ඔබටත් නිතර හිසරදය ඇතිවනවාද? (Headache)

‘හිසරදය’  අපට එදිනදා ජිවිතයේ අත්විදින්නට වෙන වේදනාවක්, මෙය ජීවිතයේ කුමන හෝ අවධියකදී, අප සෑම දෙනාම පාහේ මුහුණදුන් අත්දැකීමක් ලෙස හදුන්වන්න පුලුවන්. ඊට හේතුවන කරුණු මොනවාදැයි සලකා බැලුවහොත්, දිනපතා ජීවිතයේ වෙහෙසකාරී බවත් සමඟ ඇතිවන මානසික විඩාවේ සිට, ශරීරය පුරා විහිදුණු දරුණු රෝගාබාධ දක්වා වන, විශාල පරාසයක් තුල විහිදෙන බව පෙනෙනු ඇත. ඔබත් නිතර නිතර මෙම අමිහිරි අත්දැකිමට මුහුණ දෙන කෙනෙක් නම්, ඒ කුමන හේතුවක් නිසාද, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවිය යුත්තේ කෙසේද යන්න පිලිබඳව සරල අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය උපකාරීවනු ඇත.

types-headache

Tension Headache

tension හවසට වැඩ නිමවී ආවිට බොහෝ වෙහෙසි සිටින විට දරාගන්න අපහසු තරම් නොවුනත්, පටියක් ඔළුව වටා ගැට ගසා තද කරනවා වැනි වේදනාවක් දැනෙනවද?

හිසට යෙදෙන පීඩනය එකම විදිහට සැහෙන වෙලාවක් රදා පවතිනවාද?

වමනයට එම ඇතිවන්නේ නැහැ නේද?

ඔළුව වටේට පටියකින් තද කරනවා වගේද? විශේෂයෙන්ම නළලේ දෙපස. වෙහෙසකාරී දිනවල වඩාත් සුලභයි.

දිගු වෙලාවක් පවතින ඒකාකාරී වේදනාවක්ද?

හිසරදය දරා ගැනීමට අපහසු තරමට වන්නේ නෑ නේද?

බොහෝවිට ඔබට තිබෙන්නේ Tension Headache. බියවන්නට එපා මෙම හිසරදය බොහෝවිට වෙහෙසකාරී දිනවල ඔබට ඇතිවන පිඩනයට හිස ආශ්‍රිත මාංශපේශිවල තෙරපුමක් නිසා ඇතිවන ප්‍රතික්‍රියාවක්. ෆාමසියකින් ඔබ ගන්නා වේදනා නාශක වලින් සමනය කල හැකි වඩාත්ම සුලභ නමුත් බරපතල නොවන හිසරදයකි.


Cluster Headache

cluster

එක්වරම හටගන්නා ඔලුවේ කැක්කුම ඇස් වටේට වඩා ත්‍රිවුද?

දරා ගැනීමට පවා අපහසු වේදනාවක්ද?

මෙවැනි තත්වයන් වරින් වර චක්‍රීය වශයෙන් ඔබට ඇතිවන්නේද?

හිසරදයට අමතරව ඇස් රතුවීම, කදුළු ගැලීම, නහය බරවීම හෝ නාසයෙන් සොටු දියර ගැලීමක් සිදුවනවාද?

එක් තැනක හිද සිටීමට පවා නොහැකිවන තරම් ඔබව නොසන්සුන් කරවන්නේද?

බොහෝවිට ඔබට වැලදී තිබෙන්නේ Cluster Headache නම් තත්වයයි. මෙම හිසරදයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමි පාර්ශවයයි. මේ සදහා සෘජු හේතුවක් පැහැදිලිව දක්වන්නට බැහැ. නමුත් මෙය ජාන වලින් ව්‍යාප්ත වන බවට සොයාගෙන තිබෙනවා. නිට්ටාවට සුවකල නොහැකි වුවත් ඇතිවීමේ වාර ගණන හා වේදනාවේ ත්‍රිවතාවය ඖෂද මගින් අවම කල හැකි නිසා නොපමාව වෛද්‍යවරයෙක් වෙත යොමුවන්න.


Sinus Headache

sinus

හිසරදය ආරම්භ වන්නේ සේම ගතිය, නහය බර ගතියක් සමගින්ද?

හිසරදයක් එක්කම උණ ගන්නවාද?

ඇහි බැමිවලට ඉහලින් නළලත ප්‍රදේශයත් කම්මුල් ආශ්‍රිත ප්‍රදේශත් වේදනා ගෙනදෙනවාද?

බොහෝවිට ඔබට වැලදී තිබෙන්නේ Sinus Headache නම් තත්වයයි. මෙය ඇතිවන්නේ හිස් කබලේ වා කුහර තුල සෙම එකතුවී ආසාදනයට ලක්වීම නිසයි. බැක්ටීරියා නාශක ඖෂධ භාවිතය මගින් මෙම අසාදන මැඩපවත්වා ඔබට ඉක්මන් සහනයක් ලගාකර ගන්නට වෛද්‍යවරයකු වෙත යොමුවන්න. මෙම තත්වය නිතර නිතර ඇතිවන්නේනම් සුළු ශල්‍යකර්මයක් මගින් සහනයක් ලබාගැනීමට හැකි නිසා ඒ පිළිබදව ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා දැනගන්න.


Migraine Headache

migraine

හිසරදය හිසේ එක් පැත්තකට පමණක් සිමාවෙලාද?

පැය 4 – 72 අතර කාලයක් පවතිනවාද?

හිසරදය මධ්‍යස්ථ ප්‍රමාණයේ සිට උපරිම ත්‍රිවතාවයකින් වුවද ඇතිවන්නට පුළුවන් නිසා ඔබගේ දිනපතා ක්‍රියාකාරකම් වලටත් අවහිරයක් වනවාද?

ඔක්කාරය හෝ වමනය ඇතිවනවාද?

තද එළිය ශබ්දය දරාගන්නට නොහැකිවිමක් ඇතිවනවාද?

හිසරදය ඇතිවන්නට ප්‍රථම හෝ ඇතිවනවාත් සමගම ඇස් බොදවිමක් හෝ අත් හිරිවැටීමක් සිදුවනවාද?

මෙලෙස වරින් වර මෙම හිසරදය නිසා ඔබ පිඩාවට පත්ව සිටිනවාද?

බොහෝවිට ඔබට ඇතිවී තිබෙන්නේ Migraine Headache නොඑසේනම් ඉරුවාරුදාව නම් තත්වයයි. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් අතර මෙම තත්වය වඩා සුලභයි. මෙයට නිසි පරිදි හේතු දැක්වීමක් නොමැති වුවත් හිසෙහි රුධිර නාල වල ඇතිවන පීඩන තත්ව ඉහල යාමක් නිසා මෙය ඇතිවන බව සොයාගෙන තිබෙනවා. ඒ විතරක් නොවේ, රතු වයින්, රටකජු, චීස්, චොක්ලට් වගේ ආහාරපානද මෙම හිසරදය ඇතිකරවන්න හේතු සාධක විය හැක. නිට්ටාවට සුවකල නොහැකි වුනත් හිසරදය සදහා ඖෂධිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමත් හේතු සාධක වන ආහාර පාන වලින් මෑත්වි සිටිමෙනුත් ඔබට මෙයට සහනයක් ලබාගත හැකියි.

මිට අමතරව, ඔබ නිතර නිතර වේදනා නාශක පෙති භාවිතය සදහා යොමුවී සිටින්නෙක්නම්, එක්වරම වේදනා නාශක ලබාගැනීම නතර කල විටද හිසරදය ඇතිවීම සිදුවිය හැක. මෙය සිදුවන්නේ ඖෂධ සාන්ද්‍රණය හා ශරීරය මගින් ප්‍රතික්‍රියා ලෙස නිපදවන රසායනික ද්‍රව්‍ය අතර සමතුලික බව එක්වරම බිදවැටීම නිසයි.
උදේ අවදිවූ විගස ඇතිවන, දරාගැනීමට නොහැකි තරම් වන හිසරදයක් ඔබට තිබේනම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. මෙහි තවත් එක් ලක්ෂණයක් වන්නේ හිසරදයත් සමග ඇතිවන ඔක්කාර ගතිය හා වමනයයි. ඒවගේම වමනයත් සමග සමනය වන හිසරදයයි. මෙම කරුණු සියල්ල ඔබට ඇතිවන හිසරදය හා සැසදෙනවානම්, වහා වෛද්‍යවරයකු වෙත යොමුවිය යුත්තේ, මෙම ලක්ෂණ මොළය හා සම්බන්ධ, හිස්කබලට අභ්‍යන්තරයෙන් ඇතිවන, හිසතුල පීඩන වෙනසකට හේතුවන අහිතකර හා බරපතළ රෝගයක මුල් ලක්ෂණ වීමට ඉඩකඩ ඇති නිසයි.
ඔබගේ හිසරදයට යම් සහනයක් ලබාගැනීම සදහා මෙම ළිපිය මගින් ඔබ වෙත ඉදිරිපත් කල කරුණු වලින් හැකිවන්නට ඇතැයි සිතමු.

Author – Dr. H.Vithana (M.B.B.S)

Read More: ඩෙංගු (Dengue)

මෙම ලිපිය share කර දැනුම බෙදාහදා ගනිමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments