මාසික ඔසප් වීම ආශ්‍රිතව ඇතිවන ගැටලු

මාසික ඔසප් වීම ආශ්‍රිතව ඇතිවන ගැටලු පිළිබඳව අප මීට පෙර සාකච්ඡා කලා. එම ලිපියෙන් පසුව ලැබුණු ඉල්ලීම්වලට අනුව පොදුවේ කතාබහට ලක්නොවන, නමුත් කාන්තාවන් වශයෙන් දැනගැනීමට අවශ්‍ය ඔසප් කාල සිමවේදී කාන්තාවන්ට ඇතිවන ගැටලු ගැන අද මෙම ලිපිය තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වනවා.

සනීපාරක්ෂක තුවා භාවිතයේදි මතක තබා ගත යුතු විශේෂ කරුණු තිබෙනවාද?

ඔව්,පුරුද්දක් ලෙසට ඔසප් දිනවලදි භාවිතයට ගැනුනත්, එහිදි විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතු කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ නැහැ. එවැනි කරුණු කිහිපයක් පහත දක්වා තිබෙනවා.
sanitar-nap-1

  1. තමාට පුරුදු එක් වර්ගයක සනිපාරක්ෂක තුවායක් භාවිතයට යොමුවීම තුලින්, භාවිතයේදී ඇතිවන අපහසුතාවයන් අවම කරගත හැක.
  2. සනිපාරක්ෂක තුවායන් සමඟ, නැවත නැවත භාවිතයට ගනු ලබන රෙදි තුවායන්ද භාවිතා කිරීම නිසා සිදුවන්නේ ක්ෂුද්‍ර ජීවී බහුල, අසාදන අවධානම වැඩි පරිසරයක් ඇති ඇතිවීමයි. යෝනි මාර්ග හා මුත්‍රා මාර්ග ආශ්‍රිතව ආසාදනයන් ඇතිවීමට මෙය හේතුවන්නට පුළුවන්.
  3. බොහෝ කාන්තාවන් කරන තවත් වරදක් වන්නේ රුධිර වහනය අඩු දිනවලදී, එකම සනීපාරක්ෂක තුවායක්, දිනයේ වැඩි කාලයක් තුල භාවිතා කිරීමයි. මෙය සිදු නොකල යුතු අතර, අවමය පැය 4-5ක් අතර කාලයක් තුලදී අනිවාර්යෙන්ම තුවා මාරු කිරීම සිදුකල යුතු වනවා.
  4. යෝනි මාර්ගය ආශ්‍රිතව සබන් හෝ vaginal washing යොදා පිරිසිඳු කිරීම සුදුසු වන්නේ නැහැ. බාහිර ප්‍රදේශය පමණක් සබන් යොදා පිරිසිදු කර වියළා ගත යුතු වන අතර, යෝනි මාර්ගයට සබන් ඇතුල් වුවහොත්, එහි ඇති ස්වභාවික පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය ඇනහිට, ක්ෂුද්‍ර ජිවින්ට වැඩීමට සුදුසු පරිසරයක් ඇතිකරනවා.
  5. සමාජයේ පිළිගත්, තවත් වැරදි විශ්වාසයක් වන්නේ ඔසප් දිනවලදි ස්නානය නුසුදුසු බවයි. නමුත් ඔසප් දිනයන්හිදී පිරිසිඳු වීම අතවශ්‍ය වන අතර, පෙර කාලවලදි එය නුසුදුසු යයි සැලකුණේ ස්නානය සඳහා එවකට භාවිතා කරනු ලැබුවේ පොදු ස්නාන ළිං හෝ ගංගා හෝ ඇළ දොළ වැව් වීමයි.
  6. අවසාන වශයෙන් සිහිතබා ගතයුත්තේ තුවා නිසි පරිදි බැහැර කල යුතු බවයි, හොඳින් වසා ඒවා සනීපාරක්ෂක කසළ බඳුනකට දැමීම සිදුකල යුතු වනවා. ඉන්පසුව දෙඅත් සබන් දමා සේදීමෙන් ආසාදන ඇතිකරවන ජීවීන් ව්‍යාප්ත වීම අවම කර ගත හැකිවනවා.

සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඇතිවන දද (rash), කාන්තාවන්‍ට විශාල ගැටලුවක් වනවා. මෙයට විසඳුම කුමක්ද?

බොහෝවිට මීට හේතුවන්නේ රුධිරය වහනය අධික දිනවල තෙත් ගතියෙන් යුතු තුවා කලව බිත්ති හා සම්බන්ධ වීමයි. ස්නානයෙන් පසුව හා නින්දට යාමට පෙර ප්‍රථම මේ සඳහා අසාදන වලක්වන (antiseptic) ආලේපනයක් ගැල්වීම කල හැකියි. යෝනී මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය නිතර වියළි තත්වයෙන් පවත්වාගැනීම මගින් මෙම තත්වය ඉක්මණින් සුව අතට හරවා ගැනීම සිදුකල හැකියි.

ටැම්පොන් (Tampons) භාවිතය තුවා භාවිතයට වඩා පහසුද?

sanitar-nap-2බහුල වශයෙන් සනීපාරක්ෂක තුවා භාවිතයට යොමුව සිටින අප සමාජය තුල දැනට ටැම්පොන් භාවිතය එතරම් දක්නට ලැබෙන්නේ නැහැ. ටැම්පොන්ස් යනු, ඔසප් රුධිරය උරාගත හැකිවන පරිදි, යෝනි මාර්ගය තුලට ඇතුල් කරවනු ලබන සනීපාරක්ෂක උපකරණයක්. මෙහිදි සනීපාරක්ෂක තුවා වලට වඩා ඇති වෙනස්කම් අපි සලකා බලමු.

වාසි

  • සනීපාරක්ෂක තුවා හැඳ සිටීමට වඩා ටැම්පොන් පැලඳ සිටීමේදී සිරුරට අපහසුවක් දැනීම අඩුයි.
  • තුවායන් හැඳීමේදි එම ප්‍රදේශවල තෙත් බවක් හා ගන්ධයක් ඇතිවිම සිදුවුවත්, ටැම්පොන් භාවිතයේදි එවැන්නක් සිදුවීම අවමයි.
  • පිහිණුම් හා වෙනත් ක්‍රීඩාවල යෙදීමේදී සනීපාරක්ෂක තුවා භාවිතයට වඩා සුදුසු හා ආරක්ෂාකාරීද වනවා.
  • සනීපාරක්ෂක තුවා මෙන් බාහිරින් දක්ගැන්මට අවස්ථාවක් නොමැති නිසාත් කාන්තාවන් මේ සදහා යොමුවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා.

අවාසි

    • යෝනි මාර්ගය තුලට ඇතුලත් කල යුතු නිසා, එය පැලඳීමේදී ඇතිවන අපහසුතාවය වැඩියි.
    • ඒවගේම සනීපාරක්ෂක තුවායකට වඩා අඩු කාල පරතරයක් අතර තුර (උපරිම පැය 03ක් පමණ) මෙය මාරු කල යුතු වනවා. එසේ නොවුනහොත්, ඒ ආශ්‍රිත අධික බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා සම්පුර්ණ ශරීරයම කම්පන තත්වයකට (Toxic shock syndrome) පත්විය හැක. මෙය භයානක තත්වයක් බැවින් ඒ පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු වනවා.

කාන්තාවකට වැදගත් වන ඔසප් චක්‍රය හා ඒ ආශ්‍රිත දිනවලදි තම සනීපාරක්ෂාව පිළිබඳවව සැලකිලිමත් විය යුතු ආකාරයත්, සනීපාරක්ෂක ක්‍රම භාවිතයේදි සැලකිලිමත් විය යුතු කරුණු ගැනත් මෙම ලිපිය මගින් යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු.

Author – Dr. H.Vithana (M.B.B.S)

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments