නින්දෙන් අවදිවීමෙන් පසු පියවර තැබීම වේදනාකාරීද?

පාදයේ විලුඹ කොටසේ ඇතිවන වේදනාවට වඩාත්ම සුලභ හේතුව වන්නේ මෙයයි. පාදය, විලුබේ අස්ථි සිට ඇඟිලිවල අස්ථි දක්වා සම්බන්ධ කෙරෙන තන්තුව ( plantar fascia) දුර්වල වීම නිසා මෙම තත්වය ඇතිවනවා. මෙය හඳුන්වන්නේ plantar fasciitis ලෙසයි. මෙය බොහෝවිට එක් පාදයක පමණක් හෝ විටෙක එක්වරම දෙපයේම වූවත් ඇතිවිය හැකි තත්වයක් වනවා.

මෙහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

  1. Priking type, එහෙමත් නැතිනම්, අනිනවා වැනි ස්වභාවයක් සහිත විලුබේ වේදනාව.
  2. මෙම වේදනාව වඩාත්ම දැනෙනුයේ විවේකීව සිට, නැවත නැගිට ඇවිදින විටදීයි. රාත්‍රී නින්දෙන් පසු උදයේ ඇඳෙන් බැස ඇවිද යාමට ඇතිවන අපහසුව, දිගු වේලාවක් හිඳගෙන සිට, නැඟිට ඇවිද යාමට නොහැකි තරමේ වේදනාවක් ඇතිවීම බොහෝ රෝගීන් ඉදිරිපත් කරන චෝදනාවයි.
  3. එවන් අවස්ථාවක අපහසුවෙන් හෝ පියවර කිහිපයක් තබා ඇවිද ගිය පසු වේදනාව ක්‍රමයෙන් අඩුවී යෑම.
  4. පාද වලට වෙහෙස දැනෙන ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් වලින් පසුව විලුබේ වේදනාවක් ඇතිවීම.

මේ සඳහා හේතුවන්නේ කුමක්ද?

ඉහත සඳහන් කල පරදි, පාදය, විලුබේ අස්ථි සිට ඇඟිලිවල අස්ථි දක්වා සම්බන්ධ කෙරෙන තන්තුව ( planter fascia) දුර්වල වීම නිසා මෙම තත්වය ඇතිවනවා.

මෙය සාමාන්‍යයෙන්,අවුරුදු 40-60 ත් අතර මැදිවියේ පුද්ගලයන් අතර සුලභවනවා. නමුත් වෙනත් හේතූන් නිසා මීට ප්‍රථම, ලාබාල වියේදීම මෙම තත්වය ඇති වීමට පුළුවන්.

  1. අධික තරබාරුව.
  2. වැඩි වෙලාවක් හිටගෙන සිටින හෝ ඇවිදින රාජකාරි වල යෙදීමට සිදුවීම.
  3. මලළ ක්‍රීඩා ඉසව් වල යෙදීම.
  4. පාද මත අධික පීඩනයක් යෙදවෙන ව්‍යායාම හෝ නර්තන ශෛලවල ( බැලේ නර්ත ) යෙදීම.
  5. වැරදි ඉරියව් ඇතිකරවන, යටි පතුලේ හැඩය පවත්වා නොගන්නා , රළු පාවහන් භාවිතය.
  6. උපතින්ම පාදයේ ආබාධ සහිතවීම ( flat foot හා high arched foot වැනි තත්වයන්ගේදී පාදය හා පොළව අතර ගැටීම අසාමාන්‍ය වීම නිසා මෙම තත්වය ඇතිවනවා.

මෙම තත්වය හඳුනාගන්නේ කෙසේද?

බොහෝවිට මෙම තත්වය වෛද්‍යවරුන් විසින් නිගමනය කරන්නේ රෝගී ලක්ෂණ සැලකිල්ලට ගනිමිනුයි.
අවශ්‍ය විටෙක ප්‍රතිකාර ආරම්භයට ප්‍රථම රුධිර පරීක්ෂා සිදුකරනු ලබනවා.

මීට අමතරව පාදයේ වේදනාවට හේතුවන වෙනත් කරුණු තිබිය හැකිද?

මෙම තත්වයට අමතරව, සියුම් අස්ථි බිඳීයාම් හා ස්නායු තෙරපුම් නිසා පාදයේ වේදනාව ඇතිවිය හැකියි. මෙවන් අවස්ථාවන් හඳුනාගැනීම සඳහා X කිරණ පරීක්ෂණ, MRI පරීක්ෂණ ආදිය සිදු කරනු ලබනවා.

මෙම තත්වය නොසැලකා හැරීම නිසා ඇතිවන සංකූලතා මොනවාද?

මෙම තත්වය දිගු කාලයක්, ප්‍රතිකාර රහිතව පැවතීම නිසා, ක්‍රමයෙන් ඇවිදීමේ රටාව වෙනස් කරවීමට පෙලඹවීමක් වනවා. මේ නිසා පසු කාලීනව දනහිස හා උකුල් සන්දි වල වේදනාව හා වෙනස්වීම ඇතිවීමට හැකියාවක් තිබෙනවා.

මේ සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

    1. මේ සඳහා මුල් අවදියේදී භාවිතා කෙරෙනුයේ වේදනා නාශක ඖෂධ හා, ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධයි.

සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාර මඟින් බොහෝමයක් රෝගීන් මාස කිහිපයක් තුලදී සුව ලබනවා.

  • එසේ නොවන රෝගීන් හට මෙම ඖෂධ එන්නත් මාර්ගයෙන් ලබාදීමද සිදු කෙරෙනවා.
  • මීට අමතරව, පහසුවෙන් ගෙදරදී සිදු කල හැකි ව්‍යායාම කිහිපයක්ද මෙම රෝගී තත්වය සමනයට ඉතා හොඳ ප්‍රතිඵල ලබාදෙනවා.

 

මේ සඳහා අත්හදා බැලිය හැකි ව්‍යායාම ක්‍රම මොනවාද?

fasciitis-01

 

 

 

 

 

 

A. වලලුකර සන්දියෙන් කකුල නොනමා. කකුලේ ඇඟිලි උඩු අතට නවන්න. මෙහිදී යටි පතුලේ තන්තු ඇඳීමකට ලක්වන බව ඔබට දැනේවි. එලෙස තත්පර 10 අල්වා හිඳ කකුල නිදහස් කරන්න. මේ ආකාරයට වරකට 10වරක් පමණ දිනකට 6-7 වතාවක් සිදුකරන්න.

fasciitis-02

 

 

 

 

 

 

B. ඉහත ව්‍යායාමයට තරමක් සමාන වන ව්‍යායමයක් ඔබට තුවායක් ආදාරයෙන් සිදුකරගන්න පූලුවන් වනවා. පුටුවක හිඳගෙන විලුඹ බිම තබා, තුවාය ඇඟිලි වටා සිටින පරිදි ඇද තබා ඉහත සඳහන් පියවර සිදුකර හැක.

fasciitis-03

 

 

 

 

 

 

C. මීට අමතරව, පාදයේ යට කොටසේ මාංශපේශි ශක්තිමත් කිරීම මඟින් පියවර තැබීමේදී ඇතිවන වේදනාව මඳක් සමනය කරගැනීමට හැකිවනවා. වේදනාව සහිත් පාදය පිටුපසිනුත්, අනෙක් පාදය ඉදිරියෙනුත් තිබෙන පරිදි, රූපයේ පරිදි බිත්තියකට මුහුණලා සිටගන්න. ඇස් මට්ටමට වන්නට දෙඅත් තබා වෙර ගෙන ඉදිරි පාදය දණහිසින් ක්‍රමයෙන් නවන්න.එවිට පිටුපස පාදයේ මාංශපේශි හොඳින් ඇඳෙන බවක් ඔබට දැනේවි.

මීට අමතරව, මඳ රස්න උණු වතුර සහිත බෝතලයක් යටි පතුලට තද කර රෝල් කිරීමෙන්ද මෙම වේදනාකාරී තත්වයට යම් සහනයක් ලබාගැනීමට ඔබට හැකිවේවි.

අප වෙත යොමුවුණු ගැටලු කිහිපයක් හේතු කරගෙන මෙම තත්වය පිළිබඳව සටහනක් ඉදිරපත් කිරීම සුදුසු යැයි අප විසින් තීරණය කෙරුණා. මෙවන් එදිනෙදා ජීවිතයේ සුලභව හඳුනාගැනීමට හැකිවන රෝගී තත්වයක් පිළිබඳ, ඔබේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට askmydoctor.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments