High heels පාවහන් පැළදීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු

High-heels-01

අඩි උස පාවහන් අද සමජයේ කාන්තාවන්ගේ ජනප්‍රියම විලාසිතාවක්. පැය කිහිපයක් එකදිගටම එවැන්නක් පැළද සිටීමෙන් ඇතිවන දෙපා වේදනාව අසුනක බරවී සුවකරගන්නට බොහෝදෙනා පුරුදුවී සිටිනවා. නමුත් මෙම සුළු වේදනාවන් හා අපහසුතාවයන්ගෙන් එහාට ගිය හානිකර තත්වයන් මෙමගින් ඔබගේ ශරීර සෞඛ්‍යට ඇතිවන බව හුගක් දෙනෙකුට වැටහෙන විට ඔවුන් ප්‍රමාද වී හමාරයි.

ඔබගේ ශරීරයේ බර දරා සිටින්නේ අස්ථි පද්ධතියේ ඇති සමබරතාවය හා සමතුලිතභාවය මගිනි. දෙපාවල අස්ථිවල වල සිට ඉහළට ශරීර බර මගින් ඇතිවන පීඩනයට ප්‍රතිවිරුද්ධ පීඩනයක් ඇතිකෙරෙනවා.අඩි උස පාවහන් පැළදීම නිසා මෙම අස්ථි මගින් සන්ධි හරහා පීඩන සම්ප්‍රේෂණයේ වෙනස්වීමක් ඇතිකරවනවා. විශේෂයෙන්ම විලුඹේ සිට දෙපයේ ඇගිලි අතර පීඩන සම්ප්‍රේෂණය නිවැරදිව සිදුවීම ඇනහිටිනවා. මේ නිසා ඇතිවන අපහසුතාවය මගහැරවා ගැනීමට නොදැනුවත්වම ඔබ සිදුකරන ප්‍රතික්‍රියාව වන්නේ සාමන්‍ය ගමන් විලාසයට වඩා වෙනස්, එනම්, නුහුරු අස්වාභාවික ඇවිදීමේ විලාශයකට නිරායාසයෙන් යොමුවීමයි. මේ ආකාරයට නිතරම ඇතිවන අසාමාන්‍ය චලන ස්භාවයන් නිසා අස්ථි ආශ්‍රිත ස්නායු තැලීම්වලට ලක්වෙනවා මෙන්ම, සාමාන්‍යයෙන් අස්ථිවල ගෙවියාමට නැඹුරු නොවන ස්ථානද වඩා වේගයෙන් ගෙවීයනවා. එමෙන්ම එම අස්ථි හා සන්ධි ආශ්‍රිත මාංශපේශි හා තන්තුවල ස්වභාවික පිහිටීම හා සංයුතියේ වෙනස්වීම් ඇතිවෙනවා.

එම සන්ධි ආශ්‍රිත වෙනස්වීම් නිසා ඇතිවන නොයෙකුත් අහිතකර බලපෑම් ගැන අපි වෙන් වෙන්ව සාකච්ඡා කරමු.

දෙපය ආශ්‍රිත

සාමාන්‍යයෙන් දෙපා ක්‍රියාත්මක වන්නේ කම්පණ අවශෝෂකයක් විදිහටයි. මෙමගින් ශරීර බර, දෙපාවල අස්ථි මගින් සමබර ලෙස බෙදාහැරීමක් සිදුකරනවා. නමුත් අඩි උස පාවහන් පැළදීම නිසා මෙම සමබර බව බිදවැටීමට ලක්වන අතර වැඩි පීඩනයක් යොමු වන්නේ දෙපයේ ඇගිළි හා ඉදිරිපස කොටස වෙතයි. මේ නිසා එම ප්‍රදේශයේ අස්ථි ගෙවීම වේගවත් වන අතර, ඒ ආශ්‍රිත ස්නායු තෙරපීමට ලක්වීම නිසා වේදනාකරිබවක් හා ඇගිලි හිරිවැටීම, අසාමාන්‍ය ඇවිදීමේ රටාවන් ඇතිවීම ආදියට ඔබට මුහුණ දීමට සිදුවේවි.

විලුඹ හා කෙන්ඩ ආශ්‍රිත

සිටගෙන සිටීමේදී පාවහන් වල උස් ස්භාවය නිසා විලුඹ ඉදිරියට නැමීමක් සිදුවෙනවා ඔබට අනිවාර්යෙන්ම දැනිලා ඇති. මේ නිසා සිරුරේ පහළ කොටසේ ලේ ගමනාගමනය කරන නාල තෙරපුමට ලක්වී, රුධිර සැපයුම බිදවැටෙනවා. මෙම තත්වය දිගුකාලීනව ඇතිවීමෙන් අධිපීඩනයක් යටතේ රුධිර සම්ප්‍රේෂණයට දරන වෑයම නිසා රුධිර නාල ඉලිප්පී මකුළු දැලක ස්භාවයෙන් (web appearance ) සම මතුපිටෙන් පෙනෙන්නට පටන් ගන්නවා.

ඒවගේම විලුඹේ පිටුපස ඇති තන්තු ඝනවිමක් ඇතිවීම නිසා, කෙණ්ඩයේ මාංශ පේශි හිරවීමකට ලක්වෙනවා. මෙසේ සිදුවන්නේ එම මාංශ පේශි එම තන්තු හරහා විලුඹට සෘජුවම සම්බන්ධ වී ඇති නිසයි.

දිගුකාලීනව උස් අඩි සහිත සපත්තු භාවිතා කරන්නන් මේ හේතුව නිසා, සාමාන්‍ය ව්‍යහාරයේ යෙදෙන බකල් ඇතිවීම නම් අසාමාන්‍ය ඇවිදීම් රටාවලට පුරුදුවනවා.

දණහිස, උකුල හා කොන්ද ආශ්‍රිතව

දෙපාවල සන්ධිවලට අමතරව ශරීරය මගින් යෙදෙන පීඩනය අවශෝෂණය කරන තවත් සන්ධියක් තමා දණහිස්. ශරීරයේ විශාලතම සන්ධිය ලෙස ගැනෙන්නේද දණහිසයි. උස් අඩි පාවහන් නිසා ඇතිවන පීඩන අසමතුලිතතාවය වැඩිවශයෙන් බලපානුයේ දණහිස් සන්ධියේ ඇතුල් පිටටයි. මේ නිසා අස්ථි වල ඇතුල් පිට ඉරිතැලීමට ලක්වීමද වඩා සුලභයි. තවද ඉරිතැලීමට ලක්වීම නිසා වයස්ගත වන විට කාන්තාවන් අතර දක්නට ලැබෙන ඔස්ටියෝආතරයිටිස් (Osteoarthritis) නම් සන්ධි රෝගය අඩු වයසින් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙනවා.

අඩි උස් පාවහන් නිසා සිරුරේ ඇතිවන අසමතුලිත බව මගහරවා ගැනීම සදහා ඉණ ආශ්‍රිත ශරීර කොටස මදක් ඉදිරියට බරවීම නිරායාසයෙන් ඇතිවන සරල ප්‍රතික්‍රියාවක්. මේ සමග කොදුඇටපෙළ කවාකාර නැමීමකට යොමුකර පපුව ප්‍රදේශය ඉදරියට යොමුකරවනවා. මෙම අසාමාන්‍ය ඉරියව්ව බාහිරින් සිත් ඇදගන්නා සුළු වුවද උකුල ආශ්‍රිත අස්ථි, මාංශ පේශි හා තන්තු වලට ඇතිකරන්නේ හිතකර ප්‍රතිපලයන් නොවේ.

අඩි උස් පාවහන් පලදින්නන්ගේ මුලිකම ප්‍රශ්ණය වී තිබෙන්නේ කොන්දේ යට ප්‍රදේශය ආශ්‍රිත කැක්කුමයි, දවසින් වැඩි කාලයක් සිරුරට අපහසුවක් දනවන ඉරියවු හා චලන පවත්වා ගැනීමේදී කොදුඇට පෙළද ඊට සරිලන ලෙස නැවීම් හැරවිම්වලට ලක්වෙනවා. Erector Spinae නම් වන කොදුඇටපෙළෙහි චලනයන් පවත්වාගෙන යන මාංශ පේශි, අනවශ්‍ය ඇදීමට හා තෙරපුමට ලක්වීමෙන් තමයි මෙම අධික කොන්දේ වේදනාව ඔබට ඇතිවන්නේ.

ඉතින් ඔබ අඩි උස පාවහන් පැළදීම නවතා දැමිය යුතුයැයි ඔබට සිතුනා ද?

කාන්තාවන් බොහෝ ප්‍රිය කරන විලාසිතාවක් බැවින්, එය ඔබට තරමක් අපහසු කාර්යයක් වේවි. එම නිසා අවම වශයෙන්, හානිකාරක තත්ව අවම කරගන්නට, එනම් අඩි උස පාවහන් පැළදීමේදී පිළිපැදිය හැකි ආරක්ෂාකාරී පිළිවෙත් මොනවාදැයි දැන්සිටීම ඔබට වාසියක් වේවි.

  • උස් අඩි පාවහන් තෝරාගැනීමේදී 3-4cm වලට වඩා උස් වූ පාවහන් සදහා යොමු නොවීම.
  • එක් දිනකදී උස් අඩි පාවහන් පැළදිය හොත් ඊලග දිනයේදී පැතලි පාවහන් සදහා යොමුවීම.
  • එමෙන්ම දිනක විශේෂ අවස්ථාවක් සදහා අත්අවශ්‍යයි සිතෙන විට ඒ සදහා අඩි උස් පාවහන් පැළද අමතර පාවහන් යුගලක් ඉන්පසු භාවිතය සදහා රැගෙන යාම සිදුකල හැක.
  • පාවහන් තෝරාගැනීමේදී හැකිතාක් සිහින් අඩි හෝ උල් හැඩ ගන්නා පාවහන් සදහා යොමුවීම අවම කල යුතුයි. උස් අඩියකින් යුක්ත වුවත් එය පුළුල් අඩියක් නම් ඔබට ඇතිවන අපහසුතාවය අඩුවේවි. එලෙසම මේ දිනවල වඩා ප්‍රචලිත wedge shaped shoes හොද ආදේශකයක්. මෙමගින් දෙපයේ ඉදිරිපසට ඇතිවන පීඩනය අවම කරනමින් දෙපයට සුවපහසුවක් ගෙනෙනවා.
  • කිසිවිටකත් අඩි උස පාවහන් පැළද වේගයෙන් ඇවිදීම හෝ දිවීම නොකළ යුතුයි.
  • හැකි සැමවිටම මදක් හිදගැනීම, පාවහන් ගැලවිය හැකිනම් මදකට ගලවාදමා, විලුඹ හා දෙපාවල කුඩා මාංශ පේශි වලට මෙන්ම කේණ්ඩයේ මාංශ පේශි සදහාද සියුම් ඉහිල් කිරීමේ ව්‍යායාම සිදුකිරීම සුදුසුයි.

මේ සෑම දෙයකම මුලික අදහස වන්නේ හැකිතරම් අඩි උස් පාවහන් පැළද සිටින කාලය අවම කල යුතු බවත්, හැකි සැම අවස්ථාවකදීම මාංශ පේශි හා අස්ථි සදහා ලිහිල් වීමට අවස්ථාව ලබාදීමත් කල යුතු බවයි.

අඩි උස පාවහන් හා එනිසා ඇතිවන සෞඛ්‍යමය ගැටලු මෙන්ම, ඒවා අවම කරගැනීම පිළිබඳනීර්ව ඔබට යම් දැනුමක් මෙම සටහනින් ලැබෙන්නට ඇතැයි අප සිතමු.

Read More: කොණ්ඩය straightening කිරීම ඔබට අහිතකරද?

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments