මුඛ දුර්ගන්ධය නොහොත් කට ගඳ ගැසිම

bad-breath-arti2මුඛ දුර්ගන්ධය බොහෝ දෙනෙක් හට ඇතිවන නමුත් සාකච්ඡා කිරීමට අකමැති ගැටලුවක්. මෙහි නරක තත්වය වන්නේ මෙයට මුහුණදෙන පුද්ගලයන් බොහෝවිට ඒ පිළිබඳව වැඩි අනුදැනුමකින් තොරවීමයි. තමන්ගේ මුඛ දුර්ගන්ධය හෝ එහි තීව්‍රතාවය පිළිබඳව තමන්ටම තේරුම් ගැනීමට අපහසුවීම මීට හේතුවයි. ඔබට සමීප කෙනෙකුගෙන් හෝ පවුලේ කෙනෙකුගෙන් නිශ්චිත ලෙස විමසා ඒ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ඔබට පුළුවන්.

මුඛ දුර්ගන්ධය සැමවිටම යම් රෝගයක ලක්ෂණයක්ද?

මුඛ දුර්ගන්ධයට හේතුවන රෝගී තත්වයන්ද කිහිපයක්ම තිබෙනවා. නමුත් සැමවිටම මීට හේතුව රෝගී තත්ත්වයක්ම වන්නේ නැහැ. මෙය වෙන්කර හඳුනාගන්න සියුම් පියවර කිහිපයක් අනුගමනය කරන්න ඔබට පුළුවන්.

1. එදිනදා මුඛ සෞඛ්‍ය පුරුදු පිළිබඳව වැඩි අවදානයක් යොමු කිරීම. එනම්

  • ආහාර වේලකින් පසු හොඳින් කට සෝදා හැරිම.
  • දිනකට දෙවරක්, එනම් උදයේ/ රාත්‍රී නින්දට යාමට පෙරත් දන්තාලේප භාවිතා කර දත් මැද පිරිසිඳු කිරීම.
  • ආහාර වේලකට පසුව, දත් අතර රැදුණු ආහාර කැබලි ඉවත් කිරිම සඳහා dental floss භාවිතය හා දිව පිරිසිඳු කිරීම.

2.ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීම

මෙවැනි සරළ හුරුපුරුදු වලට හුරුවිමෙන් පසුවත් ඔබගේ මුඛ දුර්ගන්ධය දිගින් දිගටම පවතින්නේ නම්, එය යම් රෝගයක ලක්ෂණයක් විය හැකි බැවින් වෛද්‍යවරයකුගේ උපදෙස් ගැනීම සිදුකල යුතු වනවා.

මුඛ දුර්ගන්ධය ඇතිවීමට බලපාන හේතු?

  1. විවිධ ආහාර වර්ග :
    මෙහිදී සිදුවන්නේ විවිධ ආහාර කැබැලි දත් අතර රැඳී තිබී, ඒ මත බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වයක් ඇතිවීමයි. මීට අමතරව ළූණු හා සුදු ළූණු වැනි ආහාර වර්ග වල පවතින රසායනික ද්‍රව්‍ය යම් දුර්ගන්ධයක් ඇතිකරවනවා. ජිර්ණයෙන් පසු මෙම ද්‍රව්‍ය රුධිරයට එක්වී ප්‍රශ්වාස වාතය හරහා නැවත පිටවීම නිසා හුස්ම පිටකිරීමේදි මෙන්ම, මුඛය ඔස්සේද යම් දුර්ගන්ධයක් හට ගැනීමට පුළුවන්. එවැනි ආහාර භාවිතා කරන විට වැඩිපුර ජලය පානය කිරීමෙන් මෙම තත්වය අවම කරගන්න හැකියාව ලැබෙනවා.
  2. මුඛ සෞඛ්‍ය අහයපත් විම:
    මේ සඳහා ඉහත සඳහන් කල යහපත් සෞඛ්‍ය සඳහා වන පියවර අනුගමනය සිදුකල හැකියි.
  3. දුම්බීම හා බුලත් විට කෑම මුඛ දුර්ගන්ධය ඇතිවීමට මුලිකම හේතුවක්.
  4. Dentures / palettes අපිරිසිඳුව පැවතිම.
  5. මුඛ කුහරය තුල වියළි බවක් ඇතිවීම (dry mouth) ඇතිවීමේදී ඛේටය නිපදවිම අඩුවීම මීට හේතුවනවා.
  6. මුඛ කුහරය තුල ඇති යම් තුවාල තත්වයන් ආසාදනය විම.
  7. උගුර ආශ්‍රිත හෝ නාසය ආශ්‍රිතව සෙම පැසවීම නිසා ඇතිවන දුර්ගන්ධය.
  8. ඔබ භාවිතයට ගන්නා යම් ඖෂධ වර්ග රුධිරය සමඟ මිශ්‍රවී ප්‍රශ්වාස වාතය හරහා දුර්ගන්ධයක් ඇති කරමින් බාහිරයට එක්වීමද මීට හේතුවක් වන්නට පුළුවන්.
  9. රෝගී තත්වයන්
    • අක්මාව ආශ්‍රිත රෝග
    • පිළිකා තත්වයන්
    • නිතර ඔක්කාරයට එන ගැස්රයිටිස් ගතිය
    • ශ්වසන මාර්ග ආශ්‍රිත සෙම පැසවිම
    • දත් කුහර හා විදුරුමස් ආශ්‍රිත ආසාදන

සාමන්‍ය මුඛ දුර්ගන්ධය අවම කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග

1. හොඳ මුඛ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම (දත් මැදීම, floss භාවිතය, දිව පිරිසිදුව තබාගැනිම)
2. දුම්බිමෙන් හා බුලත්විට කෑමෙන් වැලකී සිටිම
3. Dentures / palettes පිරිසිදුව තබාගැනීම
4. දත් බුරුසු නිතර මාරු කිරිම ( මාස 2කට හෝ වරක්)
5. ජලය හොදින් පානය කිරීම (දිනකට ලීටර 2-3 )
6. මුඛ දුර්ගන්ධය ඇති කරවන ආහාර පාන භාවිතය අවම කිරීම
7. දන්ත වෛද්‍යවරයකු වෙත මාස 4-6 කට වතාවක් හෝ යොමුව පරික්ෂා කරගැනීම.

මෙවැනි යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීමෙන් දිගුකාලීනව දන්ත සෞඛ්‍ය රැකගැනීමටත්, එදිනෙදා ජීවිතයේ ඇතිවන අපහසුතා මඟහරවා ගැනීමටත් ඔබට හැකිවේවි.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments