ගැබ් ගෙල පිළිකා – carcinoma of the cervix

කුමක්ද මේ ගැබ් ගෙල පිළිකාව නොහොත් carcinoma of the cervix?

ගර්භාශයේ හෙවත් දරු බොක්කේ, කුඩාම සහ පහතින්ම පිහිටා ඇති කොටස ගැබ් ගෙල ලෙස හඳුන්වනු ලබයි. සමාන්‍ය අවස්ථාවන්හිදී 2cm පමණ දිගකින් යුක්ත වන මෙය දරු උපතකදී ඇතිවන උත්තේජන හේතුවෙන් දිගින් අඩුවී විවෘත වීමත් සමඟ ගර්භාශය යෝනි මාර්ගය හා සම්බන්ධ කරවමින් දරු උපත් නාලය සකසයි.

ගැබ් ගෙලෙහි ඇතිවන පිළිකා බොහෝමයක් වයස අවුරුදු 45~55 අතර පමණවන කාන්තවන් අතර දක්නට ලැබෙන නමුත්, වයස අවුරුදු 30~35 පසුවීමමත් සමඟ මෙම තත්වයට භාජනයවීමේ අවධානමට බොහෝ කාන්තාවන් ලක්වේ. අන් සෑම පිළිකාවක් මෙන්ම ගැබ් ගෙල පිළිකාද ඇතිවන්නේ කාලයත් සමඟ වන සෛල විකෘතිවීමක් නිසාවෙනි.

උපතේ සිට ශරීරයට හිතකරව පවතින සාමන්‍ය සෛල ක්‍රමක්‍රමයෙන් පිළිකාකාරී සෛල බවට පරිවර්තනයවීමක් මෙහිදී සිදුවේ. අභ්‍යන්තර සෛල බාහිර කාරක වලට නිරන්තරයෙන් නිරාවරනය වීම මේ සදහා මූලිකවම හේතුවේ. ඕනෑම කාන්තවකගේ ශරීරය තුළ මේ වෙනස්වීම් ඇතිවිය හැකිවූවද යම් යම් කරුණු මේ සඳහා වන අවධානම වැඩි කරයි.

අවධානම ඉහළ දමන කරුණු

  • පළමු ලිංගික එක්වීම අඩු වයසෙන් සිදුවීම. ( උදාහරණයක් ලෙස; අවුරුදු 16ට අඩු)
  • පළමු ගැබ් ගැනීම අඩු වයසෙන් සිදුවීම.
  • දරු උපත් වාර ගණන වැඩිවීම සහ උපත් අතර පරතරය අඩුවීම.
  • ලිංගික සහකරුවන් එක් අයෙකුට වඩා ඇසුරු කිරීම.
  • ලිංගාශ්‍රිත සමාජ රෝග වලට ලක්වී සිටීම. ( sexually transmitted diseases )

මීට අමතරව, දුම් පානයට ගොදුරුවී සිටින, අඩු සමාජයීය හා ආර්ථික මට්ට්ම් වල කාන්තාවන් මෙන්ම, දිගුකාලීනව උපත් පාලන පෙති (OCP) භාවිතය සඳහා යොමුවී සිටින කාන්තාවන්ද මේ සඳහා වැඩි අවධානමක් දරයි.

ගැබ් ගෙල පිළිකාවක රතු එළි

  • මාසික ශුද්ධවීමට අමතරව අක්‍රමවත්ව හෝ නොනැවතී හෝ සිදුවන රුධිර වහනය.
  • ලිංගික එක්වීමක් අතරතුර හෝ එක්වීමකින් පසුව සිදුවන රුධිරවහනය.
  • යටි බඩ අශ්‍රිත වේදනාව.
  • අප්‍රිය ජනක ගන්ධයක් සහ බොහෝවිට දුඹුරු පැහැයෙන් යුක්ත යෝනි ශ්‍රාවයක් පිටවීම.

පිළිකා සෛල උඩුදිවීමක් සිදුවුවහොත්, ගැබ් ගෙලට අමතරව ඒ ආශ්‍රිත වෙනත් අවයවද පිළිකාවට ගොදුරුවිය හැකිය.

මුත්‍රා මාර්ගය ආශ්‍රිතව, මුත්‍රා සමඟ ලේ පිටවීම, මුත්‍රා දැවිල්ල, දිනකට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම.

ගුද මාර්ගය ආශ්‍රිතව, මළපහ සමඟ ලේ පිටවීම, ගුද මාර්ගය ආශ්‍රිත වේදනාව ආදී කරුණු වලට අමතරව, බොහෝ පිළිකා තත්වයන්හීදි දක්නට ලැබෙන සීඝ්‍රයෙන් ශරීර බර පහත වැටීම, සුදුමැලිවීම, අධික වෙහෙසට පත්වීම ආදී කරුණුද ගැබ් ගෙල පිළිකාවන්ට පොදුවේ.

ගැබ් ගෙල පිළිකා මර්ධනය කරන්නේ කෙසේද?

  • පිළිකා සඳහා වැඩි අවධානම් කාණ්ඩයකට තමන් ඇතුලත් වන්නේදැයි සොයා බලා ඒ පිලිබඳ අවධානයෙන් සිටීම.
  • ලිංගිකව එක්වන මුල් වසර කිහිපය තුළදී හෝ කොන්ඩ්ම් භාවිතයට යොමුවීම.
  • රෝගී තත්ත්වයේ මුල් අවධියේදීම එය හඳුනාගැනීම හා නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම.
  • අවම වශයෙන් වයස අවුරුදු 35 පසුවීමත් සමඟ ගැබ් ගෙල පිළිකා හඳුනාගැනීම සඳහා වන ‘පැප් පරීක්ෂණය’ ( pap smear test ) සඳහා වසර 5 කට වරක් හෝ කාන්තා සායනවලදී පෙනී සිටීම.
  • සැකයක් මතුවන ඕනෑම අවස්ථාවකදී පසුබටවීමකින් තොරව වෛද්‍යවරයකු වෙත යොමුවී සැක හැර ගැනීම.

Author – Dr. H.Vithana (M.B.B.S)

වෙනත් ළිපි :

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments