හර්නියාවක් යනු කුමක්ද?

හර්නියා යන වචනය නිතර අසන්නට ලැබෙන තත්වයක්. මේ සඳහා ශල්‍යකර්ම වලට ලක්වූ බොහෝදෙනෙක් ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඇති. නමුත් ඇත්තෙන්ම හර්නියාවක් ඇතිවීමේදී සිදුවන්නේ කුමක්ද, ඒ සඳහා හේතුවන්නේ කුමන කරුණුද, ප්‍රතිකාර ක්‍රම හා වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව වැඩි දෙනෙක්ට නිසි අවබෝධයක් නැහැ. මේ කරුණු පිළිබඳව අද අපි මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

හර්නියාවක් ලෙස හඳුන්වන්නේ ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවයක් හෝ ඉන් කොටසක් එය සැකසී ඇති බිත්තියේ ඇති දුර්වල ස්ථානයකින් පිටතට පැමිණීමයි.

මෙය උදරය ආශ්‍රිතව, යටි බඩ, නාභිය වටා, හා ඉකිළි ප්‍රදේශයට ඉහලින් වඩාත් සුලභව දක්නට ලැබෙනවා.මීට අමතරව පපු කුහරය, හා මොලය ආශ්‍රිතව ද දුර්ලභ ගනයේ හර්නියා ඇතිවීම් දක්නට පුළුවන්.

හර්නියා ඇතිවීමට හේතුන් මොනවාද?

මුලිකවම කරුණු දෙකක් ලෙස මෙම හේතුකාරක ගෙන හැර දැක්විය හැකියි.එනම්,

  1. බාහිර බිත්තියේ දුර්වල බව
  2. අවයව මඟින් අවට බිත්ති මත අධිකව යෙදෙන පීඩනය

මෙහිදී බාහිර බිත්තියේ දුර්වල බවට බොහෝවිට හේතුවන්නේ

  • වයස්ගතවීම,
  • දිගුකාලීන රෝගීබව,
  • උපතේ සිටම පවතින දුර්වලවීම්
  • ශල්‍යකර්ම හෝ අනතුරු නිසා සිදුවන තුවාලවීම් වැනි නොවැලැක්විය හැකි හේතුන්ය.
  • නමුත්, අවයව මඟින් බාහිර බිත්ති මත ඇතිවන පීඩනයට බොහෝවිට හේතුවන්නේ නිසි අවදානය යොමුකලහොත්, වළක්වාගත හැකි කරුණු කාරණායි.

  • දිගුකාලීනව පවතින කැස්ස
  • මලබද්ධය
  • අධික තරබාරු බව
  • ගර්භණී බාවයන් 4-5 වඩා වැඩිවීම
  • අවධානම් අධික හා අපහසු තත්වයේ දරු උපත්
  • අධික බර ඉසිලීම

    ආදියයි.

hernia-artවඩාත් සුලභ හර්නියා වර්ග මොනවාද?

  1. 70% පමණ හර්නියා වර්ග ඇතිවන්නේ යටිබඩ ආශ්‍රිත, ඉකිළි වලට ඉහල ප්‍රදේශය තුළයි. ඉන්ගුයිනල් ( inguinal canal ) ලෙස හඳුන්වන මෙම ප්‍රදේශය තුල අභ්‍යන්තරය නාලාකාර ස්වභාවයක් ගනු ලබනවා. පිරිමි පුද්ගලයන්ගේ spermatic cord හෙවත් ශුක්‍රණු ගෙනයන නාලය, ඉහල සිට වෘෂණ කෝශ දක්වා ගමන් කරන්නෙ මෙම මාර්ගය හරහායි. පිරිමි දරුවකුගේ උපත් අවස්තාව වනවිටත් වෘෂණ කෝශ පිහිටා තිබෙන්නෙ ශරීර අභ්‍යන්තරයේ බව ඔබ නොදන්නවා විය හැකියි. උපතින් පසු මේවා ඉහත සඳහන් කල නාලාකාර මාර්ගය ඔස්සේ පහතට පැමිණෙනු ලබනවා. ඉන්පසු එම ගමන් මාර්ගය ක්‍රමක්‍රමයෙන් වැසීයාම සාමන්‍යයෙන් සිදුවනවා. එලෙස සිදුනොවුනහොත් ඒ ඔස්සේ උදරයේ ඇති බඩවැල් හා මේද පටක මේ තුලින් පිටතට පැමිණීම inguinal hernia/ ඉන්ගුයිනල් හර්නියා ඇතිවීම ලෙස හඳුන්වනවා.

    මෙහිදී, ඉකිලිවලට ඉහලින් යටිබඩ ප්‍රදේශයෙන් පිටත පැමිණෙන කුඩා ගැටිත්තක් පලමු ලක්ෂණය ලෙස හඳුනාගන්නට පුලුවන්. ක්‍රමයෙන් මෙය තරමක් විශාල ගෙඩියක් බවට වර්ධනය වනවා. එහි පිහිටීම අනුව මෙය යටිබඩ ප්‍රදේශයෙන් පිටතට නෙරීමට හෝ කෝෂ දක්වා වර්ධනය වීමට අවස්ථාව තිබෙනවා.

    යම් විටෙක මෙය දර්ශනය වන්නේ සිටගැනීමේදී හෝ කැස්සක් ඇතිවීමේදී පමණක් විය හැකියි.මෙහිදී ඇතිවිය හැකි සංකූලතා සරල තත්වයේ සිට ඉතා තීව්‍ර තත්වය දක්වා විහිදීමට අවස්ථාව තිබෙනවා. සරලම ස්වරූපය ලෙස යටි බඩ ප්‍රදේශයෙන් ඉස්මතු වන ගැටිත්ත හෝ ගෙඩිය නිසා ඇතිවන අපහසුතාවය දක්වන්න පුලුවන්. විශේෂයෙන් බර ඉසිලීමේදී හා එදිනෙදා කටයුතු වලදී අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවනු ඇත. මීට අමතරව, මෙම හර්නියාව තුලින් ගමන් කරන අවයව (බොහෝවිට බඩවැල් හා ඒ ආශ්‍රිත මේද පටක), එහි කුඩා විවරයකින් පිටතට ඒමට තැත් කිරීමේදී සිරවීමකට ලක්වීම සිදුවිය හැකියි. මෙය ඉතාමත් වේදනාකරී තත්වයක් වන අතර, මෙහිදී එම කොටස්වලට රුධිර ගමනාගමනය ද අඩපණ වන අතර එම පටක මියයාමේ අවධානමටද ලක්වනු ඇත. මෙම සංකූලතාවන් ඕනෑම හර්නියා වර්ගයකදී ඇතිවිය හැකි නමුත් උදරාශ්‍රිත තත්වයන්ගේදී වඩාත් සුලභව දැකිය හැකිවනවා.
  2. නාභිය වටා ඇතිවන හර්නියා වර්ග / peri umbilical hernia
    එම ප්‍රදේශය ආශ්‍රිත මාංශ පේශි හා අනෙකුත් පටක වල දුර්වලතාවක් හේතුවෙන් මෙම හර්නියා වර්ගය හටගන්නවා.
    යම්විටක කුඩා දරුවන්ද ඇඬීමේදී මෙය දක්නට ලැබීමට හැකිවනවා, එය උපතින්ම ඇතිවන ත්ත්වයක් වන අතර වසර දෙකක් සම්පූර්ණ වන තෙක් පමණ මෙය ඉබේ නැතිවීයන තෙක් නිරීක්ෂණය සිදුකලහැක. එසේ සිදු නොවුනහොත් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවීම සිදු කල යුතුවනව.
  3. diaphragm/ ප්‍රාචීරය ආශ්‍රිතව ඇතිවන හර්නියා වර්ග / hiatal hernia
    මේවා බොහෝවිට උපතින් ඇතිවන තත්වයන් වනවා. මෙහිදී උදරයේ කොටසක් උදර කුහරය හා පපුකුහරය වෙන්කෙරෙන ප්‍රාචීරය හෙවත් diaphragm එක තුලින් පපු කුහරය තුලට නෙරා ඒමක් සිදුවනවා. ගැස්ට්‍රයිටිස් ඇතිවීමට මෙය සුලභව බලපානවා. මෙම නිසා අනෙකුත් සංකූලතාවයන්ට අමතරව පපුව තදවීම, උදරය තුල ඇති අම්ල ඉහලට ගමන් කිරීම නිසා බඩ දැවිල්ල, ඔක්කාර ස්වභාවය ඇතිවීම ආදිය සිදුවනවා. ඖෂධ මගින් මෙම තත්වය පාලන කරගත නොහැකි වූවිටත්,තීව්‍රතාවයෙන් වැඩි උදර කොටස් වලට අමතරව වෙනත් අවයවද හ්‍රිනියාවතුලින් පිටත්ට නෙරීමට උත්සාහ කිරීමේදී ප්‍රතිකාර සඳහා ශල්‍යකර්ම වලට යොමුවීමට සිදුවනවා.
  4. ශල්‍යකර්ම තුවාල ආශ්‍රිතව ඇතිවන හර්නියා /incisional hernia
    මෙහිදී සිදුවන්නේ තුවාලය ආශ්‍රිත පටක කැපුම් හේතුවෙන් දුර්වල තත්වයක් පැවතීම නිසා, අභ්‍යන්තර අවයව එම කැපුම් තුවාලය ඔස්සේ පිටතට නෙරා ඒමට උත්සාහ කිරීමයි. මෙය බොහෝ විට නැවත ශල්‍යකර්මයක් මඟින්ම සකස් කල යුතු තත්වයේ වනවා.

 

හර්නියා සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවද?

මූලික වශයෙන් සිදුකරන ප්‍ර්තිකාරක ක්‍රමය වන්නේ ශල්‍යකර්ම මගින් එම ප්‍රදේශය ආශ්‍රිත පටක නැවත යථා තත්වයට පත් කිරීමයි. මෙය එක් එක් අවස්තාවේ තීව්‍රතාවය අනුව එකිනෙක්ට මඳක් වෙනස්වූ ස්වරූප ගනු ඇත.

  • මුල් අවදියේ හර්නියා වකදී, පිටතට පැමිණ ඇති පටක නැවත අභ්‍යන්තරයට ඇතුල් කර බාහිර බිත්තියේ දුර්වලතාව සකස්කිරීම පමණක් සිදු කෙරෙනවා.
  • තත්වය වඩා තීව්‍ර වූවිට, හෝ අවයව සිරවීමකට ලක්වී රුධිර ගමනාගමනය අඩපණවී සෛල මියයාමක් සිදුව ඇතිවිට එම කොටස් කපා ඉවත්කොට බාහිර බිත්තිය සකස්කිරීම සිදුකෙරෙනවා.
  • බාහිර බිත්තිය ඉතාමත් දුර්වලවිටදී එය සකස්කිරීම පමණක් නොසෑහෙනම්, එය වඩාත් ශක්තිමත් කිරීම සඳහා පිටතින් කුඩා දැලක් වැනි උපකරණයක් ඇතුල් කර බිත්ති සකස් කිරීම සිදුකරනවා. එවිට බාහිර බිත්තියේ පටක මේවටා වර්ධනයවීම නිසා බිත්තියේ ශක්තිමත් බව වැඩිවනවා. Mesh Repair ලෙස හඳුන්වන මෙම ක්‍රමය වඩාත් ප්‍රතිඵලදායී ලෙස සැලකෙනවා.එමෙන්ම, යම් අවස්ථාවලදී ශල්‍යකර්මයකින් පසුවවූවත් නැවත හර්නියා මතුවීම දක්නට පුලුවන්.. එම සංකූලතාවයද මෙම Mesh Repair ක්‍රමය මඟින් අවම කරගැනීමට හැකිවී තිබෙනවා. අනෙක් සෑම රෝගීතත්වයක් මෙන්ම නොවැලැක්විය හේතුවක් නොවේනම්, හර්නියා ඇතිවීමේ අවධානම අවම කිරීම, එය ඇතිවීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමට වඩා පහසුවනු ඇත.
  • බර ඉසිලීමේදී නිවැරැදි තාක්ෂණය භාවිතා කිරීම
  • දිගුකාලීන කැස්සට හේතුවන සිගරට් භාවිතය සිදු නොකරසිටීම
  • මලබද්ධය ඇති නොවීමට නිසි ආහාරපුරුදු ඇතිකරගැනීම හා පානීය ජලය ලබාගැනීම
  • දරු උපත් වලින් පසුව උදරාශ්‍රිත මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම වල නිරතවීම
  • අධික තරබාරුව මැඩපවත්වා ගැනීම වැනි සරල ක්‍රියාමාර්ග භාවිතා කල හැකිවනවා.

නිතර ඇසින්නට ලැබෙන මෙවැනි රෝගීතත්ව පිලිබඳව වැඩිවිසර දැනගැනීමටත්, එවැනි තත්ව වලක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් askmydoctor.lk වෙත යොමුවන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments