නිසි වයසට සුදුසු, කුඩා දරුවන්ගේ වර්ධනය

baby-age-articleදෙමව්පියන් ලෙස කුඩා දරුවන්ගේ වර්ධනය දෙස අප බලා සිටින්නේ පුදුම ආසාවකින්, නමුත් යම් යම් විටෙක එම වර්ධනය සම වයසේ සිටින අනෙකුත් දරුවන්ගේ වර්ධනයට වඩා පසුබෑමකට ලක්වී ඇති බවක් ඔබට දැනෙන්නට පුළුවන්. තවත් විටක, දෙමව්පියන් තමන්ගේම ලොකු කුඩා දරුවන් අතර වර්ධන වේග පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යනවල යෙදෙනවා. මෙය සාර්ථක ක්‍රමයක් ලෙස හඳුන්වන්නට නොහැක්කේ, එකම පවුලක වූවත්, ළමාවිය වර්ධනය එක් එක් දරුවාට ආවේණික රටාවක් ගැනීමට ඉඩ තිබෙනා බැවිනි. එම නිසා වඩාත් නිවැරදි ලෙස ළදරු වර්ධනය පිලිබඳ අවබෝධයක් ලබා තිබීම මගින්, යම් දුර්වලතාවයක් පෙන්නුම් කරන ඔබේ දරුවාගේ එම ලක්ෂණ හඳුනාගෙන නිසි අවධිවලදී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම සිදුකල හැකියි.

සාමන්‍ය වර්ධනයෙන් වෙනස් වූ වර්ධන රටා ඇතිවීම වගේම, නිසි වයසට අදාළ වර්ධන සංදිස්ථාන කරා ළඟාවීමට නොහැකිවීමත්, අධි ක්‍රියාකාරී ස්වභාවයන් පෙන්නුම් කිරීමත් යන සියල්ලම පාහේ ළදරු වර්ධනයේ ඇතිවන වෙනස්කම් ලෙස සැලකිය හැකියි. තවද, මෙම වර්ධනය , මානසික, ශාරීරික හා සංවේදන හා සමාජයීය වර්ධනය ලෙස වර්ගීකරණය කරන්නටත් පුළුවන්.

මෙම වර්ධන රටා වලට අනුගත නොවන දරුවකුගේ, එම වෙනස් වර්ධන වේගයන්ට හේතු විය හැකි කරුණු.

  1. ජානමය විකෘති
  2. ගර්භණී සමය තුලදී මවට ඇතිවන ගැටලුකාරී තත්වයන් ( උදා: ආසාදන, අධි රුධිර පීඩන, දියවැඩියාව, ලේ ගැලීම් ආදීය ) නිසා දරු ගැබට ඇතිවන සංකූලතා.
  3. උපතේදී දරුවට සිදුවිය හැකි අනතුරු හා අතුරු ආබාධ තත්ව.
  4. මෙවැනි හේතු නිසා බොහෝ විට දිගුකාලීනව බලපෑ හැකි ශාරීරික හෝ ස්නායුමය ආබාධ තත්ව ඇති විය හැකියි. තවත් විටෙක හේතුවක් නිසියාකාරව ලබ දිය නොහැකි, නමුත් මානසික තත්වයේ ව්‍යාකූලත්වයක් නිසා හටගන්න්නා වර්ධනය පසුබෑමක් ඇතිවීමද දක්නට පුලුවන්.නමුත් යම් විටෙක කන් නොඇසී තිබීම, කථන හැකියාවක් නොමැතිවීම වැනි ගැටලු නිසා වර්ධන වේගය අඩුවීමක් පෙන්නුම් කෙරනු ඇත. මෙවැනි තත්ව මුල් අවදියේදීම හඳුනා ගතහොත් ඒ සඳහා ප්‍රතිකාර සිදුකර, ඇතිවන්න්ට යන වර්දනය මන්දගාමී වීමේ අවස්ථාව මඟහරවා ගැනීමට හැකිවනු ඇත.

දරුවකුගේ සාමාන්‍ය අපේක්ෂිත වර්ධනය, එක් එක් වයස් කාලවලදී නීර්ණය කරගන්නෙ කෙසේදැයි බලමු.

සති 6 සිට මාස 3 දක්වා

  1. මුනින් අතට වැටි සිටි හිස ඔසවයි
  2. එක තැනක සිට චලනය වන දෙයක් දෙස දිගටම බලා සිටි
  3. හදිසියේ ඇතිවූ විශාල ශබ්දයකට තම ක්‍රියාකාරීත්වය නැවත්විමෙන් හෝ අධි ක්‍රියාකාරීත්වයක් දැක්වීමෙන් ප්‍රතිචාර දක්වයි.
  4. උත්තේජන සඳහා ආ…ඕ…ඊ…වැනි ශබ්ද නඟා ප්‍රතිචාර දක්වයි.
  5. මව හඳුනාගනී.ඈ හා සිනාසෙයි.

මාස 3 සිට මාස 6 දක්වා

  1. මුනින් අතට සිටින විට හිස හා පපුව ප්‍රදේශ ඉහළට ඔසවයි
  2. ඇඟිලි එකිනෙක පටලවා ගනිමින් තම අත් සමඟම සෙල්ලම් කරයි
  3. යම් ද්‍රව්‍ය දෙසට අත දිගු කර එය මුළු අත්ලෙන්ම අල්ලා ගනියි
  4. ශබ්දයක් ඇසුනු විට ඒ දෙසට හිස හරවා බලයි.
  5. තනි අකුරේ ශබ්ද පිට කරයි ගා…ඩා…ටා…බා…
  6. හඬ නඟා සිනාසෙයි

වයස මාස 6 සිට 9 දක්වා

  1. උඩු අතට වැටි සිටින විටද හිස ඔසවයි
  2. උඩු අතට සිට මුනින් අතටත් මුනින් අතට සිට උඩ අතටත් හැරෙයි
  3. එක් අතකින් අනෙක් අතට දෙයක් මාරු කිරීමේ හැකියාව පවතී.
  4. යම් ශබ්දයක් නැවත නැවත ශබ්ද කරයි ඩා-ඩා-බා-බා-ටා-ටා

වයස මාස 9 සිට 12 දක්වා

  1. උදව් නැතිවම හිඳගනී
  2. තනිවම අල්ලාගෙන සිටගන්නට තතනයි.
  3. මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල ආධාරයෙන් කුඩා දේවල් අල්ලා ගනි ( උදා: කුඩා ආහර කැබලි ගෙන මුවේ රුවා ගනී. )
  4. ශබ්ද අනුකරණය කරයි
  5. තනි තනි වචන උච්චාරණය කරයි. තේරුමක් ඇති ශබ්ද පිට කරයි
  6. සරල උපදෙස් තේරුම් ගනි. උදා: අත්පුඩි ගැසිම. සමුගැනිමේදි අත වැනීම.

මාස 12 සිට 18 දක්වා

  1. උදව් ඇතිව ඇවිදයයි.
  2. අවම වචන 2-3 ක් හෝ භාවිතා කරයි.
  3. හුරු පුරුදු දේ හෝ පුද්ගලයන් ගැන ඇසු විට අත දිගු කර පෙන්වයි.
  4. කුඩා බෝලයක් පෙරලිය හැක
  5. අඩුම වශයෙන් එක් ශරීර අවයවයක් වත් හඳුනා ගත හැක.

මාස 18 සිට අවුරුදු 2 දක්වා

  1. උදව් නැතිව ඇවිදිමට පුළුවන
  2. උදව් ඇතිව පඩිපෙලක් නැගීමට හැකියාව ලැබේ.
  3. බ්ලොක්ස් 2-3ක් යොදාගෙන කුළුණක් සැදිමට හැකිවේ.
  4. තනිවම කෑම ගැනිමට හැකියාව ලැබේ.
  5. වචන 10ක් පමණ කථා කිරීමට පුළුවන. අඩව වචන 2ක් සහිත වාක්‍යයක් වත් කතා කිරීමට හැකිය. උදා: තාත්තා එන්න, කාරය දෙන්න, අපි යමු. ආදී ලෙස පවසයි.
  6. සිප ගැනිමට තොල් උල් කරයි

අවුරුදු 2 සිට 3 දක්වා

  1. නොවැටී දිවිමට හැකියාව ඇත
  2. නොවැටී පඩිපෙල දිගේ ඉහළ පහළ යාමට හැකිය
  3. රවුමක් / චක්‍ර සහිත රුපයක් පිටපත් කිරීමට පුළුවන
  4. වචන 3ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් වාක්‍යයක් ගොඩ නැගීමට හැකියාව ඇත

අවුරුදු 3 සිට 4 දක්වා

  1. තනි කකුලෙන් සිට ගන්නට හැකියාව ඇත.
  2. පඩියකින් පැනිමට හැකියි
  3. සපත්තු දැමිම හා ඇඳුම් ඇඳ ගැනිම කල හැක (බොත්තම් දමා ගැනිම හැරු)
  4. වෘත්ත හා රටා පිටපත් කරයි
  5. තුනට ගණන් කරයි
  6. අඩුම තරමින් උඩ-යට ළඟ-දුර වැනි පද දෙකක්වත් දනි.
  7. සම්පුර්ණ වාක්‍ය හා සංකීර්ණ වාක්‍ය පවා භාවිතා කළ හැකියි

අවුරුදු 4 සිට 5 දක්වා

  1. තනි කකුලෙන් පැනීමට හැකියි
  2. තනිවම ඇඳුම් ඇඳගනි
  3. තනිවම ආහාර ගනි
  4. සරල මිනිස් රූප ඇඳීමට හැකියාව ඇත
  5. සෙල්ලම් කරන විට වැඩිමහල් දරුවන් හා සහයෝගයෙන් ක්‍රියා කරයි
  6. ක්‍රියා පදය, අතීත, වර්තමාන සහ අනාගත කාල වලට අනුව නිවැරදිව භාවිතා කරමින් පින්තුරයක් විස්තර කල හැක
  7. තම සම්පුර්ණ නම සහ වයස ප්‍රකාශ කල හැක

දරුවාගේ වර්ධනය, ඔහුගේ නිසි වයසට සුදුසු අයුරින් ලැබි ඇතිදැයි, නීර්ණය කර ගැනීමට ඉහත කරුණු ඔබට පිටුවහලක් වනු ඇතැයි සිතමු.

වර්ධනය නිසි පරිදි සිදු නොවන අවස්ථාවක දී, එය නිශ්චිතව හඳුනාගෙන, හැකි ඉක්මනින් ළමා විශේෂඥ වෛද්‍ය කණ්ඩායක් වෙත බාර කිරීමෙන් මෙයින් ලැබෙන අවසන් ප්‍රතිඵලය වඩාත් සුභදායී
කරගැනීමට ඔබට හැකිවනු ඇත.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments