Obsessive-Compulsive Disorder හෙවත් OCD

නිතර නිතර එකම පුරුද්දක අනවශ්‍ය ලෙස යෙදී සිටීම ඔබටත් අසහනකාරී වී ඇත්ද?

OCD හෙවත් Obcessive compulsive disorder පිළිබඳව ඔබ අසා ඇති. මෙහිදී අනවශ්‍ය ලෙස එකම කාර්යයක නිතර නිතර නිරතවීමට හිත යොමුවීම එදිනෙදා ජිවිතයට අසහනකාරී බවක් ගෙනදෙන තරම් දරුණු විය හැකියි. මෙම තත්වයට මුහුණදීමට ඔබට හෝ ඔබගේ සමීපතම කෙනෙකුට සිදුව තිබෙන්නට පුළුවන්. නමුත්, මෙය රෝගී තත්වයක් ලෙස හඳුනාගෙන නොතිබීමේ අවස්ථාව ඉහළයි.

අපි මෙවන් ලක්ෂණ සහිත පුද්ගලයෙක් මුහුණ දෙන විවිධ අසහනකාරී තත්වයන් උදාහරණ සහිතව විමසා බලමු. එවිට මෙය කුමන ආකාරයක රෝගී තත්වයක්දැයි ඔබට පැහැදිලි වනු ඇත.

1. තම දෑත් දෙපා නිතර නිතර සේදීමට සිතීම

අපිරිසිඳු වූ විට තම දෑත් දෙපා සේදීම අප කවුරුත් සිදු කරන සාමන්‍ය කටයුත්තක් එය “සිදුකල යුතු” හොඳ සෞඛ්‍ය පුරුද්දක් බව ඔබ කවුරුත් දන්නවා, නමුත් මෙය රෝගී තත්වයක් බවට පත්වන්නේ දිනකට විසි තිස් වාර ගණන ඉක්මවා අත පය සේදීමට තරම් ඒවා අපිරිසිඳු වී ඇතැයි හැඟීම, සහ පොදු ස්ථානයක ගැවසුණු පමණින් තමන් විෂබිජ වලින් වැසී ඇති බවක් වැනි සාමන්‍ය නොවන මානසික තත්වයන් ඇතිකරගැනීම වැනි තත්වයක් සමඟයි. කුණු විෂබීජ බිඳක් හෝ නොමැති පරිසරයක් තමා අවට පවත්වාගෙන යාමට තැත් කිරීම මෙහි මූලික ලක්ෂණයයි.

2. වසා ඇති දොරවල්, සත්‍ය ලෙසම වසා ඇති බව නැවත නැවත දැක ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට සිත්වීම.

පිටත්ව යාමට එළියට බට පසු තමා විසින්ම විනාඩි කිහිපයකට පෙර වසා දැමු දොරක් සත්‍ය ලෙසම වැසුවේද යන්න නැවත දැක බලා ප්‍රත්‍යක්‍ෂ කරගැනිමට අප සැමට සිත් දෙනවා විය හැකියි. අතපසු වීමක් වළක්වාගැනීමට මිනිස් මනසින් දක්වන සාමන්‍ය ක්‍රියාවලියක් ලෙස මෙය සලකන්න පුළුවන්. නමුත් OCD තත්වයකදී.

එකම දොර, තුන් හතර වතාවකට වඩා පරීක්ෂා කර බැලීමට ඔබට සිත් දේ නම්, එය සාමාන්‍ය තත්වයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. නිවා දැමු විදුලි බුබුළු, නිවා දැමු ගැස් ලිප් නැවත නැවත පරික්ෂා කර බැලිමට සිත් දීමත් තවත් මෙවැනිම රෝගී ලක්ෂණයක් .

3. සාමාන්‍ය ජීවිතයේදී වටපිටාවේ පිරිසිඳු බව වගේම පිළිවෙළ පවත්වාගෙන යාමට සිත්වීමත් සාමාන්‍ය කරුණක්. නමුත්, හැඩතල, වර්ණ අනවශ්‍ය ලෙස ගැලපීමේ තදබල අවශ්‍යතාව ඇතිවීම, පිළිවෙළහි යම් වෙනස්කමක් ඇති වුවහොත්, ඒ පිළිබඳව නොරිස්සුම් සිතක් ඇතිවීම OCD ලක්ෂණයක්.

ඉහත කරුණු රෝගීබවේ මූල් අවධි ලක්ෂණ ලෙස සලකන්නට පුළුවන්. නමුත් මෙම තත්වය උග්‍ර දෙසට නැඹුරු වීමත් සමඟම පෙන්නුම් කරන ලක්ෂණත් අපි සළකා බලමු.

4. තමා ඉතා ආදරය කරන, දෙයකට හෝ පුද්ගලයෙකුට හානියක් වේ යැයි සිතින් මවාගත් චිත්‍රයකට අනුව එම පුද්ගලයා පිළිබඳව හෝ නිතර නිතර සොයාබැලිම.

උදාහරණ : දුර සිටින නෑදෑ පුද්ගලයකු රිය අනතුරකට ගොදුරු වී ඇතැයි සිතා, නිතර දුරකතනයෙන් විමසා බැලිම.

එකතුකරගත් මුදල්, සොරකම් කර ඇතැයි සිතා නිතර ගණන් කර බැලිමට සිතනිතර්විම.

5 .කෘමි සතුන්ට ඇතිවන අනවශ්‍ය බිය නිසා (උදා: කැරපොත්තන්, හූනන් හැකරැල්ලන් ආදී) තමන්ට හිංසාවක් ඇතිවූවත් නැතත්, දකින දකින එම සත්ව විශේෂය තම පරිසරයෙන් ඉවත් කිරීමේ හෝ මරා දැමීමේ තදබල අවශ්‍යතාවයක් ඇතිවීම වැනි ලක්ෂණ පෙන්නුම් කිරීම.

 

OCD ඇතිවීමට හේතුව?

මේ සඳහා දැනට සොයාගත් නිශ්චිත හේතුවක් නැතත් ජානමය අයුරකින් හෝ පාරිසරික හේතුමත හෝ මෙම තත්වයට පුද්ගලයන් මනසින් මෙහෙයවීම සිදුවන බවට දැනට නිගමනය කර ඇත.

මෙම රෝගී තත්වය සඳහා වන ප්‍රතිකාර ක්‍රම

ocd2මෙම තත්වය බොහෝවිට ඖෂධීය ප්‍රතිකාර වලින් තොරවම පහසුවෙන් සුවකරගත හැකි මානසික රෝගී විශේෂයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙහිදි වඩාත් ප්‍රතිඵලදායි ප්‍රතිකාර ක්‍රමය ලෙස “exposure & reassurance” වන ප්‍රයෝගික ක්‍රියාදාමය හඳුනාගෙන තිබෙනවා.

මෙහිදි සිදුකරන්නේ සැකය, භීතිය, හා නොරිස්සුම්බව ගෙනදෙන කරුණට එම පුද්ගලයා නිරාවරණය වීමට ඉඩ හැර, එහි බියවීමට හේතුවක් නොමැති බව හඳුනාගැනීම. අත්වල සේදීමට තරම් විෂබීජ නොමැති බවත් අතපය පරික්ෂා කර තමන්ටම තීරණය කරගන්නට අවස්ථාවක් ලබාදීම, හා විසබීජ සහිත පරිසරයක් නිර්මාණය කර අත් සේදීමට දැනෙන තදබල අවශ්‍යතාව කිසියම් හෝ අයුරකින් මැඩපවත්වාගැනිම.

  • හකරැල්ලන් කැරපොත්තන් වැනි සතුන් තම වට පිටාවේ සිටි පමණින් ඔවුන්ගෙන් හානියක් නොවන බව වටහාදීමට, වටපිටවේ එම සතුන් සහිත පරිසරයක හිඳින්නට සැලැස්වීම.
  • වසා ඇති දොරක් නැවත පරික්ෂා කිරිමකින් තොරව තමන්ගේ කාර්ය සඳහා පිටත්ව ගොස් නැවත පැමිණි පසු දොර වසා ඇති බවත්, එය නැවත වරක් පරික්ෂා නොකිරීමෙන් ගැටළුවක් ඇති නොවනු බවත් වටහාගැනීමට සැලැස්වීම.
  • තමන් ආදරය කරන දෙයකට හෝ පුද්ගලයකුට යම් හානියක් පැමිණි ඇතැයි පරික්ෂා කර තහවුරු කරගැනීමට සිතුන විට එම අවශ්‍යතාවය කෙසේ හෝ මඟහැර, පසුව එම පුද්ගලයාට කිසිඳු හානියක් ඇති නොවූ බව හඳුනාගැනීම මගින් තමන්ගේ බිය අනියස බව තේරුම් ගැනීම.

ඉතා සරළ ප්‍රතිකාර ක්‍රමයක් සහිත මෙම රෝගී බව රෝගීන්ට හානියක් විය හැකිද?

  • ඵලදායි හා යහපත් ජීවන රටාවක් පවත්වගැනීමේදී, එයට මෙම තත්වය බාධාවක් හා අසහනකාරී බවක් ගෙන දෙනු ඇත.
  • රෝගියාට මෙන්ම, ඔහු හෝ ඇය වටා සිටින පුද්ගලයන්ටද, මෙම තත්වය අසහනකාරී බවත් ගෙන දෙන අවස්ථා දක්වා වර්ධනය විය හැකියි.

ජීවන රටාවේ අස්ථාවර බව ඇතිවීම වගේම ජීවිතය නැති කර ගැනීමට සිත් දීම (suicidal tendency) වැනි බරපතල තත්වයන්ද ඇති විය හැකියි. එවැනි උග්‍ර අවස්ථාවලට පත්විමට ප්‍රථම අධික කාන්සිය ඇතිකරවන රෝග (anxiety disorders) සඳහා වන ඖෂධීය ප්‍රතිකාර ලබාදීම සිදුකෙරෙනවා. නමුත් මෙම රෝග තත්වය ඉතා උග්‍ර තත්වයට පත්වූ අවස්ථා දුලභයි.

නමුත් මෙවැනි රෝග පිළිබඳ සමාජ අවධානය අවම නිසා, මෙම තත්වයන් මුලික අවධි වලදි හඳුනාගැනිමට ඉඩ ඇහිරි යනවා. එවැනි රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ හිතවතෙකු හට තිබේනම්, එය එදිනදා කටයුතුවලට අවහිර හා හිංසාකාරී බවක් ඇතිකරයි නම්, එම තත්වය හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් ඔබගේ සෞඛ්‍ය මට්ටම සුවදායිව පවත්වා ගැනිමට අවස්ථාව ඔබට උදාවනු ඇත.

සෞඛ්‍යමය වශයෙන් වැදගත් වන මෙවැනි තොරතුරු පිලිබඳව වැඩිදුර කියවීමට එකතුවන්න අපේ askmydoctor.lk facebook පිටුව වෙත.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments