නොමිළේ ගෙදරදිම ඇස් පරික්ෂා කරගන්න – Eye test

eyetest
ඇස යනු අප ශරිරයේ වැදගත්ම හා වඩාත් සංවේදි අවයවයක්.බොහෝ වේලාවට, පරිගණකයක් ඉදිරිපිට දවසේ වැඩි කාලයක් ගත කරන්නට හුරුවී සිටින අපට, එකම දෘෂ්ටි පරාසයක වස්තු වෙත එක එල්ලේ බලා සිටීම නිසා පෙනීමේ දුර්වලතා ඇතිවන ප්‍රවණතාව වැඩියි. ඒ වගේම ඇසිපිය ගැසීම අඩුවී, ඇසෙහි විවිධ ස්ථර වියලීමට ලක්වීමෙන් ඇතිවන අපහසුතා හා රෝගී තත්වයන්ටද මුහුණදීමටද අපට සිදුවනවා. පැයකට විනාඩි 5ක කාලයක් හෝ පරිගණකයෙන් මෑත්ව සිටීම මෙම තත්වයන් ඇතිවීම වලක්වාගැන්මට උපකාරීවනවා.. මේ හේතු නිසාම ඇස් පිලිබඳව වඩාත් සැලකිලිමත් වෙන්නට තවදුරටත් මැදිවිය ගෙවමින් හතලිස් ඇඳිරිය උදාවෙන තුරුම බලාසිටීම නුවණට හුරුවන්නේ නැහැ.

ඔබගේ පෙනිමේ දුර්වලතාවයකට, ඇස් කණ්නාඩි ලබාගැනීම සඳහා පරීක්ෂාවක් කරන විටෙක, යෙදිය යුතු කාචයේ බලය නිර්ණය කිරීමට අමතරව, ඇස හා සම්බන්ධ ස්නායු පිලිබඳවත්, අක්ෂි ක්‍රියාත්මක වීමේදී එකිනෙක හා දක්වන සම්බන්ධිකරණය ගැනත්, වෙනත් සුලභව ඇතිවන අක්‍ෂි රෝග ආදිය පිලිබඳවත් පරීක්ෂා කරවා ගැනීම වඩාත් සුදුසු වනවා.

මීට හේතුව වන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයන් ඇතිකරන, වෙනත් දිගුකාලීන රෝගි තත්වයන් බහුල වීමයි. දියවැඩියාව, කොලේස්ට්‍රෝල් අධික බව, අධි රුධිර පීඩනය ආදිය මේ අතර මුලික තැනක් ගන්නවා. එවැනි රෝගී තත්වයකදීත්, ඇස්වල ඇතිවිය හැකි මුල් අවධියේ ගැටලුව පෙනිමේ දුර්වලතාවයක් ඇතිවිමයි. එමනිසා සම්පුර්ණ අක්ෂි පරීක්ෂාවක් සිදුකරාගැනිම තරුණවියේ පසුවන ඔබට වසර 3කට වරක් හා මැදිවියෙදි වසරකට හෝ 2කට වරක් වත් සිදුකරගැනිම වැදගත් වනවා.

එමගින් පෙනිමේ දුර්වලතාවයකට තුඩුදෙන වෙනත් ශාරීරික රෝගී තත්වයන් ඇත්නම් ඒවා හඳුනාගැනිමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත.

ගෙදරදීම ඔබගේ ඇස් පරික්ෂා කරගැනිමට පහල ඇති උපදෙස් පිළිපදින්න.

button-sne-chart

  1. පළමුව ඉහත ඇති “snellens chart” එක ඩවුන්ලෝඩ් කරගන්න.
  2. ඔබ ඩවුන්ලෝඩ් කරගත් “snellens chart” එක A4 කොලයක ප්‍රින්ට් කරගත යුතුයි. (මෙය පරිගණක තිරයේ තබාගෙන පරික්ෂා කිරිමෙන් වලකින්න)
  3. ඔබ ප්‍රින්ට් කරගත් “snellens chart” එක හොඳින් ආලෝකමත් වූ ස්ථානයක ඇස් මට්ටමට සිටින සේ සවිකරගන්න.
  4. පසුව සවිකරගත් කොලයේ සිට අඩි 9.5 (2.9 Meteres) දුරක සිට වරකට එක් ඇසක් පමණක් පරික්ෂා කල යුතුයි. අනෙක් ඇස අතින් වසාගන්න.
  5. ඉහල ඇති විශාලම අකුරු පේලියේ සිට කියවිම ආරම්භ කරන්න.
  6. ඔබට හොදින් කියවිමට හැකි කුඩාම පේලියේ ඉදිරියෙන් ඇති අංකය මතක තබාගන්න.

අනෙත් ඇස සඳහාද ඉහත පියවරම අනුගමනය කරන්න.

මෙහි ඇති සියලු පියවර ඔබ සිදුකර ඇත්නම්, ඔබට හොදින් කියවිමට හැකි කුඩාම පේලියේ ඉදිරියෙන් ඇති අංකය ඉදිරියේ ඇති උපදෙස් කියවන්න.

අංකය 01

ඔබගේ දෘෂ්ටි තත්වය පවතින්නේ ඉතා අවදානම් තත්වයකයි. අන්ධභාවයට ඉතා ලංව ඇති තත්වයක්. වහාම අක්‍ෂි වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබාගන්න.

අංකය 02 – 03 – 04

ඔබගේ දෘෂ්ටි පරාසය සාමන්‍ය තත්වයට වඩා ඉතා දුර්වල තත්වයක පවතිනවා. මෙය වයසත් සමග ඇතිවුවක් නොවේනම්, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගයක අතුරු ඵලයක් වීමට අවස්ථාව තිබෙනවා. මෙම තත්වය තව දුරටත් වර්ධනය විමට පෙර අක්‍ෂි වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබාගන්න.

අංකය 05 – 06

සාමන්‍ය කෙනෙකුගේ දෘෂ්ටි පරාසයට වඩා ඔබගේ දෘෂ්ටි පරාසය සැලකිය යුතු මට්ටමකින් අඩුවි තිබෙනවා. ඔබ තරුණ කෙනෙක් නම් මෙම තත්වය මැතකදි ඇතිවුවක් නම් මෙය වර්ධනය වීම වලක්වා ගත හැකි වනවා. ඔබ මැදිවිය පසු කරන කෙනෙක් නම් බොහෝ විට මෙය වයසත් සමග ඇතිවන වෙනස්විමක් ලෙස සලකන්නට පුළුවන්. නමුත් වෛද්‍යවරයකු වෙත යොමුවි අදාල ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.

අංකය 07

සාමන්‍ය කෙනෙකුගේ දෘෂ්ටි පරාසයට වඩා ඔබගේ දෘෂ්ටි පරාසය මදක් අඩුයි. ඔබ තරුණ කෙනෙක් නම් මෙම තත්වය මැතකදි ඇතිවුවක් නම් අක්‍ෂිවල මාංශපේශි වල හෝ කාචයේ හටගත් යම් දුර්වලතාවයක් හේතු විය හැකියි. සුදුසු ශක්ති ප්‍රමාණයක ඇස් කණ්නාඩි පැළදීම මගින් මෙම තත්වය වර්ධනය වීම අවම කර, නැවත යථා තත්වයට පත්කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත. ඒ සදහා අක්‍ෂි වෛද්‍යවරයකු වෙත යොමුවි අදාල ප්‍රතිකාර ලබාගන්න.

අංකය 08 – 09 – 10 – 11

ඔබට ඇත්තේ සාමන්‍ය දෘෂ්ටි පරාසයක්. සතුටුදායකයි! මෙම තත්වය දීර්ඝකාලීනව පවත්වා ගැනිම සදහා කහ, තැඹිලි පැහැති එළවලු, පළතුරු වර්ග හා පලා වර්ග දිනපතා ආහාරයට එක්කරගැනිමත් සිදුකල හැකියි.

eye-meter-askmydoctor-lk-2

අක්ෂි පරීක්ෂණයක් සඳහා නිරතුරුවම ඔබ යොමුවිය යුත්තේ ඇයිදැයි යන්න පිලිබඳව ඔබව දැනුවත් කරන්නටත්, ඒ සඳහා ඔබව දිරිමත් කරවීමටත්, එලෙස වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්වයක් උද්ගතවී ඇත්දැයි ඔබට තේරුම් ගැනීමටත් අපගේ මේ උත්සහය රුකුලක් වන්නට ඇතැයි සිතමු.

 

Author – Dr. H.Vithana (M.B.B.S)

මෙවැනි තවත් ළිපි සදහා අපගේ Newsletter එක සමග ලියාපදිංචි වන්න. ක්ලික් කරන්න

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments