ඔබගේ ඇස් පෙනිමේ දුර්වලතාවය, දියවැඩියාවේ අතුරු ප්‍රතිපලයක් විය හැක.

අක්ෂි දුර්වලතාවය අද වනවිට සමාජයේ ඉතා ගැටලුකාරී තත්වයක් වී පවතී. වයස 40 ඉක්මවිමත් සමගම ඇතිවන හතිලිස් ඇදිරිය නමින් හදුන්වන තත්වය, වයසත් සමග ඇතිවන තත්වයක් වුවද වර්තමාන සමාජයේ වැඩිහිටි පරම්පරාවේ මෙන්ම ලාබාල පුද්ගලයන්ගේද සුලබව දක්නට ලැබෙන අක්ෂි දුර්වලතාවයට හේතුවී ඇත්තේ දියවැඩියාවයි. කාලයක් සමග අක්ෂි දුර්වලතාවය වර්ධනය වී අන්ධ භාවයට පත්වීමට ඉහළ සම්භාවිතාවක් ඇති නිසා මේ පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුයි. දියවැඩියාවේ අතුරු අහිතකර බලපෑමක් ලෙස කුඩා රුධිර නාල ආශ්‍රිතව ඇතිවන ගැටලුකාරී තත්වයන් 03කි. එනම්…

  1. Retinopathy නැතහොත් දුෂ්ටිවිතනයේ හෙවත් රෙටිනාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම නිසා ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා.
  2. Nephropathy නොහොත් වකුගඩු සදහා වන රුධිර සැපයීමේ දුර්වලතාවයක් හේතුවෙන් සිදුවන වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීම.
  3. Neuropathy නොහොත් ස්නායු දුර්වලතා

මෙම හේතු නිසා එදිනදා ජිවිතයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් සිදුවේ. මේ අතරින් අක්ෂි දෝෂ හටගැනීම වඩාත් අහිතකර වූ බලපෑමයි. මෙම දියවැඩියාව ආශ්‍රිතව හටගන්නා අක්ෂි දුර්වලතාවයට හේතුවන කරුණු කිහිපයකි. ඇසේ සුද ඇතිවීම ( Cataract ), අක්ෂි ගෝලය තුල පීඩනය ඉහල යාම, සහ දුෂ්ටිවිතානය වෙත රුධිරය සපයන සහ රුධිරය ඉවතට ගෙනයන නාල අවහිරවීමත් මුලික වේ. අඩු වයසේදී එනම් මැදි වියේදී දියවැඩියාවට ගොදුරු වීම නිසා අක්ෂි දුර්වලතා වයස අවුරුදු 45-50 පමණ වන විට ඇතිවන අතර ඒ පිළිබදව නොදැනුවත්කම හා නොසැලිකිලිමත්කම හේතුවෙන් දුර්වලතා කෙටි කාලයකදී උග්‍ර අතට හැරී පෙනීමේ හැකියාව සම්පුර්ණයෙන් නැතිවී යාම හෙවත්, අන්ධභාවයට පත්වීම සිදුවේ.

දියවැඩියාව ආශ්‍රිත අක්ෂි දුර්වලතාවයේ අවධි 04කි

  1. Non proliferative background retinopathy, without maculopathy. මෙහිදී දුෂ්ටිවිතානයේ කහ ලපය හැර අනෙකුත් කලාප දුර්වලතාවයට ගොදුරු වේ.
  2. Maculopathy. මෙම අවධියේදී කහ ලපය ආශ්‍රිත ප්‍රදේශයද දුර්වලතාවයන්ට ගොදුරු වේ.
  3. Preproliferative retinopathy. මෙය අවසාන අවධියට පෙර ඇතිවන දුර්වලතා තත්වයයි. මෙහිදී දුෂ්ටිවිතානයේ ලේ කැට් ඇතිවීම ආදී ගැටලුකාරී තත්වයන් උත්ගතවේ.
  4. Proliferative ratinopathy. අවසාන අවදියේදී දුර්වලතාවය උග්‍රවන අතර නැවත පෙනීම ලබා ගත නොහැකි වන තරමේ අවධානමකට ලක්වේ.

මෙම තත්වයන් පළමු අවධිවල ලේසර් කිරණ හා ආලෝක කිරණ මගින් නිවැරදි කර ගැනීමේ හැකියාවක් පවතී. නමුත් සැම විටම පාහේ නිවැරදි කිරීමට වඩා, රෝගී තත්වයන් ඇතිවීම වලක්වා ගැනීම පිලිබදව අප සැලකිලිමත් විය යුතුයි. ඒ සදහා කල යුත්තේ ආහාර පාලනය, දුම්බීම අත්හැරීම, මත්පැන් භාවිතය අවම කිරීම, නිවැරදි ශාරීරික ව්‍යායාම වල යෙදීම ආදිය මගින් ඖෂධ වලට අමතරව දියවැඩියාව පාලනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කල කිරීමයි. මෙමගින් දියවැඩියාව පමණක් නොව රුධිරගත කොලේස්ටරෝල් මට්ටම සාමාන්‍ය තත්වයක පවත්වාගැනීම, අධි රුධිර පීඩනය වලක්වා ගැනීමද සිදුවේ. මිට අමතරව දිගු කාලින වශයෙන් පවතින දියවැඩියා තත්වයකින් ඔබ පෙළෙන්නේනම් එහි අහිතකර අතුරු ප්‍රතිපලයක් ලෙස දෑස් පෙනීමේ දුර්වලතාවයක් ඇතිවිය හැකි බව අවබෝධ කරගැනීමටත්, එවැනි ඉගියක් ලද වහාම වෛද්‍ය උපදෙස් පැතීමත් සිදුකල යුතුයි. එමෙන්ම වාර්ෂික ලෙස හෝ අර්ධ වාර්ෂික ලෙස අක්ෂි පරික්ෂාවකට භාජනය වීම මගින් එදිනදා ජිවිතයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරවන බරපතල තත්වයකින් මිදී සිටීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments