රුධිරය දන් දීමෙදි ඔබ දැනගත යුතු දෑ

ඔබත් රුධිරය දන් දීමට කැමැත්තෙන් සිටින්නේද? (Want to donate blood? Are you eligible?

blood-donationරුධිරය දන් දීම පිං ඇති ක්‍රියාවක් ලෙස සැළකිය හැකි සේම සමාජයීය වශයෙන් සෑම මනුෂ්‍යයකුගේම වගකීමක් ලෙසද සැලකිය හැක. එහි වන වැදගත් කම වඩාත් දැනෙනුයේ තමන්ගේ සමීපතමයකු හට රුධිර සැපයීමක් සිදු කිරීමට සිදුවන හදිසි අවස්ථාවකදීය. රුධිර ගැලීමකදී ශරීරගත ද්‍රව සංඝටක වල අඩු වීම හේතුවෙන් රෝගීන් කම්පන (Hypovolumic shock) වැනි භයානක තත්ත්වයන්ට බඳුන් වීමට ඉඩ කඩ ඇත. මෙය රඳා පවතින්නේ ශරීරයට අහිමිවන රුධිර ප්‍රමාණය අනුවය. සුදුසු රුධිර සාම්පලය ලබාගන්නා තෙක් කෘතිමව නිපදවන ලද සේලයින් වර්ග(Normal saline, Ringers loctate, Heta starch) ආදිය ලබා දිය හැකි නමුත්, අහිමි වූ රුධිරය සඳහා නැවත ලබාදිය හැකි හොඳම ද්‍රවය ලෙස සැලකෙන්නේ රුධිරයම වේ.

 

රුධිර ගණ පිළිබඳ ඔබ දැනුවත්ද?

තමන්ගේ රුධිර ගණය පිළිබද දැනුවත්ව සිටීම හදිසි අවස්ථාවකදී ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබ හට බාහිරයෙන් රුධිරය ලබාගැනීමට මෙන්ම, වෙනත් අයෙකුට රුධිරය ලබාදීමට ඉදිරිපත් වීමේදීත් මෙය වැදගත් වේ.රුධිර ගණ වෙන් කිරීම ආකාර කීපයකට සිදු කළ හැකි වුවද බහුලවම භාවිතා කරනුයේ ABO රුධිර ගණ වෙන් කිරීම හා රීසස් (Rhesus-Rh) සාධකය අනුව සිදු කරන වෙන් කිරීමයි. ABO වර්ග කිරීම සිදු කරනුයේ රතු රුධිරාණු සෛල වල අඩංගු Antigen (ප්‍රතිදේහජනක) හා රුධිර ප්ලාස්මාවේ ඇති Antibody (ප්‍රතිදේහ) අනුවය. රුධිර සෛල බිත්ති මත ඇති Antigen වර්ගය අනුව A, B, AB හා O ලෙස ප්‍රධන වර්ග වේ. (+) (-) භාවය තීරණය වනුයේ Rh සාධකය තිබීම හා නොතිබීම අනුවය.

 

රුධිර ගණය නිර්ණය කිරීම

ඉතා ස්වල්ප රුධිර බිංදු කීපයක් රසායනික ප්‍රතික්‍රියාවට බඳුන් කිරීමෙන් රුධිර ගණය පහසුවෙන් නිර්ණය කළ හැක.

blood-groups-2

රුධිර පාරවිලනය සඳහා එක් ගණයක් සමඟ ගැළපෙන අනෙක් රුධිර ගණ මොනවාදැයි දැන ගනිමු.

blood-groups

මේ අනුව (O-) රුධිර ගණයට අයත් පුද්ගලයන්ට වෙනත් ඕනෑම රුධිර ගණයකට අයත් පුද්ගලයෙකුට රුධිරය ලබා දිය හැකි බැවින් සර්වදායකයන් ( universal doners ) ලෙසත්, (AB+) වන පුද්ගලයන්ට ඕනෑම පුද්ගලයකුගේ රුධිරය ලබාගත හැකි බැවින් සර්වප්‍රතිග්‍රාහකයින් ( universal receivers ) ලෙසත් හැඳින්වේ.

රුධිර දායකයකු වීමට ඔබට තිබිය යුතු සුදුසුකම්

  1. සාමාන්‍ය යහපත් ශරීර සෞඛ්‍යය
  2. වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම
  3. ශරීර බර 50ට වැඩි වීම
  4. දිගු කාලීන හෝ නිධන්ගත රෝග වලින් තොර වීම.

උදාහරණ ලෙස :-

  • අධි රුධිර පීඩනය
  • දියවැඩියාව
  • ස්නායු රෝග
  • වකුගඩු සහ අක්මාව ආශ්‍රිත රෝග
  • ඇදුම
  • වලිප්පුව
  • හදවත් රෝග
  • පිළිකා රෝගී තත්ත්වයන් ආදිය දැක්විය හැකිය.

අවසාන වරට රුධිරය පරිත්‍යාග කොට අවම මාස 4ක් ගතවී තිබීම සාමාන්‍ය පිලිගැනීමයි. නමුත් රුධිරය ලබා ගැනෙනුයේ යම් නිශ්චිත රුධිර සංඝටකයක් ලබා ගැනීමට පමණක් නම්,
එනම්,

  • රුධිර ප්ලාස්මාව සඳහා මසකට වරක්
  • රුධිර පට්ටිකා සඳහා සතියකට වරක්

ආදී ලෙසද රුධිරය පරිත්‍යාග කල හැක.

රුධිර දන්දීමට පෙර ඔබ පරීක්ෂා කරගත යුතු කරුණු මොනවාද?

  1. රුධිර පීඩනය
  2. ශරීර උෂ්ණත්වය
  3. රුධිරගත සීනි මට්ටම
  4. හිමොග්ලොබින් ප්‍රතිශතය
  5. රුධිරය මඟින් බෝ විය හැකි රෝගී තත්ත්ව සඳහා වන නිරාවරණ පරීක්ෂණ (screening tests)
  6. මැලේරියාව
  7. HIV ආසාධනය
  8. සෙංගමාලය (Hepatitis B/C)

රුධිරය පරිත්‍යාග කිරීමට ඔබ නුසුදුස්සකු වන අවස්ථා

මෙම අවස්ථා පිළිබඳව රුධිරය ලබා ගැනීමට පෙර වෛද්‍යවරයා ඔබගෙන් විමසා කරුණු රැස් කරගනු ඇත. ඒ අවස්ථා වලදී නොසඟවා සත්‍ය තත්ත්වයන් ඉදිරිපත් කල යුතු අතර පෞද්ගලිකතාවය හා රහස්‍යභාවය එලෙසම සුරැකෙන අතර ඒ පිළිබදව අනවශ්‍ය බිය වීමක් නොවිය යුතුයි.

  1. එක් අයෙක්ට වඩා වැඩි ලිංගික සහකරුවන් ගණනක් සිටීද යන්න.
  2. මත්ද්‍රව්‍ය භාවිතය එන්නත් මඟින් සිදුකරන්නේද යන්න.
  3. කෙදිනක හෝ සෙංගමාලය හෝ කහ උණ වැළඳී ඇත්ද යන්න
  4. මීට පෙරදී පච්ච කෙටීමක් ඇස්,කන්,තොල් හෝ නාසය විදීමක් කලේද යන්න
  5. පසුගිය වසරක කාලයේදී ඔබට බාහිරින් රුධිරය ලබාගැනීමට සිදුවූයේද යන්න
  6. නිධන්ගත රුධිරය ආශ්‍රිත රෝගී තත්ත්වයන් පවුලේ කිසිවෙකුට තිබේද යන්න.

මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී ඔබත් රුධිර දායකයකු වීමට සුදුස්සකු ලෙස හැඟේ නම් හැකි සෑම වාරයකදීම මෙම සමාජ සත්කාරයට දායක වන්න

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments