ලාදුරු

laduru-articleLeprosy එහෙමත් නැතිනම් ලාදුරු රෝගය, මෙය බොහෝ දුරට සමාජයේ යටපත් වී තිබූ රෝගී තත්වයක් නිසා ඒ පිළිබඳව වැඩි කතා බහක් මෑ‍තක් වන තුරු තිබුණේ නැහැ. නමුත්, පසුගිය වසර කිහිපය තුලදී අලුතින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ, මේ වනවිට සෞඛ්‍ය අංශ මඟින් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළවල් දියත් කර තිබෙනවා. එම නිසාම අපටත් මේ පිළිබඳව ගැටළු කිහිපයක් යොමුව තිබුණා. මෙම ලිපිය මඟින් ලාදුරු ඇතිවන්නේ කෙසේද, රෝගය හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද, ඒ සඳහා වන ප්‍රතිකාර මොනවාද ආදිය පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වනවා.

ලාදුරු යනු කුමක්ද?

ලාදුරු ලෙස හඳුන්වන්නේ බෝවිය හැකි දිගුකාලීන ආසාදන තත්වයක්. මෙම තත්වය සඳහා හේතුකාරක වන්නේ මයිකොබැක්ටීරියම් ලෙප්‍රේ (Mycobacterium leprae ) නම් බැක්ටීරියා විශේෂයක්. මෙම බැක්ටීරියා වල මූලික ඉලක්ක අවයව වන්නේ සම, හා පර්යන්ත ස්නායු පද්ධතියයි.( එනම් මොළය, සුෂුම්නාව ඇතුලු මධ්‍ය ස්නායු පද්ධතිය හැරුණු කොට අනෙකුත් බාහිර ස්නායු පද්ධතියයි. ) මීට අමතරව නාසය, ඇස්, වකුගඩු හා පිරිමි රෝගීන්ගේ වෘෂණ කෝෂ ආදියත් ආසාදනය වීමේ අවධානමක් වඩා තීව්‍ර රෝගී තත්වයන්ගේදී දක්නට ලැබෙනවා.

ලාදුරු බෝවීම සිදුවන්නේ කෙසේද?

ලාදුරු බෝවෙන රෝගී තත්වයක් වූවත් එය ඉතා පහසුවෙන් බෝවන බවක් දැක ගන්නට නැහැ. දැනට සොයාගෙන ඇති ආකාරයට ලාදුරු එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකු හට සම්ප්‍රේෂණය වන්නේ කැස්ස හා කිවිසුම් සමඟ පිටවන කුඩා සෙම් කැබලි මඟින් බවයි.
ලාදුරු රෝගියෙක් සමඟ නිතර සමීප සම්බන්ධතාවයක් පවතින්නේනම් මේ සඳහා වැඩි අවධානමක් තිබෙනවා. එමෙන්ම දිගුකාලීන රෝගී තත්ව ( හෘද රෝග, දියවැඩියාව, ඒඩ්ස් ආසාදනය ආදී ) සහිත පුද්ගලයන් හා කුඩා දරුවන් වැනි ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු පිරිසට මෙම තත්වය පහසුවෙන් වැලඳිය හැකි බව පෙනීගොස් තිබෙනවා.

මෙහි ඇති අවාසිදායක තත්වය වන්නේ, ඔබ බැක්ටීරියාවට නිරාවරණය වී අවම වසරක කාලයක් යනතුරු රෝගී ලක්ෂණ පහළ නොවීමයි. මෙය අවුරුදු 5-7 පමණ කාලයක් දක්වා වූවද යටපත්ව තිබී පසුව රෝගී ලක්ෂණ මතුවීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී රෝගය කුමන කලකට පෙර ඇතිවූ ආසාදන තත්වයක්ද, කුමන රෝගියෙකුගෙන් සම්ප්‍රේෂණය වුණිද යන්න ගැටළු සහගත වනවා.

ලාදුරු වල රෝගී ලක්ෂණ මොනවාද?

1. සමේ රෝගී තත්වය.

සමේ ලා පැහැති ලප කැළැල් ඇතිවීම මෙහි මූලිකම ලක්ෂණයයි. මෙම ලප බොහෝවිට අත්පා වල, මුහුණ ආදියෙහි දක්නට ලැබෙන අතර පැතලි ස්වභාවයක් ගන්නවා. එම සම ප්‍රදේශය දැනීමකින් තොර වනවා. සම මතු පිට සිට මඳක් එසවුණු, පැතලි, ලා පැහැති, දැනීමකින් තොර, සමේ ලප කැළැලි මෙහි ආවේණික ලක්ෂණය වනවා. මේවා අනෙක් බොහෝ සමේ ලප මෙන් කැසීමකින් තොරවීම විශේෂත්වයක්. සමහරක් විටෙක මෙම ලප ලා රතු හෝ තඹ පැහැයක් ගනු ලබනවා.රෝගයේ තීව්‍රතාව වැඩිවෙත්ම සම මතුපිට ගැටති ඇතිවීමක් දක්නට ලැබෙනවා.

2. ස්නායු ගැටලු

මෙහිදී බැක්ටීරියාවන් මඟින් ඉලක්ක කෙරෙන පර්යන්ත ස්නායු වල ඝනවීමක් සිදුවනවා. ස්නායු දුර්වල වීමනිසා එම ස්නයු මඟින් සංවේදනය සපයන ශරීර කොටස් වල සංවේදීතාව ක්‍රම ක්‍රමයෙන් අඩුවී ගොස් සංවේදනය නැතිවීම සිදුවනවා.

3. ඇස් හා කන්

රෝගී තත්වය තීව්‍ර වන විට මෙම අවයව ආසාදනය වීමේ අවධානමක් පවතිනවා. නාසය ඇතුලත සම ආසාදනය වීම නිසා නිතර නාසය තුළින් ලේ ගැලීම සිදුවනවා. තවද ඇස් වල පටක ආසාදනය වීම නිසා අන්ධභාවයට වූවද හේතු විය හැකි ග්ලූකෝමා (glucoma) තත්වයක් උද්ගත වන්නට පුලුවන්.

4. ලිංගික ක්‍රියාකාරීත්වය

ලාදුරු වැලඳුණු පිරිමි රෝගීන්ගේ වෘෂණ ආසාදනය වීමට හැකියාව තිබෙනවා. තවද මෙහිදී පිරිමි ලිංගික හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම අඩුවීමත්, ශුක්‍රාණු නිපදවීම අඩුවීමත් නිසා ලිංගික අප්‍රාණිකත්වය හා බෙලහීනත්වය ඇතිවීමේ අවධානමක් පවතිනවා.

5. වකුගඩු

ඉතාමත් බරපතල මට්ටමේ රෝගී ත්ත්වයක්දී වකුගඩු ආසාදනයන් ඇතිවීමත්, වකුගඩු අක්‍රිය වීමේ අවදානමත් පවතින බව සොයාගෙන තිබෙනවා.

ලාදුරු නිසා ඇතිවන සංකූලතා මොනවාද?

  • සමේ රෝගී තත්වය නිසා ඇතිවන විරූපී බව.
  • ස්නායු සංවේදනය බිඳවැටුණු ප්‍රදේශ වල, සංවේදීතාවයක් නොමැති කම නිසා නිතර නිතර තුවාල වීම් පිලිස්සීම් ආදියට ලක්වීමේ හැකියාව.
  • ස්නායු දුර්වල වීම නිසා ඒ ආශ්‍රිත මාංශපේශී දුර්වල වීමත්, එම නිසා අත පය වල ඇඹරුණු හා කොරවුණු ස්වභාවයන් ඇතිවීම.
  • ඇස්වල ග්ලූකෝමා තත්වය නිසා ඇස්පෙනීමේ දුර්වලතා ඇතිවීම.
  • ලිංගික අප්‍රාණිකතවය.
  • වකුගඩු අක්‍රමවත් වීම.

ලාදුරු රෝගය වැලඳී ඇත්දැයි නිශ්චිතව දැනගන්නේ කෙසේද?

මේ සඳහා මූලික රුධිර පරීක්ෂණ උපයෝගී කරගැනීමත් සිදුවනවා. නමුත් රෝගී ත්ත්වය නිශ්චිතව හඳුනාගැනීමට නම් රෝගකාරක බැක්ටීරියාව සොයගැනීම සඳහා සමේ පටක කොටසක් ලබාගෙන සිදු කෙරෙන පරීක්ෂණයක් ( skin biopsy ) අනිවාර්යය වනවා.

ලාදුරු සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ලාදුරු ඇතිවන්නේ බැක්ටීරියාවකින් වීම නිසා මෙයට ප්‍රතිකාරය වශයෙන් මූලිකව යොදාගැනෙන්නේ බැක්ටීරයා ප්‍රතිරෝධක ඖෂධ (antibiotic treatment ) දිගුකාලීනව ලබාදීමයි. මෙය අවමය මාස 6 සිට මාස 12 දක්වා වූ කාල පරාසයක රෝගයේ තීව්‍රතාව අනුව යොදාගැනීමට සිදුවනවා. මෙම ඖෂධ ලබගැනීමත් සමඟ රෝගියකු මගින් නීරෝගී පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වීමේ අවධානම අඩු වනවා. එම නිසා ඔබ රෝගී අවස්තාවක පසුවේනම්, නිරෝගීවීම සඳහා මෙන්ම තවත් කෙනෙකු හට රෝගය බෝවීම වැලැක්වීමේ වගකීම නිසාම, මඟහැරීම් වලින් තොරව නිසි පරිදි ඖෂධ ලබා ගැනීම සිදු කල යුතු වනවා. නමුත් මෙම ඖෂධ මඟින් ස්නායු වලට සිදුවන හානිය නැවත හැරවීමේ හැකියාවක් නැහැ. එම නිසා ස්නායු අක්‍රිය ප්‍රදේශ නිසි පරිදි ප්‍රවේසම් කරගැනීම වැදගත් වනවා.

ලාදුරු රෝගී තත්වය වර්ගීකරණය කෙරෙන්නේ කෙසේද?

එක් එක් පද්ධති වලට සිදුවන බලපෑම අනුව ලාදුරු මූලික වර්ග තුනක් ලෙස දක්වන්න පුළුවන්.

1. Tuberculoid Leprosy (ටියුබකියුලොයිඩ් ලෙප්‍රසි)

  • මෙය බෝවීමේ අවධානම අවම තත්වයයි.
  • සමේ රෝගී කැළැල් 5ට අඩුවෙන් පවතී.
  • ස්නායු රෝගී තත්වයක් නොමැති හෝ එක් ස්නායුවක් පමණක් රෝගයට ගොදුරු වී තිබිය හැක.
  • සමේ පරීක්ෂා වලදී බැක්ටීරියාව සොයාගත නොහැකිවේ.

2. Leparamatous Leprosy (ලෙපරමැටස් ලෙප්‍රසි )

  • බෝවීමේ වැඩි අවධානම් සහිත තත්වයයි.
  • සමේ රෝගී කැළැල් 5ට වැඩියෙන් පවතී.
  • පර්යන්ත ස්නායු 2ක් හෝ වැඩි ගණනක් රෝගයට නිරාවරණය වී තිබේ.
  • සමේ සිදුකරන පරීක්ෂා වලදී සැම විටම බැක්ටීරියාව සොයාගැනීමට හැකිවේ.

මෙම තත්වය හමුවේ බොහෝවිට සම හා ස්නායු වලට අමතරව කන, නාසය, වකුගඩු, වෘෂණ ඇතුලු අවයවද ආසාදනයවීමේ අවධානම ඇතිවනවා.

3. Intermediate / Borderline Leprosy ( අතරමැදි ලෙප්‍රසි තත්වය )

මෙම තත්වයේදී ඉහත රෝගී කාණ්ඩ දෙකෙහිම ලක්ෂණ පෙන්නුම් කෙරෙන අතර, එම නිසා මෙය අතරමැදි තත්වයක් ලෙස සලකනු ලබනවා.

ලාදුරු රෝගය ඇතිවීම මඟහරවාගත හැක්කේ කෙසේද?

ආසාදිත පුද්ගලයෙකුගේ සෙම් සොටු ආදිය මඟින් සම්ප්‍රේෂණය වීම වලක්වාගැනීම මේ සඳහා ඇති එකම ප්‍රතිකර්මයයි. බෝවන රෝගයක් වූවත්, අනෙකුත් බෝවන රෝග වලට සාපේක්ෂව ලාදුරු ආසාදනයවීමේ අවධානම අඩු මට්ටමක පවතිනවා. එනිසා පෙර කාලයේ මෙන් ලාදුරු රෝගීන්ව සමාජයෙන් කොන් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නිසි පරිදි කැස්ස කිවිසුම් පාලනය කිරීම, නිදහස් වාතයට කුඩා සෙම් සොටු අංශු එක්වීම වැලැක්වීම සිදු කල යුතු වනවා. තවද, ඖෂධ ලබාගැනීම අතපසු වීම් වලින් තොරව නිසියාකාරව සිදුකිරීම නිසා මෙම සම්ප්‍රේෂණය අවම කරගත හැකිවනවා.

මෙම ලිපිය මඟින් ලාදුරු රෝගය ඇතිවන්නේ කෙසේද, එහි රෝගී ලක්ෂණ හා සංකූලතා මොනවාද, ඒ සඳහා වන ප්‍රතිකාර මොනවාදැයි ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවදානය ලබාගෙන ඇති, නමුත් බොහෝදෙනෙකු සතුව වැඩි අවබෝධයක් නොමැති රෝගී තත්වයන් පිළිබඳව තවත් ලිපි පෙලකින් ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරත්තුවනවා. ඔබට ගැටලු සහිත එවැනි මාතෘකා පිළිබඳව අපිව දැනුවත් කිරීමට ලියන්න.. askmydoctor.lk වෙත පිවිසෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments