ඇලර්ජී නොහොත් අසාත්මිකතා

rash1අසාත්මිකතාවක්, නැතිනම් ඇලර්ජී එකක් ඇතිවීම , අපි කවුරුත් ජිවිතේ කොයි මොහොතක හෝ අනිවාර්යයෙන් මුහුණ දී ඇති. කැසීම්, රතුවීම්, පළු දැමීම වැනි ලක්ෂණ වල සිට රුධිර පීඩනය සීග්‍රයෙන් පහළ වැටීම, ශ්වසන මාර්ග අවහිරතා වගේම අවසානයේ මරණයට දක්වාම මෙය තීව්‍ර වන්නට පුළුවන් බව කිවහොත් ඔබ යම් විටක පුදුමයට පත්වේවි.

මෙය ඇතිවන්නේ කෙසේද, එය ඇතිවිමට හේතු හා එවැනි අවස්ථාවකදි ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වනවා.

මෙවැනි මාරාන්තික අසාත්මිකතාවයක ලක්ෂණ මොනවාද?

  • සාමාන්‍ය ඇලර්ජි එකකදී මෙන්ම ඇඟ කැසීමට පටන්ගැනීම, පළු දැමීම, සම සුදුමැළිවීම.
  • ක්‍රමයෙන් උගුර හිරවීම හා ගිලීමට අපහසුතාවයක් ඇතිවීම.
  • ශ්වසන මාර්ග හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හා දිව තොල් ආදිය ඉදිමීම.
  • නාඩි වැටීම ක්‍රමයෙන් දුබල වී වේගවත් වීම.
  • ඔක්කාරය, වමනය හා බඩ එළිය යාම.
  • කැරකිල්ල, අසිහිය හා සිහි විසඥවීම.

මෙවැනි රෝග ලක්ෂණ ඔබට හෝ වෙනත් අයකුට යම් අවස්ථාවක ඇතිවන බව ඔබට වැටහේ නම්, ඉතා ඉක්මණින් ළගම තිබෙන හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයක් වෙත යොමුවීම සිදුකරන්න.

තප්පර ගණනක සිට විනාඩි කිහිපයක් ඇතුලත මෙම තත්වයන් තීව්‍රවී මාරාන්තික විය හැකි බැවින් මෙම ලක්ෂණ ඇතිවන බව දැනුනු විගසම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිම සිදුකල යුතු වනවා.

මෙම තත්වය ඇතිවන්නේ කෙසේද? හා කුමන කාරක (Allergens) නිසාවෙන්ද?

සිරුරට ශ්වසනය මගින් හෝ, ආහාරපාන මගින්, හෝ සමෙන් ඇතුල්වන ප්‍රතිශක්ති විරෝධක, බාහිර ද්‍රව්‍ය වලට, සිරුර තුලින්ම ප්‍රතිවිරෝධී ක්‍රියාවලියක් ආරම්භ කෙරෙනවා. මෙය සිදුවන්නේ එම බාහිර කාරක වලට එරෙහිවශරීරය තුල ගොඩනැගෙන රසායනික ද්‍රව්‍ය තුලිනුයි. මෙය ශරීරයේ එක් ප්‍රතිශක්ති හැකියාවක්.

නමුත් සමහර පුද්ගලයන්ගේ මෙම ප්‍රතිශක්ති හැකියාව අන් පුද්ගලයන්ට වඩා ඉහළ මට්ටමක පවතිනවා. සාමන්‍ය කෙනෙකුට වඩා ශරීරය තුලින් වැඩි ප්‍රතිවිරෝධීතාවයක් ඇතිවී ශ්වසන මාර්ග, ආහාරමාර්ග හා රුධිර නාල වලටද යම් බලපෑමක් කරනවා.

  • ඖෂධ වර්ග (පෙනිසිලින්) වැනි
  • ආහාරමය ද්‍රව්‍ය (රටකජු, ආල්මන්ඩ්, කජු, සමහර මාළු වර්ග, අන්නාසි, තක්කාලි, බිත්තර, ඉස්සන්)
  • කෘමි සතුන්ගේ විෂ (මීමැස්සන්, කඩියන්, බඹරුන්, දළබුවන්)
  • ලැටේක්ස් (Latex) රබර් වර්ග

වැනි දේවලට මෙම ප්‍රතික්‍රියා ඇතිවීම නිතර නිතර දක්නට ලැබෙනවා. නමුත් සැලකිය යුතු කරුණ වන්නේ එක් අයකුට අසාත්මිකතාවන් ඇතිකරන යම් ද්‍රව්‍යයක් තවත් කෙනෙකුට ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා නොදක්වන්නට හැකි බවයි. එනම්, මෙම අසාත්මිකතා ඇතිවීම, එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ද්‍රව්‍ය සදහා ඇතිවිය හැකි බවයි.

මේවැනි අසාත්මිකතා ඇතිවීම සදහා වැඩි අවදානම් කාණ්ඩයේ සිටින පුද්ගලයන් සිටිනවාද?

ඔව්

  1. මිට පෙර එවැනි තීව්‍ර ඝණයේ අසාත්මිකතාවයකට මුහුණ දුන් පුද්ගලයන්.
  2. නිතර නිතර ඇස්මා (හතිය) / wheezing තත්වයන්ට, මුහුණ දෙන පුද්ගලයන්.
  3. එවැනි බරපතල අසාත්මිකතා පිළිබඳව පවුලේ රෝග ඉතිහාසයක් තිබෙන පුද්ගලයන්.
  4. නිතර නිතර විවිධ ද්‍රව්‍ය සඳහා සුළු අසාත්මිකතා දක්වන පුද්ගලයින්.

මෙවැනි තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතිනම්, ඒ පිළිබඳව ඔබට ගත හැකි පියවර මොනවාද?

– ඔබත් අවදානම් කාණ්ඩයට අයත්වන පුද්ගලයකු නම්, ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔබට එම තත්වය ඇතිකරවන්නේ කුමන කාරකද යන්න නිසි පිලිබඳව නිසි අවබෝධයක් නොමැති නම්, ඒ සඳහා පරීක්ෂණ සිදුකොට එය නිර්ණය කරගත හැකිවනවා. මෙමගින් මෙවැනි කාරක වලට නිරාවරණය විම ඔබට මඟ හරවා ගන්නට පුලුවන් .

    • එවැනි අවස්ථාවක ලබාගැනීමට හැකි ඖෂධ එන්නතක් ඔබට වෛද්‍ය නිර්දේශ මත ලබාගැනීමටත් හැකිවනවා.
    • මීට අමතරව සරළව භාවිතාවන antihistamine වර්ගයේ ඖෂධ ඔබට වෛද්‍ය නිර්දේශ මත ලබාගෙන ලඟ තබාගැනීමටත් හැකියාව තිබෙනවා.
    • ඔබ සමීපයේ සිටින කෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන්නේ නම්, එම අවස්ථාවේ ඔබ ක්‍රියාකල යුතු වන්නේ කෙසේදැයිද දැන සිටීමද අනිවාර්ය වනවා. එවැනි අවස්ථාවක ගත හැකි ක්‍රියාමාර්ග වනුයේ.
      • රෝග කාරකයෙන් පුද්ගලයා ඉවත් කිරීම.
      • දෙපා මට්ටම මදක් ඉහළට වන පරිදි නිදන ඉරියව්වක සැතපවීම.
      • හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සැලසීම.
      • මේ සඳහා ලඟ තබාගන්නා ඖෂධ කිසිවක් රෝගියා ලඟ ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ලබාදිම.
      • හැකි ඉක්මණින් රෝගියා නිසි වෛද්‍ය සත්කාර සඳහා රෝහලක් වෙත යොමු කිරීම.

මෙය එදිනෙදා ජිවිතයේ ඕනෑම අවස්ථාවක, ඕනෑම අයෙක්ට මුහුණදීමට සිදුවිය හැකි තත්වයක් වන නිසා, එවැනි අවස්ථාවක ඒ පිළිබඳව යම් කිසි දැනුමක් ලබාසිටීම මඟින්, ජීවිතයක් අනතුරකින් මුදවාගැනීමේ හැකියාවද ඔබට ලැබෙනු ඇත. ඒ සඳහා මෙම ලිපිය ඔබට යම් අවබෝධයක් ගෙන දෙන්නට ඇතැයිද, එවන් අවස්ථාවක් උදාවුවහොත් එහිදී ක්‍රියාත්මකවීමට ඔබට යම් අත්වැලක් වනු ඇතැයිද සිතමු.

Author – Dr. H.Vithana (M.B.B.S)

Read More: අත් හිරිවැටීම

මෙම ලිපිය share කර දැනුම බෙදාහදා ගනිමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments