මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස උණ

viral-flu-srilanka-article-1මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස උණ රෝගී තත්වය නිසා ඇතිවී තිබෙන අවදානම් තත්වය නිසාත්, මෙම රෝගී තත්වය ආසාදනය අවම කරගැනීමට ඔබට ගත හැකි පියවර පිළිබඳවත් නැවත මතක් කිරීමක් සිදු කිරීමට මෙම කෙටි ලිපිය තුලින් අපි බලාපොරොත්තු වනවා.

මේ දිනවල වෛරස උණ රෝගී තත්ව කිහිපයක්ම ආසාදනය වීම සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතිනවා. AH1N1 රෝගකාරකයට අමතරව තවත් වෛරස කිහිපයක් මේ සඳහා හේතුවී තිබෙනවා.

රෝග ලක්ෂණ

  • කිවිසුම් යාම
  • සොටු දියර ගැලීම
  • උණ
  • කැස්ස
  • හිසරදය
  • ඇඟපත අමාරුව
  • උගුර කැක්කුම
  • යම් විටෙක වමනය හා බඩඑළිය තත්වයද දැකිය හැකිය.

රෝගය වැලඳී ඇතිනම් ඔබ ගත යුතු පියවර

මේම රෝගී තත්වය සාමාන්‍ය ඍතුමය (seasonal) වෛරස ආසාදනයක් ලෙස සැලකිය හැකිවනවා. නමුත්, දැනට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා නියුමෝනියා තත්ව උද්ගතවී, මාරාන්තික තත්ව දක්වා අවදානම් පරාසය ව්‍යප්ත වී අවස්ථාවක් නිසා, වඩාත් සුදුසු වන්නේ, ඉහත රෝගී ලක්ෂණ මතුව ඇතිනම් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මඟින් ප්‍රතිකාර ලබා ගැනීමයි.

තවද සීත ආහාර වර්ග වලින් වැලකී සිටීම, සුදුසු පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම, වැඩිපුර ජලය පානය කිරීම, හා විවේකය ද මෙම තත්වයඇඩපවත්වා ගැනීමට හේතුවනු ඇත.

තවද දිවයිනේ යම් යම් ප්‍රදේශ වල ඩෙංගු උණ රෝගී තත්වයද පැතිර තිබෙන නිසා, දින තුනකට වඩා පවතින උණ තත්වයකදී රුධිර පරීක්ෂණ සිදුකොට, ඩෙංගු රෝගය සඳහා වන අවදානම පිළිබඳව සැක ඉවත් කරගැනීමද සිදු කලයුතුවනවා.

රෝගකාරක වෛරස පැතිරවීම අවම කරගන්නේ කෙසේද?

  • කිවිසුම් හා සොටු දියර පාලනය සඳහා අනිවාර්යයෙන් පිරිසිඳු ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසි භාවිතය. ( භාවිතයෙන් පසු ඉවතලිය හැකි නිසා වඩාත් සුදුසුය ). ඔබ පොදු ස්ථානයක ගැවසෙන විට මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව සලකන්න.
  • ලේන්සු සෝදා පිරිසිඳු කරගැනීම මෙන්ම, භාවිතා කල ටිෂූ කඩදාසි නිසි පරිදි ඉවතලීමද සිදු කල යුතුවනවා.
  • නිතර අත්ල මඟින් මුහුණ හා නාසය අත පත ගෑම් සිදු නොකල යුතුය.
  • හදිසි අවස්ථාවකදී කිවිසින විට අත්ලෙන් මුහුණ වසා ගැනීම වෙනුවට වැලමිට මඟින් ආවරණය වඩාත් සුදුසු වනවා.
  • කුඩා දරුවන් අතර ඉතා පහසුවෙන් බෝවිය හැකි නිසා දරුවන් ගැවසෙන පොදු ස්ථාන වල දරුවන් රඳවා තැබීම අවම කරගැනීම සිදුකල යුතු වනවා.

වැඩි අවදානම් කොට්ඨාස වල රෝගීන් හඳුනාගැනීම

  1. වයස අවු. 2ට අඩු කුඩා දරුවන්
  2. වයස 65ට වැඩි වයස්ගත පුද්ගලයන්
  3. ගර්භනී මාතාවන්.
  4. දිගුකාලීන රෝගී තත්ව වලින් පෙළෙන රෝගීන්

මෙම කොට්ඨාස වලට අයත් රෝගීන් පිළිබඳව වැඩි සැලකිලිමත් බවක් යෙදවිය යුතු වන්නේ, ඔවුන් අවදානම් තත්ව වලට යොමුවීමේ හැකියාව වැඩි බැවිනි.
රජය මඟින් නිකුත් කර ඇති නිවේදනයන්ට අනුව, මෙම රෝග ලක්ෂණ සහිත ගර්භණී මාතාවන්, රෝග ලක්ෂණ මතුවී පළමු දිනයේදීම නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකරවීම වඩාත් සුදුසු වනවා.

මෙම ආසාදන තත්වය පහව යන තෙක් ඉහත උපදෙස් පිළිපැදීම ඔබටත් ඔබ අවට සිටින අනෙකුත් පුද්ගලයන් ටත් වැදගත්වනු ඇති. එම නිසා මේ තත්වය පාලනය සඳහා අන් අයද දැනුවත් කිරීම ඔබගේ යුතුකමයි.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments