මවුකිරි දිම පිළිබඳව මවක් වන ඔබ දැන සිටිය යුතු දේ. Brestfeeding

breast-feed-02වර්තමානය වන විට කාර්යබහුලත්වය, රැකියාවලට යාමට සිදුවීමත්, අධික ලෙස රුපලාවන්‍ය හා ශරීර හැඩය පවත්වාගැනීමට වෙහෙසීමත් හේතුවෙන් නිසි ආකාරයෙන් අවශ්‍ය කාලය පුරාවට ළදරුවන්ට මවුකිරි ලබාදීමේ ප්‍රවණතාවය අඩුවෙමින් පවතිනවා. එලෙසම මවුකිරි ලබාදුන්නද එය නිසි ආකාරව කල යුත්තේ කෙසේද සහ දරුවාට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවාද නැද්ද යන්න තහවුරු කරගැනීමට ළාබාල අත්දැකීම් නොමැති තරුණ මවුවරුන්ට ගැටලුවක්ව පවතිනවා.

මවුකිරි පිළිබඳව ඔබ දැන සිටිය යුතු දේ

උපතින් පසු පැයක් පමණ ඉක්මවීමෙන් පසුව ආරම්භ කෙරෙන මවුකිරි ලබාදීම අවම වශයෙන් මාස 06ක් වනතුරුවත් දරුවාට ලැබීමට සැලැස්වීම ඔබේ වගකීමයි. දැනට පිළිගෙන ඇති ආකාරයට උපතේ සිට පළමු පැය 48ක් පමණ වනතුරු ශ්‍රාවය වන, තරමක් ඝන, කහ පැහැති කොලස්ට්‍රම් ( colustrum ) නම් මවුකිරි දරුවාට ලබාදීම අනිවාර්යය වනවා. අතීතයේදී අළුත උපන් දරුවාට මෙම ශ්‍රාවය ලබාදීම නුසුදුසු යයි විවිධ මතවාද හා පිළිගත් අදහස් වලට අනුව මීපැණි හා ජලය ආදිය ලබාදුන්නද දැන් එය කිසිසේත් අනුමත නොකරණු ලබන්නක්. පළමු මාස 06 ගතවනතුරු මවුකිරි පමණක්ම ලබාදිය යුතු වන අතර, ඊට අමතරව ජලය හෝ වෙනත් ඕනෑම යුෂ වර්ගයක් දීම අනුමත නොකරයි. මෙම කාලසීමාවේදී මවුකිරි වලට අමතරව ලබාදිය හැකි අනෙක් එකම ද්‍රව වන්නේ දියරමය ඖෂධ (syrup) වර්ග පමණයි.

මාස 06 සිට පළමු අවුරුද්ද තෙක් මවුකිරි හා සමගාමිව වෙනත් ආහාර වර්ග ලබාදිය හැකි අතර ඒ පිළිබඳව අපි පසුව විමසා බලමු. පළමු වසර අවසානය වන විට දරුවාට පවුලේ අනෙකුත් සාමාජිකයින් ආහාරයට ගන්නා සාමන්‍ය ආහාර වර්ග දීමට හැකිවන පරිදි ඉලක්කය සකස්කර ගනිමින්, මෙම කාලය තුළ ආහාර ලබාදීම සිදුකල යුතුයි.

පළමු මාස 06 තුල මවුකිරි ලබාදීම අත්‍යාවශ්‍ය ලෙස සලකන්නේ ඇයි?

ළදරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට ඔරොත්තු දෙන අයුරින් පහසුවෙන් දිරවාගත හැකිවන ලෙස සංඝටක සංයෝජනය වි තිබීම. පළමු මාස කීහිපය තුලදී ප්‍රතිශක්තිකරණය සදහා අවශ්‍ය ප්‍රතිදේහ දරුවා තුලම නිපදවීම අවම වන නිසා, මවගේ සිට දරුවාට ඒවා සම්ප්‍රේෂණය මවුකිරි මගින් සිදුකරයි. ක්ෂුද්‍රජීවීන් නසන සෛල අඩංගු නිසා අසාදන තත්වයන් අවම වීම. අසාත්මිකතා ඇතිවීමේ අවස්ථාවන් අවම වීම. දරුවාට ගැලපෙන උෂ්ණත්වයෙන් (එනම් ශරීර උෂ්ණත්වයෙන්ම) ලබාදීමට හැකිවීම. සෘජුවම මවගෙන් දරුවාට ලබාදෙන නිසා විෂබීජ මිශ්‍රවීමට ඇති ඉඩකඩක් නොමැතිවීම.

මව හා දරුවා අතර බැදීම, සෙනෙහස, ආදරය, එකිනෙකා අවබෝධ කරගැනීමේ හැකියාව ආදිය වර්ධනයට මවුකිරි ලබාදීම විශාල දායකත්වයක් සපයයි, මෙය දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය සදහා මෙන්ම දිගුකාලීනව ඇතිවන මවත් දරුවාත් අතර බැදීමට හේතුවේ.

මිට අමතරව මේ හේතුවෙන් මවටද සහනදායි තත්වයන් කිහිපයක්ම ලැබෙනු ඇත.

කිරි එකතුවීම නිසා ඇතිවන ආසාදන, පියයුරු ආශ්‍රිත මවුකිරි ග්‍රන්ථි අසාදනය වීම ඇතිවීම වැලැක්වීම. පියයුරු පිළිකා සදහා වන අවදානම අවම වීම. වියදිමකින් තොරව උපරිම පෝෂණය දරුවාට සැපයිය හැකිවීම. දරු උපතින් මාස 05 – 06 ක් පමණ ගතවනතුරු ශරීරය තුල ඇතිවී තිබෙන හෝමෝන වෙනස්වීම මගින් ස්වභාවික ලෙස උපත්පාලනය සිදුවන හෙයින් කෘත්‍රිම ක්‍රම යොදාගැනීමට අවශ්‍ය නොවීම.

දරුවාට නියම ලෙස මවුකිරි ලැබෙනවාද, දරුවාගෙ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වන්නේද? නොඑසේනම් එය සම්පූර්ණ කරගන්නේ කෙසේද යන්න අපි බලමු.

1. මව හා දරුවා අතර කිරිදීමේදී ඇතිවන සම්බන්ධතාවය

දරුවාට පහසු හා නිවැරදි ලෙස කිරි ලබාදෙන්නේනම්, එහිදී ඔබට පහත සදහන් ලක්ෂණ දක්නට හැකිවේවි.

දරුවාගේ මුව හොදින් වීවෘතව තිබීම. ඇරියෝලය ( areolar/තන පුඩුව අවට තද වර්ණය සහිත ප්‍රදේශය) දරුවාගේ මුවෙන් හැකි උපරිමෙන් ආවරණය වි තිබීම. තොල් ඉවතට යොමුවී තිබීම. කම්මුල් වල ගැසී තිබීම. (dimples) දරුවාගේ නිකට පියයුරේ ගෑවෙන බව හා නාස් සිදුරු පියයුරට තදවී නොමැති බව. දරුවා හා මව අතර ඇසට ඇස සම්බන්ධයක් පැවතීම.

මව්කිරි ශ්‍රාවයවීමේදී, පලමු විනාඩි කිහිපය තුල ශ්‍රාවය වන කිරි වල සංයුතියට වඩා වෙනස් සංයුතියක්, පසුව ශ්‍රාවය වන කිරිවල දක්නට ලැබේ. මෙහිදී සිදුවන්නේ, එක් එක් අවධි වලදී එකිනෙකට වෙනස් පෝෂණ සංඝටක ශ්‍රාවය වීමක්. එම නිසා එක් වරකට එක් පියයුරකින් පමණක් මවුකිරි ලබාදීම මගින් මෙම සංඝටක සියල්ලම දරුවාට ලැබෙනු ඇත. නැතහොත් කිරි ලබාදෙන අතරතුරයේ, එක් පියයුරකින් අනෙකට දරුවා මාරු කලහොත්, ශ්‍රාවයේ අවසාන භාගයේ සංඝටක දරුවාට නොලැබී යාමෙන් පෝෂණ ඌනතාවන් ඇතිවීමේ අවධානමක් හටගනී.

2. දරුවාගේ අවශ්‍යතාවය හා ඔබගේ දෛනික කටයුතු අනුව පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ කරගැනීම

breast-feed-01කිරි ලබාදිය යුතු වාර ගණනක්, දිනකට කෙතරම්ද යන්න නිශ්චිත වාර ගණනක් ලෙස දැක්විය නොහැකි අතර, දරුවාගේ කුසගින්නත් සමග ඔහුගේ/ඇයගේ ඉල්ලීම මත ( on demand with a cry ) කිරිදීම සිදුකල යුතුය. එමෙන්ම රාත්‍රියේ කිරි ලබාදීම දරුවාගේ සුවබර නින්දටද අත්වැලක් වේ. තවද ඔබ රැකියාවක් සදහා නිවසින් බැහැරවන මවක් නම්, පියයුරු පම්ප කිරීම මගින් (breast pump) කිරි ලබාගෙන – සාමන්‍ය උෂ්ණත්වයේ පැය 4-5 ත් අතර කාලයක් – ශීතකරණයේ පැය 12ක් පමණ කාලයක් තබාගෙන දරුවාට ලබාදිය හැක. ( ශීතකරණයේ තබන්නේනම්, කිරි සෑමවිටම කාමර උෂ්ණත්වයට පත්කර ලබාදිය යුතුයි). බාහිරින් මවුකිරි ලබාදෙන සැම අවස්ථාවකම හැන්දක් මගින් ලබාදීම වඩාත් සුදුසුවේ. නැතහොත් බෝතල් සුප්පු සදහා දරුව හුරුවීම නිසා තනපුඩු වලට නුහුරු බවක් පෙන්වා, පසුව, මවගෙන් ඍජුව කිරිබීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.

3.මවුකිරි ලබාදීමත් සමග දරුවා තෘප්තිමත්දැයි ඔබ දැනගන්නේ කෙසේද?

සුප්පු කිරීමේ වේගය හා හැකියාව දියුණු වීම. දිනකට වාර 7-8ක් පමණවත් මුත්‍රා කිරීම. වයසට සරිලන පරිදි බරෙහි වැඩිවීමක් දක්නට ලැබීම. ( උපතින් පසුව පළමු සති දෙක පමණ කාලයේදී දරුවාගේ බර උපත් බරට වඩා අඩුවිය හැකි අතර, ඉන්පසුව නැවතත් බර වැඩිවීම ආරම්භවේ. මෙය අසාමන්‍ය තත්වයක් නොවන බව සැලකිල්ලට ගතයුතුය. )

මවුකිරි ලබාදීම, එහි වැදගත්කම හා දරුවාගේ පෝෂණ අවශ්‍යතාවයන් ආදිය පිළිබඳව මෙම සටහනින් ඔබට යම් දැනුමක් ලැබුනේයැයි සිතමු. වයස මාස 06න් පමණ පසූ අනෙකුත් ආහාර වර්ග සදහා දරුවා යොමුකරවියුතු ආකාරය පිලිබඳව අපි තවත් සටහනකින් සාකච්ඡා කරමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments