මුඛයේ යම් දෙයක් සිරවූ විට දිය යුතු ප්‍රථමාධාර

මේ දින වල වරින් වර අසන්නට ලැබුණු, ආහාර කැබලි හිරවීම නිසා කුඩා දරුවන් මියගිය අසතුටුදායක තත්වය ගැන ඔබද දැනුවත්ව ඇති. ප්‍රථමාධාර පිළිබඳව මූලික අවබෝධයක් ලබා තිබුණිනම් මෙම තත්වය ඇති නොවීමට ක්‍රියාකිරීමට හැකියාව තිබෙන බව අපගේ විශ්වාසයයි.

ආහාර කැබලි හෝ සෙල්ලම් බඩුවල ගැලවී යන කුඩා කොටස් සිරවීම, ඕනෑම වයස් පරතරයක දරුවෙකුට සිදුවිය හැකි අනතුරක්. ආහාර සිරවීමෙන් වැඩිහිටි පුද්ගලයන් පවා මියගිය අවස්ථා වාර්තා වී තිබෙනවා. එම නිසා මෙවැනි අවස්ථාවක ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව අවබෝධයක් ලබා සිටීම ඔනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වනවා.

සිරවීමක් සිදුවූ විට ප්‍රථමයෙන් සිදුකලයුතු , හා කිසිසේත් සිදු නොකල යුතු දේ මොනවාද

මෙවැනි අවස්ථාවක බෙල්ල හෝ උගුර ප්‍රදේශය බදාගෙන දැඟලීම, අපහසුවෙන් හුස්ම ගැනීම, කැස්ස ඇතිවීම, ක්‍රමයෙන් නිල්වීම වැනි ලක්ෂණ රෝගියා පෙන්නුම් කරනවා.

  1. ඔබ කලබල නොවී සිටින්නට උත්සාහ ගන්න.
  2. අනෙක් පුද්ගලයා සන්සුන් කර තමාගේ අවනතට ගැනීමට උත්සාහ කරන්න.
  3. කැස්ස ඇතිවීම, කථා කිරීමට හැකිවීම,හුස්ම වැටීම, යහපත් ලක්ෂණ ලෙස සැලකිය හැකියි. ශ්වසන මාර්ගය සම්පූර්ණයෙන් අවහිරවී නොමැති බව මින් හැඟීයනවා. එවන් අවස්ථාවක තවදුරටත් කහින්නට එම පුද්ගලයා දිරිමත් කරන්න. එමඟින් උගුරේ සිරවී ඇති දෙය ක්‍රමයෙන් මුඛ කුහරය තුලට පැමිණෙනව. ඉන්පසු කට ඇතුලත පරීක්ෂා කරන්න. සිරවී ඇති දෙය පෙනෙන්නට තිබේනම් පමණක් ඇඟිලි දෙකක් යොදා එය ඉවත් කරගන්න.
  4. ඔබට එය නොපෙනේනම්, කිසිවිටකත් ඇඟිලි දමා එය සෙවීමට තැත් කරන්න එපා. මින් සිදුවන්නේ එය තවදුරටත් පහලට ගමන් කර උගුරේ සිරවීමයි.

රෝගියා කහින්නේ නැතිනම්, හෝ ශ්වසන අපහසුතාවයෙන් පෙලයි නම් කුමක් කලයුතුද?

මෙහිදී සිරවී ඇති දෙය පිටතට ගැනීම සඳහා පිටට පහරදීම සිදු කලයුතුවනවා.
මෙය සෑමවිටම සිදු කල යුත්තේ පිටේ මැද, උරස්පතු දෙක අතරටයි. තම හුරු අතේ අත්ලේ පතුලෙන්, පස්වාරයක් මෙලෙස පහර ගැසිය යුතුවනවා.

  

– වැඩුණු දරුවෙකු හෝ වැඩිහිටි පුද්ගලයෙකුනම් රූපයේ පරිදි, ශරීරයේ ඉහල ප්‍රදේශය ඉදිරියට නැවෙන පරිදි, සිටගෙන සිටියදීම පිටට ගැසීම සිදු කල හැකිවනවා.

  

choke-5A

  
– තරමක් වැඩුණු දරුවෙකුනම්, එම දරුවගේ උසටට සරිලන ලෙස දණගසන්න. රූපයේ පරිදි එක් දණහිසක් මතට දරුවා ඇලකරවා ගන්න. ඔබට පුටුවක හිඳ ගැනීමට අවස්ථාව තිබෙවානම්, හිඳ ගෙන රූපයේ පරිදි දරුවා හරහට ඇලකරවා ගන්න.

  

choke-5b-c

  
– ඉතා කුඩා දරුවෙකුනම්, දරුවා ඔබගේ නුහුරු අතේ මුණින් අතට ප්‍රවේසම් සහගතව රුවා ගන්න.

    
choke-5d

  

ඉහත සඳහන් කල පරිදි පිටට පහර පහකින් පසුව, නැවත කට ඇතුල පරීක්ෂා කර බලන්න, පෙනෙන්නට යමක් නොමැතිනම් ඊලඟ පියවර වෙත යොමුවන්න.

පිටට පහර මඟින් සිරවී ඇති දෙය පිටතට නොපැමිනීමෙන් අදහස් වන්නේ, එය වඩාත් පහලට ගමන් කර ඇති බවයි.
එවැනි දෙයක් පිටතට ගැනීම සඳහා උදර තෙරපුම් ලබා දීම සිදු කල යුතු වනවා.

අදාල පුද්ගලයාගේ පිටුපසින් සිටගන්න. එක් අතක් මිටමොලාවා දෙඅත්, අනෙක් පුද්ගලයගේ බඳ වට යවා තදින් අල්ලාගන්න. මෙහිදී නාභියට මදක් ඉහලින් වන පරිදි උස මට්ටම පවත්වාගන්න. ඉන්පසු උදරය තුලට හා ඉහලට පීඩනයක් ඇතිවන පරිදි තෙරපුම් ලබා දෙන්න. (එම පුද්ගලයා එසවීමට තැත්කරන්නක් මෙන් ) මෙවැනි තෙරපුම් 5කින් පසුව නැවත මුඛ කුහරය පරීක්ෂා කිරීම සිදුකරන්න.

තවද මෙලෙස උදර තෙරපුම් ලබාදීමේ ක්‍රියාවලියද , එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රමාණය හා උස මට්ටම අනුව වෙනස් වනවා.
සිටගෙන හෝ දණගසාගෙන මෙම කාර්ය සිදුකල හැකිවනවා. choke-5e-f

තරමක් තරබාරු පුද්ගලයන් හෝ ගර්භණී කාන්තාවක් මෙම තත්වයට මුහුණදුනහොත්,මෙම උදර තෙරපුම් ලබාදිය යුත්තේ ඉහත සඳහන් කල මට්ටමට ඉහළින් පපු කුහරයේ පහලම ප්‍රදේශයෙනි.

ඉතා කුඩා ළදරුවෙක් නම් මෙලෙස උදර තෙරපුම් ලබා දිය නොහැකි අතර, දරුවාගේ පපු කුහරයේ පහලින් ඇඟිලි දෙකකින් තදකිරීම (පහත රූපයේ පරිදි) සිදුකලයුතු වනවා.

choke-5g

සිරවී ඇති දෙය පිටතට නොපැමිණේනම්, එය පිටතට පැමිණෙන තෙක් හෝ, පුද්ගලායාට කැස්ස ඇතිවන තෙක්, පිට පහර 5ක් හා උදර තෙරපුම් 5ක් වශයෙන් වන චක්‍ර 5ක් පමණ ලබාදිය හැකිවනවා.

තවදුරටත් එම පුද්ගලයා සිහිසුන් බවක් දක්වයි නම්,හා හුස්ම නොවැටේනම් CPR (cardio pulmonary resucitation ) ලබාදීම සිදු කල යුතුවනවා. මූලික ශ්වසන හා හෘද ස්පන්දනය පවත්වාගෙන යෑම මින් බලාපොරොත්තු වනවා. මෙම සිදුවීම අතරතුර තවත් පුද්ගලයන් ගෙන් උදව් ඉල්ලීම හා හැකි ඉක්මණින් වෛද්‍ය සහය පැතීමත් ඔබ සිදුකල යුතුමයි. මෙවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියා කල යුත්තේ කෙසේදැයි ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු. CPR ලබාදීම තවත් අවස්ථාවන් රැසකගේදී ප්‍රයොජනවත් වන ක්‍රියාවලියක් නිසාම, එය සිදු කරන්නේ කෙසේද යන්න පිලිබඳව අපි තවත් ලිපියකින් සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments