ඔබේ දරුවාටත් Autism රෝග ලක්ෂණ තිබේදැයි අවධානයෙන් පසුවන්න

autism-articleනම අසා තිබුනත් මෙම රෝගී තත්වය කුමන ආකාරයේ රෝගයක්ද, මෙහි ලක්ෂණ මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනෙක් හට වැඩි අවබෝධයක් නැහැ. මෙම තත්වය කල් තියා හඳුනාගෙන තිබීම නිසා එමගින් ඔබේ දරුවාට ඉදිරි අනාගතයේදී මුහුණ දීමට සිදුවන ගැටලුකාරී තත්වයන් අවම කරගැනීමට ඔබට හැකිවේවි. එනිසා අද ලිපියෙන් අපි රෝගී තත්වයේ මූලික ලක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වනවා.

AUTISM යනු කුමක්ද?

Autism (ඕටිසම්) යනු ස්නායු වර්ධනය විමේ දුර්වලතාවයක් නිසා හටගන්නා රෝගී තත්වයක්, මෙම තත්වය හඳුනාගැනීමට පහසුවන්නේ දරුවා බහ තෝරන අවධියට පත්වීමත් සමඟයි. මෙහිදී රෝග ලක්ෂණ සමුහයක් සැලකිල්ලට ගැනෙන නමුත්, රෝගී දරුවකු මෙම ලක්ෂණ වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම හෝ පෙන්නුම් කිරීමේ අවස්ථාවන් තිබිය හැකි වනවා. මෙම තත්වය ඇතිවීමට සෘජුවම බලපාන සාධකයක් නම් කිරීමට අපහසු වුවත්, ජානමය, පාරිසරික හා සමාජීයිය වශයෙන්, එම තත්වය ඇතිවීම සඳහා වගේම, එහි තීව්‍රතාව අඩු වැඩි වීම කෙරෙහිද බලපෑමක් ඇතැයි නිගමනය කර තිබෙනවා. උපතෙන් පසු වගේම, ගර්භණී බාවයට පත්වීමට පෙර සිටම මවගේ සෞඛ්‍ය තත්වයන්, පාරිසරික තත්වයන් වැඩෙන දරුවාගේ බලපෑමට හේතුවනවා.

Autism රෝගයේ මුලික රෝග ලක්ෂණ

  1. මුළුගැන්වුණ ස්භාවය හා සමාජ ආශ්‍රය ප්‍රිය නොකිරීම.
  2. අදහස් හුවමාරුව, කතා බහ ආදියට යොමු නොවී සිටීම.
  3. අධික මුරණ්ඩු බව.
  4. එකම ක්‍රියාවක වරින් වර නිරත වීම.
  5. අසාමාන්‍ය පුරුදු / චර්යා රටා ප්‍රගුණ කිරීම.

මේ ආකාරයෙන් එකතුවක් ලෙස ලක්ෂණ සමුහ ගොනු කල හැකි නමුත්, මවක් හෝ පියෙකු ලෙස ඒ ඒ කාරණා තම දරුවා තුල ඇතිදැයි නිසි පරිදි තේරුම් ගැනීමට නම්, එක් එක් ලක්ෂණ ගොනුවලට අදාල නිදසුන්, ප්‍රායෝගික වශයෙන් හඳුනාගැනිම සිදුකල යුතු වනවා. මේ සඳහා තම දරුවාගේ වයසෙහි පසුවන දරුවකුගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව දල අදහසක් පැවතීම වඩා උචිත වනවා. එවිට සාමාන්‍ය තත්වයෙන් බැහැර වූ හැසිරීම් රටාවන් පහසුවෙන් හඳුනාගන්නට හැකියාව ලැබෙනවා.

මුළුගැන්වුණ ස්භාවය හා සමාජ ආශ්‍රය ප්‍රිය නොකිරිම

  1. සුරතල් කිරීම්, වඩා ගැනීම් ආදිය අප්‍රිය කිරිම.
  2. තනිව සෙල්ලම් කිරීමට ප්‍රිය වීම. හා මිතුරු ආශ්‍රය මඟ හැර සිටීම.
  3. මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීම අවම විම.
  4. කතා බහ කෙරෙන විට දෑස් දෙස නොබලා, මඟහැර සිටීමට උත්සාහ දැරීම. (avoid eye contact)
  5. අන් අයගේ හැඟීම් පිළිබඳව අවධානයක් යොමු නොකිරිම.

අදහස් හුවමාරුව, කතා බහ ආදියට යොමු නොවිම

  1. වචන හඳුනාගැනීම, හා ක්‍රමයෙන් කතාකිරිමට පෙළබිම සාමන්‍යයෙන් සිදුවන වයස පසුවී සිදුකිරිම හෝ පසුවී හෝ ඒ සඳහා යොමු නොවීම.
  2. පෙර භාවිතා කල වචන පවා ක්‍රමයෙන් භාවිතයෙන් මෑත්වීම.
  3. සංවාදයක් ගොඩ නැඟීමට මෙන්ම සංවාදයක් පවත්වාගෙන යාමටද නොහැකිවීම.
  4. කථන ස්වරුපය හා ස්වභාවය අසාමාන්‍ය (උදා: රොබෝ හඩක්, කුරුළු හඩක්) ආදී ලෙස පවත්වාගැනීමට උත්සාහ කිරීම.
  5. යම් දෙයක් පිළිබඳව කෙනෙක් විසින් ලබා දෙන උපදෙස් තේරුම් ගැනීමට නොහැකි වීම.

එකම ක්‍රියාවක වරින් වර නිරත වීම

  1. එකම සෙල්ලම් බඩුවක් සමඟ සෙල්ලම් කිරීම.
  2. වාහන හා අනෙක් සෙල්ලම් බඩු පෝලිම් ගැස්වීම, නැවත කඩා ඉහිර කොට නැවත නැවත පෝලිම් ගැස්වීම.
  3. යමක් විමසුවහොත්, පිළිතුර වෙනුවට ප්‍රශ්නයම පෙරලා නැවත කීම.
  4. පැද්දීම්, කැරකීම්, හිස වද්දා ගැනීම් වැනි දෑ නැවත නැවත හිතාමතා කිරීම.
  5. එකම වර්ගයේ ආහාර වලට පුරුදුව සිටීම හා එය වෙනස් කිරීමට ඇති අකමැත්ත.

මුරණ්ඩු හා සෙලවෙන මනසින් යුතු බව

  1. ගෙදර දොර බඩු භාණ්ඩ ආදිය තිබු තැනින් වෙනස් කිරීමට අකමැති බව.
  2. කලහකාරී මුරණ්ඩු හා දබරයට බර ස්වරුපයක් පෙන්වීම.

මෙම රෝගී තත්වය දරුවාගේ අනාගත වර්ධනය කෙරෙහි බලපාන්නේ කුමන අයුරකින්ද?

Autism සහිත දරුවන්ගෙන් කොටසක්, සාමාන්‍ය චින්තන හැකියාවෙන් ඔබ්බට ගොසින් අධ්‍යපනය, සංගීතමය වැනි ක්‍ෂේත්‍රවල හොඳ නිපුණතාවයක් ලබාගනු ලබනවා.

තවත් කොටසක් සාමාන්‍ය සරළ ජීවිතයකට ක්‍රමයෙන් හුරුවන අතර, බොහෝවිට මුළුගැන්වුණු ස්වභාවයක් ඔවුන් තුල දිගුකාලීනව පැවතීමට හැකියාව තිබෙනවා.

මෙම රෝගී තත්වය තීව්‍රතාව ඉතා ඉහළ දරුවන්ගේ කථන හැකියාව සම්පුර්ණයෙන්ම පාහේ ක්‍රම ක්‍රමයෙන් අඩුවී ගොස් මුළුගැන්වුණු ස්වභාවය, සමාජ ආශ්‍රයට ඇති අකමැත්ත ආදිය නිසා ස්වාධීනව ජීවත්වීමට අපහසු වීම දක්වා අවාසනාවන්ත ලෙස වර්ධනය වීමේ හැකියාව තිබෙනවා.

මෙම රෝගී තත්වය කල්තබා හඳුනාගත යුත්තේ ඇයි?

මෙම තත්වය නිට්ටාවට සුව කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රම නොමැති අතර, ප්‍රතිකාර ලබාදීම සිදුවන්නේ ස්නායු විශේෂ විශේෂඥ වෛද්‍යවරුන්, මානසික රෝග පිළිබඳව අධ්‍යනය කරන හා මානසික රෝග හා සම්බන්ධ වෛද්‍යවරුන්, කථන පුහුණු කරන විශේෂයන් මෙන්ම තවත් බොහෝ පිරිසකගේ එකතුවක් ලෙසිනුයි.
ආරම්භයේදීම, එනම් රෝගය හඳුනාගත් මුල් අවධියේ සිටිම මෙම විශේෂඥ පුහුණු කණ්ඩායම් වල දායකත්වය සමඟ රෝගයේ තීව්‍රතාවය යටපත් කරගැනීමේ හැකියාව පහසුවෙන් ලැබෙනවා ඇත. මෙම තත්වය කුඩා වියේදී ආරම්භ වූවත්, නිසි හඳුනාගැනීමක් සිදුනොවුන හොත්, වැඩිහිටි වියට පත්වූවත්, එම රෝග ලක්ෂණ ඒ ආකාරයෙන්ම හෝ අඩු වැඩි වීමක් සහිතව දිගටම පැවතීමේ අවධානමක් පවතිනවා.

Autism සහිත දරුවන්ට ඖෂධීය වශයෙන් ප්‍රතිකාර කෙරෙන්නේ මෙම තත්වය නිසා හටගන්නා ලද තිගැස්සීම (anxiety) මානසික ආතතිය (depress) ආදී ලක්ෂණ වලට ප්‍රතිකාරයන් ලෙස පමණයි.

සෞඛ්‍යමය වශයෙන් වැදගත් වන මෙවැනි තොරතුරු පිලිබඳව වැඩිදුර කියවීමට එකතුවන්න අපේ askmydoctor.lk facebook පිටුව වෙත.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments