කාන්තාවන් හට විශේෂිත වූ පිළිකා තත්වයන් 04 ක්

නොදැනුවත්කම හා නොසැලකිලිමත්කම නිසාත් යම් යම් රෝග තත්වයන් උග්‍රවී උත්සන්න වන තුරුම ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගෙන නොතිබීම අද සමාජයේ කාන්තාවන් බොහොමයක් මුහුණදෙන ගැටලුකාරී තත්වයක්.

මේ ආකාරයෙන් කාන්තාවක් විසින් සැලකිලිමත් විය යුතු මුලිකම කරුණ ලෙස පිළිකා තත්වයන් හදුන්වන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ ශරීරයේ සාමන්‍ය සෛල කොටසක්, කලක් තිස්සේ බාහිරින් හෝමෝන, කිරණ, රසායනික ද්‍රව්‍ය හෝ රලු ස්පර්ශයන් ආදියට ලක්වීම හෝ ජානමය වශයෙන් ඇතිවී තිබෙන විකෘතිතාවයක් නිසා එක්වරම අසාමන්‍ය හැසිරීමක් ඇරඹීමයි. අධික වේගයෙන් විභාජනය වී වැඩීමත්, එම අසාමන්‍ය ලක්ෂණ සහිත සෛල අවට ඇති සාමන්‍ය සෛලද පාලනය කෙරෙමින් වැඩෙන නිසා මෙය පිළිකාවක් ලෙස හඳුන්වනවා. ඒ අතරිනුත්, කාන්තාවන්ටම විශේෂ වූ අවයව වල ඇතිවන එවන් තත්වයන් ලෙස

ගැබ් ගෙල පිළිකා
ගර්භාෂ පිළිකා
ඩිම්බ කෝෂ පිළිකා
පියයුරු පිළිකා

ආදිය දක්වන්න පුළුවන්.

ගැබ් ගෙල පිළිකා

කාන්තාවන් වයසට යත්ම ඇතිවිය හැකි පිළිකා තත්වයන් වුවත් මේ සඳහා කාන්තාවන්ට යොමුවිමට උපදෙස් දෙන්නේ වයස 35 සම්පුර්ණ විමත් සමගයි. ලිංගිකව ක්‍රියාකාරීව සිටින කාන්තාවන්ට මෙන්ම, එසේ නොවන වයසින් වැඩි කාන්තාවන්ටද මෙහි අවධානමක් තිබෙනවා. ලිංගිකව බෝවන රෝග වැළදී තිබීම. එක් ලිංගික සහකරුවෙකුට වඩා සිටීම. ඉතා කුඩා අවධියේම ලිංගිකව සක්‍රීය වීමත් මේ සදහා ඇති අවධානම වැඩි කරනවා. කළු දුඹුරු පැහැති ලේ පිටවිම මෙහි මුලික ලක්ෂණයක්. මීට අමතරව ඔසප් විම අතර වන ලේ ගැලීම්ද, ලිංගිකව එක්විමකින් පසුව ඇතිවන ලේ ගැලීම් ද ඇතිවන්නට පුළුවන්. නමුත් බොහෝ කාන්තාවන් මේ ගැන අවධානයක් යොමු නොකොට මෙය නොසලකාහරිනවා. නැවත මේ ගැන අවධානය යොමු කෙරෙන්නේ තදබල කොන්දේ වේදනාවක් හා නිතර නිතර ලේ ගැලීම් ඇතිවන විටයි. ඒ වනවිට බොහෝවිට එම තත්වය ගැබ්ගෙල සිට ඒ අවට ඇති අනෙක් අවයව වලට වගේම අස්ථි වලටත් පැතිරි ගොස් අවසාන වන්නට පුළුවන්. මෙහි රෝග ලක්ෂණ ඇති මුල් අවධියේම වෛද්‍ය සහය පැතීමත්, රෝග ලක්ෂණ වලින් තොරව වුවත්, වසර 02කට වරක් හෝ “pap smear” (ගැබ් ගෙල සෛල ලබාගෙන එහි අසාමන්‍යතා ඇතිවි තිබේද යන්න නිර්ණය සඳහා සිදුකෙරෙන පරීක්ෂාවක්) සිදුකරගැනීම මගින් පිළිකා අවධානම මුල් අවධියේදීම හ‍‌‍ඳුනාගැනිමේ හැකියාව ලැබෙනවා.

ගර්භාෂ ආශ්‍රිත පිළිකා

ගර්භාෂ ආශ්‍රිත පිළිකාත් අද සමජයේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබනවා, මීට නිසි හේතුවක් සොයාගෙන නැතත්, ශරීරයේ ඊස්ට්‍රජන් ශ්‍රාවී තත්වයන් ඉහළ නංවන තරබාරු බව , හෝමෝන පෙති භාවිතය, ක්‍රියාශීලි බව මදකම ආදී තත්වයන් නිසා මෙහි අවධානම වැඩිවන බව දැනට ඇති පිළිගැනීමයි.
ඔසප් චක්‍රය අක්‍රමවත්විම, අධික රුධිර වහනය හා උදරය ආශ්‍රිත පුරවා දැමීම වැනි ලක්ෂණ මුල් අවධියේදි ඇතිවන අතර, එම ලක්ෂණ තේරුම් ගැනීමේ හැකියාව සහිත නම්, මුල් අවධියේම ඒ සදහා ප්‍රතිකාර වලට යොමුවිය හැකි වෙනවා. පිළිකා සෛල ව්‍යප්ත විම නවතා ගැනීමේ හැකියාව තිබෙන නිසා ජිවිත හානි ඇතිවිමේ අවධානමත් වැළකීමට පුළුවන්.

ඩිම්භකෝෂ ආශ්‍රිත පිළිකා

ඩිම්භකෝෂ ආශ්‍රිතව හටගන්නා පිළිකා, තරුණ වයසේ කාන්තාවන් අතර වගේම ඉතා වයස්ගත කානතාවන් අතරද දක්නට ලැබෙනවා. මේ අතරින් වඩා සීග්‍රයෙන් පැතිර යන මාරාන්තික විය හැකි පිලිකා මෙන්ම, කාලයක් යන තුරුම හැඟවීමකින් තොරවම ශරීරය තුල වැඩෙන පිළිකාත් දක්නට තිබෙනවා. බොහෝවිට, කෑම අරුචිය, අධික ලෙස බර පහත වැටීම මෙහිදී ඇතිවන මුල්ම ලක්ෂණ විය හැකියි. කලක් යත්ම උදරය පුරවා දැමීම, ශ්වසන අපහසුතා ඇතිවීම ආදී ලක්ෂණ උද්ගතවන්නට පුළුවන්, මේවා පිලිබඳව නිසි දැනුවත්වීමක් ලබා සිටින්නේන්ම්, රෝගයේ මුල් අවදියේදීම ප්‍රතිකාර සඳහා යොමුවී, එය මාරන්තික වීම වලක්වාගැන්මට පුලුවන්.

පියයුරු පිළිකා

කාන්තාවන්ට පිළිකාව වැලඳීමේ වැඩි අවධානමක් තිබුණත්, මෙය පිරිමි අයටද ඇතිවිමේ 1% පමණ වන අවධානම් තත්වයක් පවතින රෝගයක්. වයස අවුරුදු 50 පමණ වනවිට මේ සඳහා වන අවධානම් තත්වය වැඩිවන අතර ඊස්ටජන් හෝමෝනය උපත් පාලන පෙති හරහා ලබාගැනීම, දරුඵල නොමැතිවීම, දරුවන්ට මවුකිරි ලබාදි නොතිබීම ආදී තත්වයන් හේතුවන්නට පුළුවන්. මෙය මුල් අවධියේදි වේදනා දෙන ගැටයක් ලෙස ඇතිවි කලකින් ඉතා වේගයෙන් පියයුරු පුරාමත්, අනෙක් පියයුරට වගේම, රුධිරය ඔස්සේ මොළය පෙනහළු, අස්ථි, අක්මාව ආදියටත් පැතිරි යන්නට පුළුවන්. මුල් අවධියේදීම නිවැරදි ලෙස හදුනාගෙන ඉක්මණින් ඉවත් කිරීම සිදුකර ගතහොත් නැවත ඒ පිළිබ‌‍‌‍ඳව බියකින් තොරව ජීවත්වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

කාන්තාවක් ලෙස මේ කරුණු ගැන යම් අවබෝධයක් ලබාගෙන, ඒ පිලිබඳව අවධානය යොමු කිරීම මඟින්, ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් මුහුණදීමට සිදුවන අවාසනාවන්ත තත්වයන්ගෙන් අත්මිදෙන්නට අවස්ථාව උදාවනු ඇත.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments