පියයුරු පිළිකා පිළිබඳව සමාජයේ ඇති වැරදි වටහාගැනිම්

breast-myths-01ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම ගැහැණු අය 08 දෙනෙකුගෙන් එක් අයකුම පියයුරු පිළිකා සඳහා ගොදුරු වනවා. මෙයට මූලිකම හේතුව වී තිබෙන්නේ පියයුරු පිළිකා පිලිබඳව මිනිසුන් තුල ඇති අල්ප දැනුම හා වැරදි ආකල්පයන්. අද මේ ලිපිය තුලින් සාකච්ඡා කෙරෙනුයේ පියයුරු පිළිකා පිලිබඳව ඇති කරුණු කිහිපයක් පිලිබඳවයි.

1. පියයුරු පිළිකා ඇතිවන්නේ කාන්තාවන්ට පමණක්ද?

99% රෝගීන් කාන්තාවන් වූවත්, 1% පමණ, එනම් වසරකට 2000 පමණ පිරිමි රෝගීන්ද වාර්තා වනවා. බොහෝවිට, ‘පිරිමි අයට ඇතිවිය නොහැක’ යන සමාජ සම්මතයේ සිටින නිසා, ගැහැණු රෝගීන්ට වඩා පිරිමි රෝගීන් වෛද්‍ය උපදෙස් පතන්නේ රෝගය ඇතිවි බොහෝ කලක් යාමෙන් පසුවයි, මේ නිසාම රෝගයේ බරපතල බවත් වැඩිවනවා.

2. පියයුරු පිළිකා කෙනකුගෙන් තවත් අයකුට සම්ප්‍රේෂණය වන්නට පුලුවන්ද?

පියයුරු පිළිකා සෛල ලෙස හඳුන්වන්නේ විකෘති ලෙස විභාජනය වන සිරුරේම සෛල කොටස් වලටයි. මෙය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නැහැ. එනම් පියයුරු පිළිකාවක් බෝවීමේ අවස්ථාවක් කිසිසේත්ම නැහැ.

3.deodorant / Antiperspirant එහෙම නැත්නම් දහඩිය දැමීම වළක්වන, අත් යට කිහිලි ප්‍රදේශයට භාවිතා කරන, මෙම ආලේපන පියයුරු පිළිකා වර්ධනයට හේතු වනවාද?

දැනට එවන් කිසිම විද්‍යාත්මක පසුබිමක් සොයාගෙන නැහැ, එම මතය අර්ථ ශුන්‍ය බවට දැනට පිළිගෙන තිබෙනවා.

4. Mammogram නැතිනම් X-Ray කිරණ යොදා කරන පියයුරු පරික්ෂාව නිසා පිළිකාවක් වර්ධනය විය හැකිද?

X-Ray කිරණ සිරුරට අහිතකර වූවත් Mammogram පරීක්ෂාවක් සදහා යොදාගැනෙන්නේ ඉතා අවම කිරණ ප්‍රමාණයක් නිසා එය පිළිකාවක් වර්ධනය වවීමට තරම් ප්‍රමාණවත් නැති බව පිළිගෙන තිබෙන මතයයි.

5. ඔබගේ පවුලේ පිළිකා ඉතිහාසයක් ඇත්නම් ඔබත් අනිවාර්යෙන්ම ඊට ගොදුරු වේවිද?

පියයුරු පිළිකා සදහා රෝගී ඉතිහාසයක් සහිත පවුල් වල සියලු කාන්තාවන්ට ඒ සදහා අවධානමක් තිබිය හැකි නමුත්, එය අනිවාර්යෙන්ම ඇතිවිය හැකි බවට නිර්ණය කල නොහැකි වීම සතුටට කරුණක්. ඒ නිසා ඒ පිලිබඳව නොසැලකිලිමත්විය හැකි බවක් මින් අදහස් කෙරෙන්නේ නෑ.

6. පවුලේ රෝග ඉතිහාසයක් නොමැතිව එකවිටම යම් රෝගියකුට පියයුරු පිළිකාවක් ඇතිවිය හැකිද?

පවුලේ රෝග ඉතිහාසයක් නොමැතිවීම නිසා ඔබ අවධානම් කලාපයෙන් ඉවත් කරන්නට බැහැ. එයට හේතුවන්නේ 85-90% අතර රෝගීන්ට එවැනි පවුලේ රෝගී ඉතිහාසයක් නොමැති වීමයි. මින් අදහස් කෙරෙන්නේ, අධික මේදය, ස්ථුලතාවය, දරුඵල නොමැතිවිම හා මව්කිරි ලබා නොදිම, විකිරණ වලට භාජනය විම, බාහිරින් හෝමෝන ප්‍රතිකාර ලබාගැනීම ආදී සාධකද මෙහිදී රෝග කාරක ලෙස එක හා සමාන වැදගත් කමක් ලබාගන්නා බවයි.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments