය පහසුවෙන් නැවැත්වීමට හැකි වීම
  • ලිංගික ක්‍රියාවලියේදී අපහසුතාවයක් හෝ තෘප්තියට බාධාවක් ඇති නොවීම

උපත් පාලනයට අමතරව පහත සඳහන් ගැටලුකාරී තත්වයන්ට සහනයක් සැලසීම.

  • ඔසප් චක්‍රය ක්‍රමවත් වීම
  • ඔසප්වීම සමඟ වන වේදනාව අවම කිරීම
  • අධික ලෙස වන රුධිර වහනය අවම කිරීම
  • ඔසප් වීම සිදුවීමට පෙර බොහෝ ස්ත්‍රීනට සිදුවන මානසික ආතතිය වැනි තත්වය (pre menstrual steam – PMS)අවම කිරීම
  • ගර්භාෂ ගෙඩි හට ගැනීම (fibroid), ගර්භාෂ පටක ගර්භාෂයෙන් පිටත ඇතිවීම (Endometriosis), ගර්භාෂයෙන් පිටත ඇතිවන ගැබ් ගැනීම් අවස්ථා අවම කිරීම
  • අනවශ්‍ය රෝම කූප (Hirsutism) හා කුරුළෑ (Acne) අවම කිරීම
  • ගර්භාෂයේ හා ඩිම්බකෝෂ වල පිළිකාකාරී තත්වයන් අවම කිරීම
  • පිළිකාකාරී නොවන පියයුරු ගැටළු සඳහා අවධානම අවම කිරීම

උපත් පාලන පෙති භාවිතය නැවැත්විය යුතු අවස්ථා

  • අධික ඉරුවාරදය
  • ක්ලාන්ත ගතිය
  • ඇස් පෙනීමේ හෝ කතා කිරීමේ අපහසුතාවයන් ඇතිවීම
  • හදිසියේ ඇතිවන පපුවේ කැක්කුම
  • කෙන්ඩා පෙරලීම
  • අධික ලෙස බර අඩු වීම
  • මානසික අසමතුලිතතා
  • ශල්‍යකර්මයකට සති 4 පෙර
  • ඇඟ කහවීම්
  • චලනයකින් තොරව එක්තැන් වී සිටින අවස්ථා

උපත් පාලන පෙති භාවිතයට ගැනීමේදී දැන සිටිය යුතු කරුණු පිලිබඳව මේ මගින් ඔබට යම් අදහසක් ලැබෙන්නට ඇතැයි සිතමි. අනෙකුත් උපත් පාලන ක්‍රම පිලිබඳවත් වෙනත් පිටුවකින් දැනුවත් වෙමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments