ගැස්ට්‍රයිටිස් (gastritis) ගැන දැනගනිමු

gas-1ගෑස්, එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් (gastritis) ලොකු පොඩි කාටවුවත් වැලඳීමට හැකියාව තිබෙන අසහනකාරී තත්වයක්. ජීවිතයේ එදිනෙදා කටයුතුවල සාමාන්‍ය අයුරින් යෙදීමේ ඉඩකඩ අහුරන රෝගී තත්වයක් ලෙස මෙය හදුන්වා දිය හැකියි.

වමනය, ඔක්කාරය, බඩ සහ පපුව දැවිල්ල, ගැස්ට්‍රයිටිස් වලින් පීඩා විදින බොහෝමයක් දෙනෙක්ගේ මැසිවිල්ලයි. නමුත් නිතර නිතර ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්වය උඩුදිවීම නිසා ආමාශ බිත්ති තුවාලවී, රුධිර ගලනයක් ඇතිවීම නිසා ලේ මිශ්‍ර වමනය, මළපහ සමඟ තාර පැහැයට ලේ ගැලීම ආදී ගැටලුකාරී තත්වයන්ටද ඔබට මුහුණදීමට සිදුවිය හැකියි.

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට හේතුවන කරුණු කිහිපයක්ම ඇත.

  • හෙලිකෝබැක්ටර් පයිලෝරී (helicobacter pylori) නම් වන බැක්ටීරියාව මගින් ඇතිකරවන ගැස්ට්‍රයිටිස් තත්වය වඩාත්ම සුලභවේ. මිනිසාගෙන් මිනිසාට, ආහාර හා ජලය මගින් මෙම බැක්ටීරියාව පැතිරීම සිදුවේ.
  • ආතරයිටිස් හා වෙනත් වේදනාකාරී තත්වයන් සඳහා දිගුකාලීනව වේදනානාශක පෙති භාවිතයට ගැනීම.
  • නිරන්තර මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිතය.
  • අධික ලෙස මිරිස්, කුළුබඩු, තෙල් සහිත ආහාර වල පුරුදුව සිටීම.

මෙම සුලභ හේතු වලට අමතරව,

    • ශරීරයට එරෙහිව ශරීරය තුලම නිපදවෙන ප්‍රතිදේහජනක (auto antibodies in auto immune diseases)
    • දුලභ වෛරස වර්ග
    • ශරීරය වෙත අධික බලපෑමක් ඇතිවී තිබෙන අවස්ථාවන් වලදී

උදාහරණ ලෙස,

    • අධික මානසික පීඩනය
    • හිසට සිදුවන අනතුරු වලින් පසුව
    • අධික පිලිස්සුම් තුවාල වලින් පසුව
    • බරපතල ගණයේ ශල්‍යකර්ම වලින් පසුව

ආදී අවස්ථාවන් වලදීද ගැස්ට්‍රයිටිස් තත්වය උද්ගතවිය හැක.

මෙම තත්වය සමනය කිරීමට යොදාගන්නා ඖෂධ හදුනාගැනීම සඳහා, ගැස්ට්‍රයිටිස් ඇතිවන්නේ කුමක් නිසාදැයි දැන සිටීම වඩාත් පහසු වන නිසා අපි පළමුව ඒ පිලිබඳව අවධානය යොමු කරමු.

ඔබ දැනටමත් දන්නවා ඇති, ආමාශය තුල ඇත්තේ ආම්ලික පරිසරයක්, මෙය පවත්වාගෙන යනු ලබන්නේ ආමාශයේ ඇති විශේෂ සෛල වර්ගයකින් ස්‍රාවය කෙරෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCL) මගින්. ආම්ලික බවට ඔරොත්තු දෙන පරිදි ආමාශ බිත්ති සැකසී ඇති අතර, එම නිසා සාමාන්‍යයෙන් මෙම අම්ල වලින් ශරීරයට අහිතකර බලපෑමක් ඇතිවීම වලක්වාගනී.

නමුත්, ඉහත දැක්වු අවස්ථාවන් වලදී, අම්ල ස්‍රාවය ඉහළ යෑම හෝ ආමාශ බිත්ති වල සාමාන්‍ය සැකැස්ම වෙනස්වීම නිසා ආමාශය තුල පැවති පරිසරයේ අසමතුලිතතාවයක් හටගනී. මේ ආම්ලික බව නිසා ශරීරයට ඇතිවන අපහසුතාවයන්, ඔක්කාරය වමනය, හා බඩ දැවිල්ල ආදියට හේතුවේ.

ගැස්ට්‍රයිටිස් නිසා වන අහිතකර බලපෑම් ලෙස

  • ආමාශ හා කුඩා බඩවැල ආශ්‍රිතව තුවාල හට ගැනීම.
  • එම තුවාල නිසා අභ්‍යන්තර රුධිර ගලනයන් ඇතිවීම හා ලේ වමනය, මලපහ සමඟ ලේ පිටවීම.
  • තුවාල සුවවීමේදී බඩවැල් බිත්ති එකිනෙක සමඟ හා වීම නිසා බඩවැල් බ්ලොක්වීම හෙවත් ඇහිරීමට ලක්වීම.

ආදිය දැක්විය හැක.

ගැස්ට්‍රයිටිස් සඳහා වන ප්‍රතිකාර ක්‍රම

මූලිකවම, බැක්ටීරියාවන් නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්වයට බැක්ටීරියානාශක මගින්ද, ආම්ලික බව පාලනය කිරීම සඳහා අම්ල නිපදවීම අඩු කල හැකි හා නැවත්විය හැකි ඖෂධ වර්ගද, ආම්ලික බව සමතුලිත කිරීම සඳහා භාෂ්මික ඖෂධ වර්ගද දැනට යොදාගැනෙනවා.

මීට අමතරව, ඖෂධ මගින් පාලනය කල නොහැකි තත්වයන්, ආමාශ‍යේ කොටසක් ඉවත් කර අම්ල නිපදවීම අඩු කිරීම සදහා වන ශල්‍යකර්මයන් මගින් පාලනය කිරීමද අද වන විට සිදුවේ.

ගැස්ට්‍රයිටිස් රෝගයේ මූලික කරුණු පිලිබඳව යම් අදහසක් මෙම ලිපිය මගින් ඔබට ලැබෙන්නට ඇතැයි සිතමු. ආහාර පාන භාවිතයේ සිදුකලයුතු වෙනස්කම්, හා දිගුකාලීන ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන හානිකාරී තත්වයන්, ඒවායින් මෙදෙන ක්‍රම ආදිය පිලිබඳව අපි තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

Author – Dr. H.Vithana (M.B.B.S)

මෙවැනි තවත් ළිපි සදහා අපගේ Newsletter එක සමග ලියාපදිංචි වන්න. ක්ලික් කරන්න

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments