ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis)

නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් වුවත්, මෙහිදි ඇතිවන රෝග ලක්ෂණ හෝ මෙය ඇතිවන්නට හේතු වන්නේ කුමන සාධකද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් හට අවබෝධය පවතින්නේ ඉතාමත් අඩුවෙන්.

ඔස්ටියෝපොරෝසිස් රෝගයේදී සිදුවන්නේ කුමක්ද?

osteoporosis-boneඅස්ථි දුර්වලතාවය ඇතිකර පහසුවෙන් බිඳවැටීම් වලට ලක්වීම ඇති කරවීම මෙහිදි සිදුවනවා. වැටිමකදී අස්ථි බිදීමක් පහසුවෙන් සිදුවිය හැකි වුනත් මෙම රෝගී තත්වයට බඳුන් වුවන් ගේ අස්ථි, කැස්සක්, කිවිස්මක් හෝ සුළු නැවීම් හැරවීම් වැනි අවස්ථාවක වුවත් බිදීමකට ලක්වන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් අස්ථි පටක කාලයක් පැවතිමෙන් පසුව නව නිරෝගී පටකවලින් නැවත සකස්වීම සිදුවනවා, නමුත් මෙම රෝගී තත්වයෙදි එම නවක පටක නිපදවිමේ හැකියාව අඩපණවීමක් සිදුවනවා.

ඔස්ටියෝපොරෝසිස් කාන්තාවන්ට පමණක් ඇතිවන රෝගයක් ලෙස වැරදි මතයක් සමාජගත වී තිබෙනවා, නමුත් සත්‍ය ලෙසම කාන්තා පිරිමි දෙපාර්ශවයම මේ සඳහා ගොදුරු විමේ අවධානමක් පවතිනවා.

නමුත්, ආර්ථව චක්‍රය සම්පුර්ණ කල (ඔසප්වීම් නැවතුණු) කාන්තාවන්ගේ හදිසියේ සිදුවන හෝමෝන වෙනස්වීම් නිසා මෙම තත්වයට ගොදුරුවිමේ අවධානම ඉහල යනවා.

ඔස්ටියෝපොරෝසිස් වල මුලික රෝග ලක්ෂණ

  1. කොන්ද කැක්කුම – බොහෝ රෝගීන්ගේ මතුවන පළමු ලක්ෂණය මෙයයි.
  2. ක්‍රමයෙන් ඇතිවන කුදුවිම.
  3. ශරීර උස ක්‍රමයෙන් අඩුවිම.
  4. ඉතා පහසුවෙන් සිදුවන අස්ථි බිඳීම.

ඔස්ටියෝපොරෝසිස් සඳහා වන අවධානම ඉහළ දමන කරුණු.

  1. රෝගය පිළිබඳව පවුල් ඉතිහාසයක් තිබීම
  2. වයස්ගත විම
  3. කාන්තාවක් වීම
  4. හෝමෝන සංකුලතා ඇතිවිම. උදා: –
    • ඔසප් චක්‍රය අවසන් වීමෙන් පසු කාන්තාවන්ට ඇතිවන හෝමෝන අඩුවිම.
    • වයස්ගත වන පුරුෂයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවිම.
    • තයිරොයිඩ් හෝමෝන හා පැරාතයිරොයිඩ් හෝමෝන වෙනස්කම්.
  5. කැල්සියම් හා Vitamin D පෝෂණ ඌනතාවය – කැල්සියම් සහිත ආහාර හා කිරි ආදිය පරිභෝජනය අවම වීම.
  6. කුඩා බඩවැල් ආශ්‍රිත ශල්‍ය කර්ම වලට භාජනය වූ රෝගින්, අවශ්‍ය පෝෂණ සංඝටක, කැල්සියම් ආදිය ලබාගත්තත් නියමිත පරිදි සිරුරට ඒවා අවශේෂණය නොවීම.
  7. අස්ථි නිපදවීමට සෘජුව බලපාන ඖෂධ වර්ග දිගුකාලීන භාවිතය.
  8. නයේ වැඩි වේලාවක් හිඳගෙන රැකියාවල නිරතවන පුද්ගලයන් ද
    මෙම වැඩි අවධානම් කාණ්ඩ ගණයට ගැනෙනවා. නියමිත පරිදි ව්‍යායාම නොලැබීමත් සිරුරේ අස්ථි තවදුරටත් දුර්වල කරවීමත් ඇතිකරවනවා.
  9. දුම්වැටි හා මත්පැන් පානය අනෙක් සියලු රෝගී තත්වයන්ට වගේම මේ සඳහාද රෝග කාරකයක් වනවා.

මේ සඳහා වන ප්‍රතිකාර ක්‍රම

මෙම රෝගී තත්වය ඇතිවිමෙන් පසු, ඒ සඳහා බොහෝවිට සිදුකල හැකිවන්නේ හෝමෝනමය ප්‍රතිකාර හා අස්ථි දුර්වලතාවය ක්‍රමයෙන් මඟහරවාගැනිම සඳහා වන ඛනිජ ලවණ ආශ්‍රිත ප්‍රතිකාර ක්‍රම පමණයි.

නමුත් මෙම රෝගය ඇතිවීම පහසුවෙන් නවතා ගත හැකි තත්වයක්. අස්ථි වල නිරෝගීමත් බව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ කැල්සියම්, විටමින් D, හා අස්ථි ශක්තිමත් කරන ව්‍යායාමයි. කුඩා අවධියේ සිටම මෙම අවශ්‍යතා නිසි පරිදි සම්පුර්ණ කරගන්නේ නම් ඔස්ටියෝපොරෝසිස් සඳහා වන අවධානම අවම වීම නිසැකයි.

ඒ එක් එක් පෝෂණ සංඝටක හා ව්‍යායාම සිරුරට ලබා දෙන්නෙ කෙසේද, ඒ එක් එකක වැදගත්කම කුමක්දැයි අපි තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments