ජලභීතිකාව

ඩොක්ටර්, සතියකට විතර කලින් වැඩට යනකොට, බස් ස්ටෑන්ඩ් එකේදී බල්ලෙක් කකුල හපා කෑවා, මං ගනන් ගත්තේ නෑ. ඊයේ හවස ඌ මැරිල නිසා බයට මේ ආවේ. ” මෙවන් පැමිණිලි සහිතව රෝහල් වෙත නිතර රෝගීන් පැමිණෙනවා. සතුන් සපාකෑම නිසා එන්නත්කරණය සඳහා රෝහල්ගත වන පුද්ගලයන් ගණන දිවයිනේ සෑම දෙසක පාහේම වාර්ෂිකව ඉහළ අගයක් ගන්නනවා.නමුත් අතරින් පතර, ඉහත ආකාරයේ නොසැලකාහැරීම් නිසා ජලභීතිකා අවදානමට ලක්වන රෝගීන්ද සිටිනවා. මේ සඳහා හේතුවන සපාකෑම් අතර සුනඛයන්, බළලුන්, සපාකෑම් ප්‍රමුඛ වනවා. මීට අමතරව වෙනත් කැලෑ සතුන්ද මීට අදාල වනවා.

ජලභීතිකා එන්නත් ලබාගත යුත්තේ කුමන සත්ව වර්ග වල සපාකෑම් නිසාද?

ජලභීතිකා අවදානමක් පවතින්නේ ක්ෂීරපායි සත්වයන් / mammals නිසා ඇතිවන සපාකෑම් තුලිනුයි. සුනඛයන් හා බළලුන් නිසා ඇතිවන සපාකෑම් හා සිරීම් මේ අතර වඩාත් සුලභ වනවා. මීට අමතරව,

  • උගුඩුවන්
  • මුගටියන්
  • ඌරුමීයන්
  • ලේනුන්
  • දඬුලේනුන්
  • ගවයන්
  • එළුවන්
  • රිළවුන්
  • වඳුරන්
  • හාවුන්

නිසා ඇතිවන සපෑකෑම් හෝ සිරීම්ද නිතර වාර්තා වනවා.

සපාකෑමකට ලක් වූ පසු පළමුවෙන්ම ගත යුතු පියවර මොනවාද?

  • හොඳින් සබන් ගා තුවාලය සොදන්න.
  • ගලා යන ජලයට විනාඩි 5 ක් පමණ අල්ලා සිටින්න.
  • එන්නත් ලබාදී ඇති සතෙක්නම්, එම වාර්තාද සමඟ වහාම රජයේ රෝහලක් වෙත වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්න.
  • අයාලේ යන සතෙක් නම්, අවට පුද්ගලයන්ගෙන් සතාගේ හැසිරීම, රෝගී ලක්ෂණ තිබුණේද, වෙනත් පුද්ගලන්ද සපා කා ඇත්දැයි යන්න පිළිබඳව මදක් විපරම් කර දැනගන්න.

එන්නත්කරණය පිළිබඳව ඔබ දැන සිටිය යුතු කරුණු මොනවාද?

සපකෑමට ලක්වූවහාම ඔබ වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුයි. එන්නත්කරණය අවශ්‍ය ද, එසේනම් කුමන එන්නත් වර්ගයද යන්න ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කෙරෙනු ඇති. මේ සඳහා යොදාගැනෙන නිර්ණායක ලෙස

  • අයාලේ යන සතෙක්ද, වන සතෙක්ද, සුරතලයට ඇති කරන සතෙක්ද යන වග.
  • සතාට එන්නත් ලබාදී ඇතිද, එසේනම් ලබාදී ඇති වාර ගණන හා කාලවකවානුව.
  • සතාගේ හැසිරීම් ස්වභාවය.
  • තුවාලයේ ගැඹුර.
  • රුධිර වහනයක් සිදුවුණිද නැද්ද යන්න.
  • ශරීරයේ සපාකෑමට ලක්ව ඇති ස්ථානය.
  • අනතුරට ලක්වූ පුද්ගලයාට මීට ප්‍රථම ජලභීතිකාව සඳහා වන එන්නත් ලබාදී ඇතිද, එසේනම් කුමන වර්ගයක්ද, කිනම් කාලයකදීද යනවග.

ආදිය සලකා බැලෙනවා.

ජලභීතිකා අවදානමක් ඇත්තේ සපාකෑමක් හෝ සීරීමක් නිසා පමණද?

  • සතෙක් විසින් තුවාලයක් මතුපිට ලෙව කෑම.
  • සතෙක් විසින් ශරීරයේ සියුම් පටක සහිත ස්ථානයක් ලෙව කෑම. ( දිව, ඇස ඇතුලත)
  • රෝගී හරකෙකු හෝ එලුවෙකුගේ, උණුකර නොගත්, කිරි පානය කිරීම.

අනතුරෙන් දින 14 යනතුරු ඔබේ අවදානය යොමුවිය යුතු කරුණු මොනවාද?

අනතුරට හේතු වුන සතා දින 14 යන තුරු ඉතා ප්‍රවේසම්සහගතව රැක බලා ගත යුතු වනවා. මෙම කාල පරිච්ඡේදය තුල පහත සඳහන් කුමන හෝ වෙනසක් ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම සඳහා හැකි ඉක්මනින් යොමුවීම සිදු කලයුතුවනවා.

  • අසාමාන්‍ය ලෙස බියෙන් මුළු ගැන්වී සිටීම හෝ වෙනත් ඕනෑම හැසිරීමේ වෙනසක්.
  • ශරීරය පණ නැති ස්වභාවයක් දැක්වීම.
  • මුඛය විවෘතව හනු එල්ල වැටීම.
  • අධික ලෙස සෙම වැගිරීම.
  • වෙව්ලීම
  • ඇවීදීමට අපහසු බවක් දක්වමින් පසුපස ගාත්‍රා අද්දමින් යාම.
  • කෑම ප්‍රතික්ෂේප කිරීම.
  • අසාමාන්‍ය දෑ ආහාරයට ගැනීමට උත්සාහ කිරීම.
  • පෙර නොවූලෙස,දකින දකින පුද්ගලයා හපාකෑමට පැනීම.
  • වමනය
  • මලපහ පිටකිරීමේ අසාමාන්‍යතා
  • උණ
  • රෝගී බව නිසා හෝ, නිරෝගීව සිටියත්, වෙනයම් අනතුරක් නිසා හෝ සතා මරණයට පත්වීම.

සිදුවීමෙන් දින 14 ගතවනතුරු එන්නත්කරණයට සතා යොමු නොකල යුතුවනවා.

දින 21 අතරතුර සතා මියගියහොත් ගතයුතු පියවර කුමක්ද?

දින 21 තුල රෝගීබවක් නිසා හෝ වෙනත් අනතුරක් නිසා හෝ අදාළ සත්වයා මියයෑමට ලක්වුණහොත් වලදැමීමට ප්‍රථම, හිස පමණක් වෙන්කරගත යුතුවනවා. එම හිස පොලිතීන් බෑගයක දමා කොලඹ, බොරැල්ල පිහිටි MRI ආයතනය වෙත, පැය 8ක් ඇතුලත භාරදිය යුතුවනවා. පැය 8 ඇතුලත බාරදිය නොහැකිනම්, එම හිස සහිත පොලිතින් බෑගය, වතුර ඇතුල් නොවන පරිදි හොඳින් ගැටගසා, අයිස් කැට සහිත අයිස් පෙට්ටියක දමා පැය 24 ගත වීමට පෙර ඉහත ආයතනය වෙත ගෙනවිත් භාරදිය යුතු වනවා.
මෙවැනි අවස්ථාවක ලඟම ඇති රෝහලට ගොස් වැඩි විස්තර හා උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුවනවා. දිවයිනේ සමහර රෝහල්වල ජලභීතිකා මර්ධන අංශ පිහිටුවා තිබෙනවා. එවන් ස්ථාන වලින් මෙම හිස බාරගෙන එය MRI ආයතනය වෙත යොමු කිරීමද යම් අවස්ථාවලදී සිදු කෙරෙනවා.

මෙමගින් බලාපොරොත්තු වන්නේ අදාල සතාට ජලභීතිකා රෝගය වැලඳී ඇතිදැයි නිශ්චිත කොට හඳුනාගැනීමයි. පරීක්ෂණ වලින් මේ බව සනාථ වුවහොත්, නිසියාකාරව ප්‍රතිකාර ලබාදීමත්, ඒ සතා හා ගැටීම් ඇතිවී තිබෙන වෙනත් සත්ව කොට්ටාශ හෝ මිනිසුන් සිටීනම් ඔවුන්ද නියමිත ප්‍රතිකාර කරා යොමු කරවීමටත් මෙමඟින් අරමුණු කෙරෙනවා.

සපාකෑමේ අනතුරක් වළක්වා ගන්නේ කෙසේද?

  • සතුන් පැටව්න් දමන කාලය හා පැට්වුන් රකින කාලය තුලදී වැඩි සැර ගතියක් පෙන්නුම් කරන නිසා ඒ කාලය තුලදී වඩාත් ප්‍රවේසම් වීම.
  • අසනීපයෙන් පෙලෙන ස්වභාවයක් පෙනීයයිනම් ප්‍රතිකාර සඳහා යොමුකිරීම, හා කූඩු කර රැක බලා ගැනීම.
  • අනතුරකට ලක්ව සිටින සතෙකුට උපකාර කිරීමේදී සැලකිලිමත් වියයුතුය.
  • ආහාර ගනිමින් සිටින සතුන් හැසිරවීමේදී ප්‍රවේසම් විය යුතුය.
  • සතුන්ගේ ආරවුලකදී ඊට මැදිහත් නොවිය යුතුය.

සුරතල් සතුන් ඇතිකිරීමේදී, ඔබගේ සමාජයීය වගකීම් හඳුනනවාද?

  • සති 3-5 අතර පලමු ජලභීතිකා එන්නත ලබාදීම.
  • දෙවැනි එන්නත මාස 5-6 අතර ලබාදීම.
  • ඉන්පසු වසරක් පාසා නියමිත දිනට අදාල එන්නත් ලබාදීම.
  • එන්නත්කරණ සටහන් සුරක්ෂිතව තබා ගැනීම *අනතුරක් සිදුවු අවස්තාවක එම එන්නත්කරණ සටහන් වෛද්‍යවරයකු වෙත යොමුකරවීමට මූලිකවීම.
  • තමාගේ සුනඛයා සැරනම්, සපාකෑමේ අවදානමක් සහිතනම්, කූඩුකර හෝ ගැටගසා තබාගැනීම.
  • සතුන් ප්‍රවේසම්සහගතව තබාගනිමින් අයාලේ යාමට ඉඩ නොතිබීම.
  • එන්නත් නොකරන ලද සතෙක්නම්, අනතුරකින් දින 14කට පසුත් සතා නීරෝගීව සිටීනම් වහාම එන්නත් සඳහා යොමුකිරීම සිදුකල යුතුය.

මෙම ලිපිය මඟින්, සතෙක් සපාකෑමේ හෝ සීරීමේ අනතුරක් සිදුවූවිට ගත යුතු පියවර පිලිබඳව ඔබ දැනුවත් වන්නට ඇතැයි සිතමු. මීට අමතරව, වඩාත් වැදගත් වනුයේ එවන් අවස්ථාවන් මඟහරවා ගන්නේ කෙසේද, සුරතල් සතුන් ඇතිකිරීමේදී එවැනි අනතුරු ඇතිවීම වලක්වාගන්නේ කෙසේද යන්න පිලිබඳව දැනුවත් වීමයි. මේ පිලිබඳවද ඔබටයම් අවබෝධයක් මෙමගින් ලැබෙන්නට ඇතැයි සිතමු. මේ පිළිබඳව මිතුරන් දැනුවත් කිරීමටත්, වෙනත් සෞඛ්‍ය ගැටලු පිලිබඳව අවබෝධයක් ලබාගැනීමටත් askmydoctor.lk වෙත් පිවිසෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments