මේ දිනවල සීග්‍රයෙන් පැතිරයන Adeno virus ලෙස සැකකෙරෙන වෛරසය

fever-300වැසි සමය උදාවීමත් සමඟම සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස, සෙම වැනි රෝග තත්වයන් උණ ඇතිව හෝ නැතිව සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ඉතා සුලභවී තිබෙනවා. නමුත් මේ දිනවල හඳුනා නොගත් යැයි සැලකෙන, Adeno virus ලෙස සැකකෙරෙන වෛරසයක් නිසා අසාමාන්‍ය නියුමෝනියා / atypical pneumonia තත්වයක් ඇතිවී ළදරු මරණ කිහිපයක් සිදුව තිබෙනවා. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ආශ්‍රිත රෝග පිළිබඳව අනවශ්‍ය බියක් පැතිරයාම සිදුවනවා. ඔබ තේරුම් ගත යුත්තේ ඕනෑම කෙනෙක් හට මෙම තත්වය වැළඳිය හැකි නමුත් එය සෑම විටම සංකූලතා ඇතිකෙරෙන මාරන්තික තත්වයක් නොවන බවයි. .එම නිසා කලබල වීමකින් තොරව මේ සඳහා නිසි ප්‍රතිකාර වලට යොමුවීම සුදුසු වනවා.

නමුත්,

  1. වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්
  2. වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්
  3. ගර්භනී මව්වරුන්
  4. ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන් (පිළිකා වැනි රෝගී තත්වයක් හෝ විශේෂ ඖෂධ භාවිතය හේතුවෙන්)
  5. හෘදය, අක්මාව, වකුගඩු ආශ්‍රිත රෝගී හා දියවැඩියාව වැනි රෝග තත්වයෙන් පෙලෙන්නන්

ආදී ඉහත සඳහන් කුමන හෝ කාණ්ඩයකට ඇතුලත් වේ නම්, ඔවුන් වෛරස අසාදනය තීව්‍ර වීමටත්, සංකුලතාවයන් ඇතිවීමටත් වැඩි අවදානමක් දරණු ඇත. එමනිසා එවැනි රෝගීන් වඩාත් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකරවීමට හා වඩාත් සැලකිලිමත් වීමට වගබලා ගත යුතුයි.

රෝගී ලක්ෂණ

    • තද උණ
    • හිසරදය
    • හුස්ම ගැනීමේ අපහසුව
    • අධික ඇඟපත වේදනාව
    • නාසයෙන් අධික ලෙස සොටු දියර ගැලීම හෝ නහය බරවිම
    • උගුරේ අමාරුව
    • මලානික බව
    • වෙව්ලීම
    • බඩ එළිය යාම
    • ඇස් රත්වී කබ මතුවීම
    • ඔක්කාරය හා වමනය
    • කුඩා දරුවන්ගේ ක්‍රියාකරීත්වය අඩුවීම හා කිරි උරාබීමට මැලිවීම

වැනි රෝග ලක්ෂණ වේනම් අනිවාර්යයෙන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

රෝගී ඔබ කලයුතු දේ

  • වෛද්‍ය ප්‍රතිකාර වෙත් ඉක්මනින් යොමුවීම
  • හොඳින් විවේක ගැනීම
  • කැස්ස හෝ කිවිසුම් ඇතිවන අවස්ථාවල නහය හා මුඛය ආවරණය වන පරිදි ලේන්සුවක් හෝ ටිෂු භාවිතය. එමෙන්ම නිසි පරිදි ටිෂු ඉවත දැමීම හා ලේන්සු නිතර සෝදා මාරු කිරීම
  • උණු වතුර භාවිතය හා හුමාලය ඇල්ලීම
  • නිතර සබන් දා අත්සේදීම

Prevention is better than cure

සැම විටම රෝගී තත්වයන්ට ගොදුරු වීමෙන් වැලකි සිටීම, ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වඩා පහසුවනු ඇත. ඒ නිසාම ඔබ රෝගී කෙනෙක් නම් අන් අයට මෙම විෂබිජකාරී වෛරසය පැතිරවීමෙන් වැලකි සිටින්නටත් ඔබට රෝගී තත්වය වැළදී නොමැති නම් හා රෝගීන් ආශ්‍රිතව ගැවසීම සිදුකරන්නේනම්, පුර්ව පියවර ගෙන එය වළක්වා ගැනීමත් සිදුකල යුතුයි.

  • සෙනග බහුල ලෙස ගැවසෙන ස්ථානවල රැදී සිටිම අවම කිරීම. හා ගැවසීමට සිදුවන අවස්ථාවල නාසය හා මුඛ ආවරණයක් පැලඳීම
  • නිතර නිතර නාසය හා මුහුණ ඇල්ලීමෙන් වැලකි සිටීම
  • දෙඅත් හොඳින් සෝදා පිරිසිදුව තබාගැනීම
  • දිනපතා ඇඟ සේදීම
  • කුඩා දරුවන් රෝහල්වෙත අනවශ්‍ය අවස්ථාවල රැගෙන නොයෑම හා පොදු ස්ථාන වල ගැවසීම සීමා කර ගැනීම

මෙම තත්වය තුලදී ඔබට ඇතිවන ගැටලු පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් වැඩිදුර කරුණු අසා දැනගන්න. මෙම රෝගය පැතිර යාම වළක්වා ගැනීමටත්, සංකූලතා අවම කරගැනීමටත් ගත යුතු පියවර අවබෝධ කරගෙන අනුගමනය කරන්න. ඔබ ලබා ගත් දැනුම තවත් කෙනෙක් සමඟ බෙදාගන්න. කාලීන වෛද්‍ය ගැටලු පිළිබඳව දැනගැනීමට askmydoctor.lk අපගේ වෙබ් පිටුව වෙත් යොමුවෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments