Whey Protein භාවිතයේදී ඔබ දැනගත යුතු කරුණු

263371-whey-protein

ප්‍රෝටීන් ශේක් (Whey Protein) හා ප්‍රෝටීන් කුඩු වර්ග (protein powder) පානය කිරීම අද gym යන තරුණ තරුණියන් අතර ජනප්‍රිය වෙමින් පවතිනවා, නමුත් මෙමගින් අපගේ ශරීරයට අහිතකර බලපෑමක් සිදුවනවාද නැද්ද? මෙහි අතුරු ප්‍රතිඵල තිබේද? තවද මෙය නිසි ආකාරයෙන් භාවිතා කරන්නේ කෙසේද යන්න දැනසිටීම වැදගත්.

ප්‍රෝටීන් සංඝටකයෙන් සපිරුණු දියරමය පානයක් ලෙසත් කුඩු වර්ග ලෙසත් අද වෙළෙඳපොලෙහි මෙය මිලදී ගන්නට පුළුවන්. නමුත් 100% ප්‍රෝටීන් පමණක් අඩංගු ශේක් වර්ග සොයාගැනීම පහසු නැහැ. බොහෝවිට කාබෝහයිඩ්‍රේට් හා මේද වර්ගයන්ද මෙහි අඩංගු වනවා. යම් විටක රසකාරක හා සීනි වර්ගද මෙයට එකතු කරනු ලබන්නේ එහි ගුණාත්මක බව ඉහළ නැංවීමටයි. සාමාන්‍යයෙන් ඉහළ ප්‍රෝටීන් සංඝටක අඩංගු ශේක් වර්ග සුදුසු වන්නේ නිතර ව්‍යායාම වල යෙදෙන්නන්ට බව පෝෂණවේදීන්ගේ අදහසයි.

ප්‍රෝටීන් ශේක් භාවිතයට ගත යුතු ප්‍රමාණයක් තිබේද?

ප්‍රෝටීන් ශේක් මිශ්‍රණයක එක හැන්දකින් (scoop) ප්‍රෝටීන් 24-28 ග්‍රෑම්(gm) පමණ ප්‍රමාණයක් අඩංගු වනවා. සාමන්‍ය වැඩුණු මිනිසෙකුගේ දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය 44-55 ග්‍රෑම්(gm) පමණ වනවා. මේ අනුව ඔබට දිනකට අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීමට හැකියාව තිබෙනවා.

ප්‍රෝටීන් ශේක් වැඩිපුර භාවිතය ශරීරයට අහිතකරද?

ප්‍රෝටීන් වල මුලික කාර්යයක් ලෙස මාංශපේශි වර්ධනය හා සැකසීම දක්වන්නට පුළුවන්. කායවර්ධනයට යොමුව සිටින්නන්ගේ පේශි බිදවැටීමත් පටක තුවාල වීමත් නිතර සිදුවනවා. එමනිසා ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩිවෙනවා. එතරම්ම ඉහළ නොවුනත් නිතර ව්‍යායාම වල යෙදෙන්නන්ගේද ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉහළ යනවා. එමනිසා බාහිරින් ලබාගන්නා ප්‍රෝටීන් මගින් මාංශ පේශි වර්ධනය හා ඒවා ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. නමුත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රෝටීන් ලබාගතහොත් අනවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය මේදය ලෙස තන්පත් වීමට ඉඩකඩ තිබෙනවා. එපමණක් නොවේ වැඩිපුර ප්‍රෝටීන් මහත් පරිශ්‍රමයක් දරා ශරීරයෙන් බැහැර කරවන්නටද ශරීරයට සිදුවෙනවා. මේ හේතුව නිසාම අක්මාව, ආහාර ජීර්ණ පද්ධතිය වගේම, මුත්‍රා පද්ධතියටත් අහිතකර බලපෑම් ඇතිවනවා.

ප්‍රෝටීන් ශේක් භාවිතයෙන් මුත්‍රා පද්ධතියට වන බලපෑම කුමක්ද?

ශරිරයට අනවශ්‍ය අතිරික්ත ප්‍රෝටීන් ශරීරයෙන් පිටකරන්නේ මුත්‍රා හරහායි. අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් පිටකරවීමට වකුගඩු සෛල වලට වැඩි ක්‍රියාකාරිත්වයක් දක්වන්නට සිදුවෙනවා. එනිසා වකුගඩුවල සාමන්‍ය ක්‍රියාකාරිත්වය දිගුකාලින ප්‍රෝටීන් ශේක් භාවිතය නිසා ක්‍රමයෙන් හීනවන්නට පුළුවන්. ඒවගේම මුත්‍රා පද්ධතිය හරහා අධික ප්‍රෝටීන් ශ්‍රාවය වනවිට මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීමේ ප්‍රවණතාවයද ඉහළ යනවා. වකුගඩු මුත්‍රාවාහිනි හා මුත්‍රාශය ආශ්‍රිතවද මෙම තත්වය ඇතිවිය හැක.

ආහාර වේලට ප්‍රෝටීන් ශේක් එකතු කරගැනීම සිදුකල යුත්තේ කෙසේද?

ව්‍යායාම වලින් පසුව ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට මෙම පානය භාවිතා කල හැකියි. නමුත් සාමන්‍ය ආහාර වේල ලබාගන්නා අතරතුර අතිරික්ත පානයක් ලෙස මෙය භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. ප්‍රෝටීන් මෙන්ම මෙහි ඇති අනෙකුත් සංඝටක මගින්ද ශරීරයට තවත් කැලරි එක්වන නිසා, ව්‍යායාම වල ප්‍රතිථලයන් පවා අභිබවමින් සිරුරට මේදය එකතුවී ස්ථුලතාවය ඇතිවන්නට පුළුවන්.

ආහාරවේල මගහරිමින් ප්‍රෝටීන් ශේක් මත යැපීම සාර්ථකද?

ඔබගේ අරමුණ ශරීර බර අඩුකරගැනීමනන්, මෙය සාර්ථකයැයි හදුන්වන්න පුළුවන්. නමුත් ප්‍රෝටීන් ශේක් මත පමණක් යැපීම නිසා, සාමන්‍ය සමබර ආහර වේලකදි ශරීරයට ලැබෙන අනෙකුත් පෝෂ්‍ය සංඝටක ශරීරයට නොලැබී යන්නට පුළුවන්. එමනිසා දිගුකාලිනව මෙය භාවිතය නිසා ඔබට විටමින් මෙන්ම ඛනිජ ලවණ ඌනතාවන්ට මුහුණදීමට සිදුවිය හැක.

ව්‍යායාම වලින් තොරව ප්‍රෝටීන් ශේක් භාවිතය සුදුසුද?

නැත, එමගින් සිදුවන්නේ ඉහත කියූ පරිදි ඔබේ මාංශ පේශි වල වර්ධනය කරවීමට හා සැකසීමට ශක්තිය සැපයීමයි. නමුත් ඔබේ මාංශ පේශි ක්‍රියාශීලි නැත්නම් ඒවාට බාහිරින් වෙනම ප්‍රෝටීන් සපයාදීමේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. එලෙසම ව්‍යායාම වලින් තොරව ප්‍රෝටීන් ශේක් ලබාගැනීමෙන් ඔබ සිදුකරන්නේ ඔබ ගන්නා දෛනික කැලරි ප්‍රමාණය ඉහළ නංවාගෙන ස්ථුලතාවයට අත වැනීමක් පමණයි.

ප්‍රෝටීන් ශේක් භාවිතය කාන්තාවන්ට අහිතකරද?

කාන්තාවන්ගේ මස්පිඩු වර්ධනය රුපලාවන්‍ය වශයෙන් නොගැලපෙන කරුණක් ලෙස සලකන නිසා, කාන්තාවන් මේ සඳහා යොමුවීම අඩුයි. මීට අමතරව පිරිමින්ට වඩා මෙය කාන්තාවන්ට අහිතකර ප්‍රතිථල දෙන අවස්ථාවක් තමයි ඔස්ටියෝපොරෝසිස් රෝග තත්වය, මෙහිදී බාහිරින් එක්කර ගත් ප්‍රෝටීන් ශරීරය තුල බිදවැටීමේ ක්‍රියාවලියේදී අම්ල මුදාහැරීමක් සිදුවනවා, මෙම ආම්ලික බව තුලනය කිරීමට ශරීරයේ අස්ථිවල ඇති කැල්සියම් උපයෝගී වෙනවා. කැල්සියම් හිගකම නිසා ඔස්ටියෝපොරෝසිස් තත්වය ඇතිවීම දෙපාර්ශවයටම පොදුවන අහිතකර ක්‍රියාවක් වුවත්, ඔසප් චක්‍රය හා බැදුණු හෝමෝන වෙනස්වීම නිසා කාන්තාවන් අතර මේ තත්වය ඇතිවීමේ ප්‍රවණතාවේ වැඩිවීමක් පෙන්වනු ලබනවා.

ප්‍රෝටීන් සංඝටකය ඉහළ පානයක් ගෙදරදීම සකස් කරගැනීම සාර්ථකද?

ඇත්තෙන්ම ඔව්, ප්‍රෝටීන් වලින් සපිරි ආහාර වන කිරි, ආමන්ඩ් වැනි ඇට වර්ග, මේදය අඩු චීස් (low fat cheese), යෝගට් හා කෙසෙල් ආදිය එකට මිශ්‍ර කිරීමෙන්, ඔබට නිවසේදීම රසවත් ප්‍රෝටීන් පානයක් පිළියෙල කරගන්නට පුළුවන්. මෙම ආහාර වර්ග ප්‍රෝටීන් වලට පමණක් සිමා නොවෙන නිසා සිරුරට අවශ්‍ය මේදය හා තන්තු වර්ගද මෙමගින් සපිරෙනවා.

ප්‍රෝටීන් ශේක් නොගෙන සිටිය යුතුද? නොඑසේනම් ලබාගැනීමේදී අනුගමනය කල යුතු වැදගත් පියවර තිබේද?

ප්‍රෝටීන් ශේක් ලබාගැනීම නුසුදුසුයයි වෛද්‍ය මතයක් ගෙන එම අපහසු කරුණක්. මන්ද යත් ශරීර බර පාලනය වැනි හිතකර ක්‍රියා සදහා එය පිටුවහලක් වන බැවිනි. නමුත් එය භාවිතයට ප්‍රථම පහත කරුණු සදහා ඔබේ අවධානය යොමුකරන්නේනම්, එමගින් සාර්ථක ප්‍රතිථල ලබාගැනීමටත්, අතුරු අහිතකර ප්‍රතිථල අවම කරගැනීමටත් ඔබට හැකිවේවි.

  • ව්‍යායාම වලින් තොරව ප්‍රෝටීන් ශේක් භාවිතය සිදුනොකිරිම.
  • භාවිතයට ප්‍රථම වෛද්‍යවරයකු ලවා ඔබගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය (විශේෂයෙන් වකුගඩු හා අක්මාව වැනි අවයව) පරීක්ෂණයට ලක්කර ප්‍රෝටීන් පාන භාවිතයට අවහිරතාවක් නොමැති බව පැහැදිලි කරගැනීම.
  • ප්‍රෝටීන් පාන මිලදී ගැනීමේදී ඒවායේ සටහන් වන කැලරි සටහන්, අඩංගු සංඝටක ආදිය හොඳින් පරික්ෂා කොට, සමබර ලෙස සංඝටක සංයෝජනය කර ඇති වර්ගයක් මිලදී ගැනීම.
  • කෘතිමව නිපදවන පානයන් වෙනුවට හැකි සැමවිටම නිවසේදී සාදා ගත හැකි සමබර පානයක් සදහා යොමුවීම.

ප්‍රෝටීන් ශේක් භාවිතය හා ඒ පිළිබඳව ඇති විවිධ මත ගැටලු ආදිය ගැන නිරවුල් අවබෝධයක් මෙම ළිපිය මගින් ලැබෙන්නට ඇතැයි සිතමු. තරුණ ඔබට ඇතිවන මෙවැනි සෞඛ්‍යමය ගැටලුකාරී වෙනත් අවස්ථා පිළිබඳව අපි තවත් ලිපි වලින් සාකච්ඡා කරමු.

Author – Dr. H.Vithana (M.B.B.S)

මෙවැනි තවත් ළිපි සදහා අපගේ Newsletter එක සමග ලියාපදිංචි වන්න. ක්ලික් කරන්න

මෙම ලිපිය share කර දැනුම බෙදාහදා ගනිමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments