අර්ශස් රෝගය ගැන දැනුවත් වෙමු

piles1-artවේදනාකාරී අත්දැකීමක් නිසාමත්, දැනෙන අපහසුතාවය නිසාමත් අර්ශස් රෝගී තත්වය පිළිබඳව විවෘතව කතා කිරීමට බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා. ඒ හේතුව නිසාම ඒ පිළිබඳව අපගෙන් කෙරෙන විමසීම්ද බොහෝමයි. අර්ශස් යනු කුමක්ද මෙය ඇතිවීමට හේතු මොනවාද, එය වළක්වාගන්නේ කෙසේද, මේ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාදැයි යන්න මෙම ලිපිය මඟින් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වනවා.

අර්ශස් රෝගී තත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

මෙම තත්වය සහිත රෝගීන්ගේ මූලිකම ගැටලුව වන්නේ,

  1. මලපහ සමඟ ලේ පිටවීමයි.මීට අමතරව, පහත ලක්ෂණ සහිතවද, රෝගීන් ප්‍රතිකාර සඳහා ඉදිරිපත්වන අවස්ථාවන් දක්නට ලැබෙනවා.
  2. මලපහ කිරීමේදී වේදනාවක් ඇතිවීම.
  3. ගුද මාර්ගය තුලින් ගෙඩියක් වැනි යමක් හෝ ගැටිත්තක් පිටතට ඒම.

අර්ශස් රෝගී ලක්ෂණ ඇතිවන්නේ ඇයි?

  1. ගුද මාර්ගය හා ගුද විවරය ආශ්‍රිත ප්‍රදේශවලට රුධිරය සපයන රුධිර නාල ඉදිමුමට ලක්වීම මෙම ලක්ෂණ ඇතිවීම සඳහා හේතුවනවා. සාමන්‍ය පරිදි එම ප්‍රදේශයේ සිට ඉහළට ඇති රුධිර ගමනාගමනය අවහිරවීම මෙම රුධිර නාල ඉලිප්පී ඉදිමුමට හේතුවනවා. මෙහිදී යෙදෙන පීඩනය නිසා රුධිර නාල බිත්ති ඇදීමකට ලක්වී බිත්ති සිහින්වීමකට ලක්වනවා. බාහිරයෙන් තවදුරටත් පීඩනයක් ඇති කිරීමේදී ( උදාහරණ ලෙස මලපහ පිටකිරීමේදී ) එම රුධිර නාල වල බිත්ති තුවාලවී රුධිර වහනයක් සිදුවනවා. මලපහ සමඟ රුධිරය පිටවන්නේ මෙම සිදුවීම නිසයි. මෙහිදී පිටවන රුධිරය අලුත් රත් පැහැ රුධිරය (කළු හෝ ලේ කුණු පැහැයෙන් තොර ) වන අතර මෙම තත්වය වේදනාකාරීද වනවා. මලපහ සමඟ රුධිරය පිටවන තවත් රෝගී තත්ව කිහිපයක්ම ආහාර මාර්ගයේ අනෙකුත් කොටස් ආශ්‍රිතවද ඇතිවන අතර, අර්ශස් රෝගයේදී අලුත් රුධිරය පිටවීමත් වේදනාවක් ඇතිවීමත් මෙය අනෙකුත් තත්ව වලින් වෙන් කර හඳුනාගැනීමට උපකාරීවනවා.
  2. ගුද මාර්ග විවරය තුළින් ගැටිත්තක් වැනි යමක් පිටතට පැමිණීමත් සිදුවන්නේ ඉහත සඳහන් කල ආකාරයට ගුදමාර්ගය තුල ඇති රුධිරය ගෙන යන නාලිකා ඉලිප්පී ඒවා එක් පොකුරක් ලෙස සකස්වන නිසාවෙනුයි. මෙය ක්‍රම ක්‍රමයෙන් ගුද විවරය තුලින් ඉබේ පිටතට පැමිණීම සිදුවිය හැකි අතර, තවත් විටක මලපහ කිරීමේදී ඇතිවන පීඩනය නිසා එවිට පමණක් පිටතට පැමිණීමද සිදුවිය හැකිය.එලෙස පැමිණෙන නහර ගැටිති ඉබේ නැවත ඇතුලට ගමන් කල හැකි අතර යම් විටක එසේ සිදු නොවන අවස්ථාවල ඇඟිල්ලකින් ඇතුලට යොමු කරගැනීමේ හැකියාව පවති.

අර්ශස් රෝගී තත්වය ඇතිවීමට හේතු මොනවාද?

අර්ශස් ඇතිවීමේදී සිදුවන ක්‍රියාවලිය අනුව, ගුද මාර්ගය මත පීඩනයක් ඇතිකරවන කරුණු මේ සඳහා හේතුවන බව ඔබට අවබෝධවන්නට ඇති.

  • මලබද්ධය
  • අධික තරබාරුව
  • ගර්භනීභාවය
  • දිගු කාලීන පවතින කැස්ස
  • බර ඉසිලීම
  • පවුලේ අයට රෝගී තත්වය පැවතීම

මලබද්ධය ලෙස අර්ථ දැක්වෙන්නේ දින 3කට හෝ වැඩි ගණනක් තිස්සේ මලපහ පිට නොවීමයි. මීට අමතරව මලපහ ඉතා ඝනව පිටවීමත් අර්ශස් රෝගයට මුල්වනු ඇත. මෙවැනි තත්ව යටතේ මලපහ සිදුකිරීමේදී දැඩි ආයාසයක් යෙදීම නිසා ඉහත පැහැදිලි කල පරිදි අර්ශස් ඇතිවීම සිදුවේ.

තවද අධික තරබාරු බව හා ගර්භණී සමය තුලදීද උදරය මගින් ගුද මාර්ගය මත අතිරේක පීඩනයක් යෙදෙන බැවින් අර්ශස් ඇතිවීම සිදුවේ. ගර්භණී සමයේ නිමාවත් සමඟ මෙම පීඩන තත්වය නැතිවී යන බැවින් බොහෝවිට අර්ශස් තත්වය ප්‍රත්‍යාවර්ථ වනවා.
දිගුකාලීනව පවතින කැස්ස, හා බර ඉසිලීම වැනි තත්වයන්ගේදීද සිදුවන්නේ වැඩි ආයසයක් යෙදෙන නිසා ගුද මාර්ගය ආශ්‍රිත මාංශ පේශි පීඩනයකට ලක්වීමයි. තවද මෙම තත්වය ඉහිල්වීමකින් තොරව දිගු වේලාවක් එකම ඉරියව්වකින් හිඳගෙන සිටීමේදීද දක්නට ලැබෙනවා.

අර්ශස් රෝගී තත්වය අවම කරගැනීමට ගත යුතු පියවර මොනවාද?

1.මලබද්ධය තත්වය අවම කරගැනීම සඳහා පියවර ගැනීම මෙහි මුලිකම ඉලක්කය විය යුතුවනවා. දිනකට අවම වතුර වීදුරු 6-8 පමණ පානය කිරීම අනිවාර්යය වනවා. මීට අමතරව ආහාර වේල සඳහා තන්තු වර්ග වලින් පෝෂිත ආහාර එක් කරගැනීම සිදුකල යුතුවනවා. කෙසෙල් පැපොල් අඹ වැනි පළතුරුද, පලා වර්ගද, බෝංචි මෑකරල්,වැනි එළවළු වර්ගද, ධාන්‍ය වර්ගද, ආහාර වේලට වැඩියෙන් එක් කරගත යුතු වනවා.

2. ගුද මාර්ග පේශි මත අනවශ්‍ය පීඩනයක් ඇති කෙරෙන වෙනත් බාහිර සාධක ඉවත් කිරීම.

  • තරබාරු බව පාලනය . මේ සඳහා දිනක අවම පැය භාගයක් පමණ හෝ ව්‍යායාම වල නිරතවීම හා නිවැරැදි ආහාර පුරුදු සඳහා යොමුවීම අත්‍යවශ්‍ය වනවා.
  • ශරීර කෘත්‍ය සිදුකිරීම සඳහා නිවැරදි රටාවක් හුරු පුරුදු කරගැනීම. එනම්, මලපහ කිරීම සඳහා උත්තේජනයක් ලද විට, ඒ සඳහා කල් නොයවා යොමුවීම. මලපහ සිදුකිරීමට අවශ්‍යතාව තිබුණත්, එය සිදු නොවන්නේනම් ඒ සඳහා වැඩි ආයාසයක් ගැනීම හා නිකරුණේ වැසිකිලිය තුල හිඳ සිටීමෙන් වැලකී සිටීම, ආදී පුරුදු පුහුණු කල යුතුය. දිනයේ එක නිශ්චිත වේලවක් මෙම කාර්යය සඳහා පුරුදු කරගැනීමද වඩාත පහසුවනු ඇත.

    තවද වර්තමනයේ භාවිතා වන වැසිකිලි (comode) නිසා මලපහ කිරීම සඳහා යෙදිය යුතු ආයාසය වැඩි බව සොයාගෙන තිබෙනවා. ආහාර මාර්ගයේ සැකැස්ම නිසි පරිදි පවතින ආකාරයෙන් ශරීර කෘත්‍ය සිදු කිරීමට, squatting position සහිත වැසිකිලි භාවිතය වඩාත් සුදුසු වනවා.

  • දිගුකල් පවතින කැස්ස මැඩපවත්වා ගැනීම,බර ඉසිලීමේදී නිවැරදි ශරීර ඉරියව්වක් පවත්වා ගැනීම, එක ඉරියව්වක වැඩි වේලවක් නොසිට ඉහිල් වීම් වලට යොමුවීම ආදී පියවර ගත යුතුය.

අර්ශස් රෝගී තත්වය සඳහා එදිනෙදා භාවිතා වන සරල ප්‍රතිකාර ක්‍රම

  • සරල තත්වයේ වන අර්ශස් රෝගය බොහෝ විට, විශේෂ ප්‍රතිකාර ක්‍රම වලින් තොරවම, ආහාර පුරුදු හා චර්යා රටා වෙනස් කිරීම තුලින්ම සුවවන බව සුලභව දක්නට ලැබෙනවා.
  • sitz bath ක්‍රමය මෙහිදී ඇතිවන ඉලිප්පීම් මර්දනයට යොදාගැනෙනා එක් සාර්ථක ක්‍රමයකි. මෙහිදී දිනෙක්ට විනාඩි 15 පමණ, මද රස්නය සහිත ජල අඟල් 3-4 සහිත භාජනයක හිඳ ගෙන සිටීම සිදුකල යුතුවනවා. විශේෂයෙන් මලපහ පිටකිරීමෙන් පසුව මේ සඳහා යොමුවීම වඩාත් ප්‍රතිඵල දායක වනවා.ඉදිමුම් අඩුකරගැනීමට මෙම ක්‍රමය මෙන්ම අයිස් තැබීමද සිදුකල හැකිවනවා.

    මීට අමතරව ගුදවිවරය ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කර ගැනීමට වේදනානාශක භාවිතයද, මලපහ පිටවීම පහසු කරවීමට ගුද විවරය ආශ්‍රිත ප්‍රදේශය තුල ගැල්විය හැකි ඉහිල්කාරක ක්‍රීම් වර්ග ( lubricants ) භාවිතද, මලද්‍රව්‍ය වල ඝන බව අඩු කිරීමට යොදාගන්නා ඖෂධ වර්ගද (stool softners) අර්ශස් සඳහා වන සරළ ප්‍රතිකාර ක්‍රම ලෙස දැක්විය හැකිවනවා. නමුත් මලපහ වඩාත් බුරුල් කරවන laxative වර්ගයේ ඖෂධ භාවිතය මෙහිදී සිදු නොකලයුත්තේ , බඩ බුරුල් වී වරින්වර යාම නිසා අර්ශස් ගැටිති වලට වැඩි අපහසුවක් ඇතිවන නිසයි.

    තවද,නිතර ඇතිවන අසාමාන්‍ය උද්දීපනය (irritation) නිසා ගුදවිවරය ආශ්‍රිත කැසීමත්, ඉතා අසහනකාරී රෝග ලක්ෂණයක් වනවා. මේ සඳහා 1% hydrocortisone අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කල හැකි නමුත්, එක දිගට සතියකට වඩා මෙය භාවිතය අනුමත කෙරෙන්නේ නැහැ.

අර්ශස් රෝගය නිශ්චිත කරගැනීම සඳහා වන පරීක්ෂණ ක්‍රම

මෙය බොහෝවිට රෝග ලක්ෂණ අනුව නිගමනය කල හැකි රෝගී තත්වයක් වන අතර, වෛද්‍යවරයකු විසින් සිදුකරන පරීක්ෂාවක් මඟින් හඳුනාගත හැකි වනවා.

නමුත් මෙය ගුදමාර්ගය තුල කෙතරම් දුරකට ව්‍යප්ත වී ඇත්දැයි යන්න හඳුනාගැනීමටත්, රුධිර වහනය සිදුවන්නේ අර්ශස් නිසාමය යන්න තහවුරු කර ගැනීමටත්, ගුදමාර්ගය ඔස්සේ රුධිර වහනය වන වෙනත් රෝගී තත්වයක් නොවන බව සැකහැර දැනගැනීමටත් උපකාරී වන පරීක්ෂණ කිහිපයක්ම සිදු කල හැකිවනවා.

Proctoscpoy, Sigmoidoscopy, Colonoscopy ආදී මෙම සියලු පරීක්ෂණ වලදී සිදු කෙරෙනුයේ ගුද මාර්ගය හරහා කැමරාවක් ඇතුල්කොට ආහාර මාරගය හා එහි අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමයි. Proctoscopy හීදී ගුදමාර්ගය පමණක් දර්ශනය වන අතර, sigmoidoscopy හීදී සිග්මොයිඩ් අන්ත්‍රය දක්වාත්, Colonoscopy හීදී මහා අන්ත්‍රය සම්පූර්ණයෙන් පාහේමත් පරීක්ෂා වට ලක් කෙරෙනු ඇති.
මීට අමතරව, ස්කෑන් පරීක්ෂණ හා X කිරණ පරීක්ෂණ වල සහයද මේ සඳහා යොදා ගත හැකිවනවා.

අර්ශස් සඳහා වන ශල්‍යවෛද්‍යමය ප්‍රතිකාර

1.steroid injection :

මෙය මේ සඳහා වන සරලම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස දැක්විය හැකියි. මෙහිදී සිදු කරන්නේ අර්ශස් ගැටිති සහිත ප්‍රදේශයට ස්ටෙරොයිඩ් අඩංගු එන්නතක් ලබා දීමයි. එමඟින් එම ගැටිති හැකිලීමකට ලක්ව ඒ නිසා ඇතිවන අපහසුතාවය මඟ හැරී යනවා.

2.Stapler ක්‍රමය :

මෙහිදී අර්ශස් ගැටිති වලට රුධිරය සැපයීම අවහිර කෙරෙන පරිද්දෙන් කටු යෙදීමක් සිදු කෙරෙන අතර, රුධිර සැපයුම නොමැති කමින් එම ගැටිති වල සෛල මියගොස් ඒවා හැලී යාම සිදුවනවා.

3. Rubber band ligation ක්‍රමය :

මෙයත් වඩාත් බහුලව භාවිතා වන්නේ පිටතින් පවතින අර්ශස් ගැටිති සඳහායි. මෙහිදීද සිදු කරන්නේ විශේෂ රබර් පටියක් මගින් ගැටිත්ත ගැටගැසීමකට ලක් කර, එහි රුධිර ගමනාගමනය අඩපණ කොට සෛල මරීමකට ලක්කිරීමයි. ඒ නිසා ඒවා ඉබේ හැලී යාමක් සිදුවනවා.

4. Cauterization ක්‍රමය :

මෙහිදී සිදු කරන්නේ ලේසර් කිරණ හෝ ඉන්ෆ්‍රාරෙඩ් භාවිතයෙන් මෙම ගැටිති පිච්චීමකට ලක්කිරීමයි.

5. Heamarroidectomy :

මෙය අර්ශස් ගෙඩි ඉවත් කිරීමේ සැත්කම ලෙස සරලව හඳුන්වාදෙන්න පුලුවන්. ඉතා විශාල අරශස් ගැටිති සඳහා මෙය භාවිතාවනවා. මෙහිදී ආසාදන ඇතිවීම, ශල්‍යකර්මයෙන් පසුව වේදනාව, හා මලපහ පිටකීරීමේදී ඇතිවන අපහසුව ආදියත්, රුධිර වහනය සිදුවීමට ඇති හැකියාවත් සංකූලතා ලෙස දක්වන්නට පුළුවන්.

බරපතල තත්වයට පත්වීමට පෙර නිසි ප්‍රතිකාර ලබාගැනීමත් ආහාර පුරුදු හා චර්යාමය වෙනස් ඇති කරගැනීම මඟිනුත් ඖව කරගත හැකි රෝගී තත්වයක් නිසා ඒ පිළිබඳව ඔබගේ අවදානය යොමු කරවීමත්, ශල්‍යවෛද්‍යමය ප්‍රතිකාර පිළිබඳව අවබෝධයක් ලබාදීමටත් මෙම ලිපිය මඟින් බලපොරත්තුවුණා. තවත් මෙවැනි රෝග තත්ව පිළිබඳව දැන ගැනීමටත් නිසි අවබෝධයක් ලබා ගැනීමටත් එකතුවන්න askmydoctor.lk සමඟ එකතුවන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments