මාසික ඔසප් චක්‍රය හා බැදුණු සෞඛ්‍යමය ගැටලු (Menstrual cycle)

කාන්තාවක් විදියට, මාසික ඔසප්වීම, ඔසප් වේදනාව සමනය කරගැනීම, සනීපාරක්ෂක තුවායන් භාවිතය, ආදී මාතෘකාවන් සමාජය තුල පොදුවේ සාකච්ඡා කරන්න ඔබ පැකිලීමක් දක්වනවා විය හැකියි.සෑම විටම කතා බහට නොගැනෙන, නමුත් දැනගතයුතු කරුණු බොහෝමයක් සහිත, කාන්තාවන්ට වැදගත්වන, ඔසප් ඇතිවීම හා ඒ ආශ්‍රිතව ඇතිවන ගැටලු නිරාකරණය කරගන්නේ කෙසේද යන්න පිලිබඳව අද මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි අපගේ බලාපොරොත්තුව.

Q/ ඔසප් ඇතිවීමේදී තමන්ට ඇතිවන රුධිර ගැලීම අසාමන්‍යද?

ප්‍රමාණයක් වශයෙන් මේ රුධිර ගැලීම, එක් එක් කාන්තාවන්ට වෙනස් හා අවේනික ස්වරූපයක් ගන්නවා. සාමන්‍ය ලෙස සැලකෙන්නේ ඔසප් චක්‍රය තුල 80ml පමණ වන රුධිර ගැලීමක්.

ඔසප් ඇතිවන දින ගණන සැලකූ විටද ඇත්තේ මෙවැනිම තත්වයක්. දින 4-5 අතර කාලයක් සාමන්‍ය ලෙස සැලකුනත්, සමහර කාන්තාවන්ට එය දින 3ක් ලෙස අඩු දින ගණනක්ද, දින 7ක් වැනි වැඩි දින ගණනක් ලෙසද ඇතිවන්නට පුලුවන්. තමන්ගේ ඔසප් රුධිර ගලනය, සාමාන්‍යද, නැද්ද යන වග, ක්‍රමක්‍රමයෙන් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වනවිට මෙය තමන්ටම වටහා ගැනීමට හැකිවනවා. වෙනදා සාමන්‍යට වඩා අඩු හෝ වැඩි වහනය වීමක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීමට, තමන්ගේ රුධිර වහනය කෙබඳුද යන්න දැන සිටීම වැදගත්වනවා. වරකදි භාවිතයට ගැනෙන සනීපාරක්ෂක තුවා ගණනත්, තුවා මාරු කිරීමේ අවශ්‍යතාව ඇතිවන කාලපරතරයත්, මේ සඳහා නිර්ණායක ලෙස යොදාගන්න ඔබට පුලුවන්. සෑම විටම, මෙය ඔබගේ සාමාන්‍ය තත්වයන් හා සන්සන්දනය කිරීමෙන් තීරණය කලයුතු වන බව සිහිතබා ගන්න.

ඔසප් ඇතිවීමේදී ඔබට ඇතිවන වේදනාව සාමාන්‍ය වේදනාවක්ද?

ඔසප් චක්‍රය ක්‍රියාත්මකවි රුධිර වහනය ඇතිවන දවස් කිහිපය තුල වේදනාවක් ඇතිවීම බොහෝ කාන්තාවන්ට ඇතිවන ගැටලුවක්. නමුත් එය සාමන්‍ය ඔසප් වේදනාවක්ද නැතහොත් යම්කිසි සෞඛ්‍යමය ගැටලුවක් නිසා ඇතිවන්නක්ද කියා වෙන්කොට හඳුනාගැනීම බොහෝ විට ප්‍රශ්නයක් වනවා. එම තත්වය වෙන්කොට හඳුනාගන්නේ කෙසේදැයි අපි බලමු.

සාමන්‍ය ඔසප් වේදනාවක ලක්ෂණ.

  1. සාමන්‍ය ඔසප් වේදනාවක් ඇතිවන්නේ ඔසප් විම ආරම්භ වූ දිනයේ සිට දින 1 – 3 අතර කාලයේදී පමණයි.
  2. සාමන්‍ය වේදනා නාශක වලින් සමනය කරගත හැකි මෙය එදිනදා කටයුතු අඩාල කරවන තරම් දරුණු වන්නේ නැහැ.
  3. යටි බඩ හා උදර ප්‍රදේශයට සීමාවනවා.

අසාමාන්‍ය යයි සැලකිය යුතු ඔසප් වේදනාවක ලක්ෂණ.

  1. මෙම වේදනාව ඔසප් චක්‍රය පුරාවටම පවතින්නට ඉඩ තිබෙනවා.
  2. ඔසප් ආරම්භ විමට දින කිහිපයක පෙර සිටත් ඔසප් අවසන්වී දින කිහිපයක් යන තුරුත් පවතින්නට පුලුවන්.
  3. යටි බඩ හා උදර ප්‍රදේශයට පමණක් සීමානොවී, උසුලා ගත නොහැකි තරම් වේදනාවක් කොන්ද හා දෙකකුල් පුරාද පැතිර යයි.
  4. ඔසප් ඇතිවිම අතරතුරද යම් විටක දැඩි වේදනාවක් ඇතිවිම. (Inter-menstrual pain).
  5. සහකරුවකු සමග එක් විමෙදී ද දැඩි වේදනාවක් ඇතිවිම.

අසාමාන්‍ය ගණයේ මෙවන් වේදනාවක් නීර්ණය කරගැනීමට යම්විටෙක කාන්තාවන්ට බොහෝ කාලයක් ගතවනවා. මේ නිසා අධික මානසික පීඩනය, දරුඵල අහිමිවීම වගේ තත්වයන්ද ඒ අතරතුර ඇතිවනවා. ඔබගේ ඔසප් වේදනා ඇතිවිමේ අසාමාන්‍යතාවයක් හදුනාගත හැකිනම්, වෛද්‍ය උපදෙස් පැතීම මඟින් වේදනාව වගේම, එය ඇතිකරවන හේතුකාරකයද සමනය කරගැන්මට ඔබට හැකිවේවි.

PMS කියන්නේ ඇත්තටම කුමක්ද?

Pre Menstrual Syndrome එහෙම නැත්නම් PMS කියලා හඳුන්වන්නේ ඔසප් විමට ආසන්නයේ ඇතිවන මානසික ස්භාවයේ දෝලනයන්(mood swings), විවිධ කෑම වර්ග සඳහා දැඩි ඇල්මක් ඇතිවීම, තරහකාරී බව, මානසික ආතතිය ආදී ලක්ෂණ රැසක එකතුවක්. මෙය සරළ තත්වයක සිට ඉතා තීව්‍ර තත්වයකට පවා දිවයන්න පුළුවන්.

මානසික ආතතිය, තිගැස්ම හා අවධානය යොමුකර ගැනීමේ හැකියාව අඩුවීම, විවිධ ආහාර සඳහා රුචි අරුචිකම් අඩු වැඩිවීම, නින්ද නොයාම, සමාජ ආශ්‍රයට අකමැතිවීම වැනි මානසිකව ඇතිවන වෙනස්කම් පමණක් නොවේ, මෙයට තව කායික වශයෙන් ඇතිවන ලක්ෂණ රාශියක්ද ඇතුලත්. හන්දි හා මාංශපේශි වල වේදනාව, හිසරදය, ඇඟට පණ නැති ස්වභාවය, ක්ෂණික බර වැඩීවිම, බඩ පුරවා දැමීම, පියයුරු වේදනාව, කුරුලෑ ඇතිවීමේ වැඩිවීමක් හා මල බද්ධය හෝ බඩ එළිය යාම මේවයින් සමහරක්.

මෙම තත්වය නිසා එදිනදා කටයුතු වලට අවහිරවීම් ඇතිවීමත් සිදුවන්න පුළුවන්. නමුත් ඔසප් ආරම්භ වී දින 3 – 4 පමණ ගෙවෙන විට මෙම ලක්ෂණ යටපත් වී යනවා. එහෙත් සෑම ඔසප් චක්‍රයකදීම එම ලක්ෂණ ඉතා තීව්‍ර අයුරකින් මතුවෙනවානම් ඒ සඳහා වෛද්‍ය සහය පැතිම සුදුසු වනවා. මේ සදහා හේතුවන්නේ කුමක්ද යන්න නිශ්චිතව දැක්වමීට නොහැකි වුවත්, ඔසප් සමයේදී හෝමෝන හා ශරීරයේ අනෙකුත් රසායනික ද්‍රව්‍ය වල ඇතිවන අසමතුලිතතා හා වෙනස්කම් මීට හේතුවන බවට මත පලකෙරෙනවා. වෛද්‍යවරයකුට විශේෂ පරීක්ෂණ වලින් තොරවම මෙම තත්වය හදුනාගැනීමේ හැකියාව තිබෙනවා. දිනපතා චර්යාවන් වෙනස් කරගත යුතු ආකාරයත්, ආහාර ගැනීමේ රටාවන් සකස් කරගැන්මත්, ව්‍යයාම වැනි දේට අමතරව මානසික ආතතිය සදහා ඖෂද අවශ්‍ය අවස්ථාවක ඒවා ලබාගැනිමත්, ඔබට වෛද්‍ය උපදෙස් අනුව සිදුකල හැක.

මේ අයුරටම ඔසප් විම වැනි වැඩි කතා බහට නොගැනෙන මාතෘකා පිලිබදව ඔබට දැනගැනීමට අවශ්‍ය කරුණු ගැන ඉදිරියටත් කතා බහ කරන්නට අපි බලාපොරොත්තු වනවා. මෙම ලිපිය තුලින් ඔබට ඇති ගැටලු මදක් හෝ නිරාකරණය කරගන්නට හැකිවන්නට ඇතැයි සිතනවා.

Author – Dr. H.Vithana (M.B.B.S)

මෙවැනි තවත් ළිපි සදහා අපගේ Newsletter එක සමග ලියාපදිංචි වන්න. ක්ලික් කරන්න

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments