විජලනය

dehydrated-articleඋත්සව සමයේ සීත අධික බව හා පාසල් නිවාඩු කාලය නිසා කුඩා දු දරුවන් රෝගී තත්ව වලට මුහුණ දීමේ අවධානම වැඩිවන කාලයක් උදාවෙලා තිබෙනවා.

උණ, වමනය, බඩ එළිය යාම ආදී තත්වයන් මෙහිදි වැඩි වශයෙන් දක්නට පුළුවන් ගැටලුකාරි ස්වභාවයන් වනවා. අපි අද මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන්නේ මෙම සැම රෝගී තත්වයකදිම උද්ගත විය හැකි එක් අතුරු ප්‍රතිපලයක් පිළිබඳවයි. “විජලනය” ඔබ බොහෝවිට අසා තිබෙන තත්වයක් වුවත් රෝගියකු විජලනයට පත්විය හැකි අවස්ථා මොනවාද? විජලන තත්වයක් හඳුනාගන්නේ කෙසේද හා එවන් අවස්ථාවක එහි තීව්‍රතාව අනුව ප්‍රතිකාර ලෙස ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි පිළිබඳව වැඩි අවධානයක් යොමුවී නොමැති වනවාට සැක නැත. එම ගැටලුවලට පිළිතුරු සෙවීමට මෙම ලිපියෙන් අපි අද උත්සහ දරමු.

විජලනය යනු

විජලනය යනු ජල හා ඛනිජ ලවණ ප්‍රමාණයන් ශරීරයෙන් අනවශ්‍ය ලෙස ඉවත්වීම නිසා ඇතිවන අසමතුලිත තත්වයයි..

විජලනය විමේදී ඇතිවන ලක්ෂණ

වැඩිහිටි පුද්ගලයකු විජලනයට පත්වීමේදි ක්‍රමානුකුලව විවිධ රෝගී ලක්ෂණ පෙන්නුම් කරනු ඇත, එනම්,

  • අධික තිබහ
  • මුත්‍රා පිටවීමේ ප්‍රමාණය හා වාර ගණන අඩුවීම
  • මුත්‍රාවල වර්ණය තද පැහැති වීම
  • ඇඟට පණ නැති ස්වභාවය හා කැරකිල්ල
  • කල්පනා සහගත බව අඩුවීම, එනම් මානසික ව්‍යකුලත්වයට පත්වීම
    (උදා: ලෙස දැඩි ලෙස විජලනයට පත්ව සිටින රෝගියෙකුට ඔබ අසන පැනයක් නිවැරදිව වටහා ගැනිමට හැකියාවක් නොමැති වන්නට ඉඩ තිබෙනවා. අදාල නොවන යම් දෙයක් මිමිණීම මෙහිදි බොහෝවිට දක්නට ලැබෙනවා ලැබෙනවා. තමන් කවුද, මේ කිනම් වර්ෂයද, සිටින්නේ කොහෙද වැනි සුළු ගැටලුවක් මෙම තත්වය නිර්ණය කරගැනීමට සුදුසු වනවා)

මෙහිදි වැදගත් වනුයේ අධික තිබහ, මුත්‍රා පිටවීම අඩුබව වැනි ලක්ෂණ දැනෙන මුල් අවධියේම විජලන තත්වයට ප්‍රතිකාර ලබාගැනීමයි. මෙහිදි මානසික ව්‍යාකුලතාවය වැනි බැරෑරුම් තත්වයක් උද්ගත වන තුරු නොසලකා හැර සිටීම නොකල යුතුයි.

විජලන තත්වය වඩා භයානක තත්වයක් වනුයේ කුඩා දරුවන් විජලනයට පත්වීමේදීයි. මිට හේතුවන්නේ ශරීරයේ ඇතිවන වෙනස්කම් ඔවුනට නිසි ලෙස ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාවයි. එම නිසා ඉතා බැරෑරුම් විජලනය තත්වයක් දක්වා රෝගීබව උඩුදිවිම පහසුවෙන් සිදුවිය හැකි. ශරීරයේ වර්ගඵලය වැඩිවීම හා ද්‍රව බරින් අඩුවීම නිසාත් විජලනය ඇතිවී, තීව්‍ර විමට ගතවන කාලය වැඩිහිටියෙකුට සාපේක්ෂව ඉතා අඩුවනවා.

එම නිසා විජලනය ඇතිවිය හැකි අවස්ථාවන් වලදි එනම්, උණ, බඩ එළිය යාම, වමනය අධික රස්නය සහිත කාලගුණය, වැනි අවස්ථා වලදී තම දරුවන්ගේ සෞඛ්‍ය ලක්ෂණ පිළිබඳව දෙමවුපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

  • තොල කට සහ දිව වියළි ස්භාවයක් ගැනීම.
  • හැඬීමේදී කඳුළු මතු නොවීම.
  • මුත්‍රා පිටවීම පැය 03ක කාලයක් තුලදි එක් වරක් හෝ සිදු නොවීම.
    ( මෙහිදි මවුවරුන් අතින් සිදුවන එක් අපරික්ෂාකාරී ක්‍රියාවක් වන්නේ රෝගී දරුවන් හට මුත්‍රා උරාගැනීම සඳහා වන තුවා අන්දවා තැබීමයි. මේ නිසා දරුවා මුත්‍රා කර ඇත්ද නැත්ද නොදන්නවා සේම අවසානයේ මුත්‍රා කරන ලද්දේ කිනම් අවස්ථාවකදීද යන්න පිළිබඳවත් අවබෝධයක් ලබාගැනිමට නොහැකි වනවා.
  • මිට අමතරව හිස් මුදුන වල ගැසීම, ඇස් හා කම්මුල් ගිලී යාම, ආදිය වඩා තීව්‍ර විජලන තත්වයකදි දැකගත හැකිවන ලක්ෂණයක් වනවා. වැඩිහිටියකු මානසික ව්‍යකුල තත්වයට පත්වන්නාසේම, ඉතා බැරෑරුම් අවධියේදි කුඩා දරුවන් වුවද, අධික ලෙස හැඬීම, දඩබ්බරවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනු ඇත.

එම නිසා විජලනය පිළිබඳව වැඩි අවධානයක් කුඩා දරුවන් වෙත යොමු කල යුතු වනවා. මීට අමතරව නිතර රෝගී තත්වයන්ගේත් පෙලෙන වයස්ගත පුද්ගලයන්ද, අධික හිරු එළියේ දැඩි මහන්සියකින්, දාඩිය දමමින් රැකියාවල නියුතු වන වැඩිහිටි පුද්ගලයන්ද විජලන තත්වයන්ට ගොදුරුවිමේ වැඩි අවධානමක් පවතිනවා.

විජලනය වීම නිසා ඇතිවන අතුරුඵල විපාක

විජලනය නිසා සිරුරේ ද්‍රව මට්ටම හා ලවණ මට්ටමෙහි අසමතුලිත තාවයක් ඇතිවීම සිදුවනවා, මේ නිසා ක්‍රමයෙන් මානසික ව්‍යාකුලතාවය, ක්ලාන්තය, ප්‍රතිචාර නොදැක්වීම වැනි තත්වයන් ඇතිවි අවසානයේ කම්පන තත්වයක් දක්වා යොමුවනවා. මෙය ජිවිතයට තර්ජනයක් ගෙනදෙන ගැටලුවක් බවට එසේ පත්වන්නේ ක්‍රමනුකුලවයි.

තවද තද රස්නය සහිත කාලගුණ තත්ව නිසා මාංශ පේශිවල වේදනා ඇතිවිමේ සිට කම්පන ඇතිවීම දක්වා වූ පරාසයක අතුරු අබාධ ඇතිවිය හැකියි.

දිගුකාලීනව, දියර වර්ග අඩු ප්‍රමාණවලින් සිරුරට ලබාදිම නිසා, මුත්‍රා පිටවිමේ වාර ගණන අඩුවී මුත්‍රා ගල් ඇතිවී
මේ අවධානම ඉහල දමනවා.

විජලනය වළක්වා ගන්නේ කෙසේද?

ශරීරයෙන් අධික ලෙස ද්‍රව පිටවන අවස්ථාවන් වලදි (එනම් වමනය හා බඩ එළිය යාම) හා ශරීරයේ අධික උෂ්ණත්වයට නිරාවරණය කෙරෙන උණ රෝගී තත්ව හා දේශගුණික වෙනස්වීම්) ආදී තත්ව වලදි විජලනය ඇතිවිය හැකි බව දැනසිටීම වැදගත්වනවා.

ශරීරයෙන් පිටවන ජල ප්‍රමාණයට සරිලන ජල ප්‍රමාණයක් හා ලවණ ප්‍රමාණයක් සිරුරට ලබාදීම විජලනය සඳහා වන මූලික ප්‍රතිකාරයයි.මේ සඳහා පානීය ජලයට අමතරව, ලුණු කැඳ, සුප් වර්ග ආදිය පූරක ආහාර ලෙස යොදාගත හැකිවනවා. මීට අමතරව සිරුරෙන් පිටවන ජලය හා ලවණ නැවත සිරුරට එක කරගැනීමට කෘතිමව නිපදවන ලද සංඝටක ඇතුලත් පානීය සේලයින් වතුර, නැතිනම් ව්‍යවහාරිකව ජීවනී ලෙස හඳුන්වන පානය සකස් කරගැනීම වඩ්ඩත් සුදුසු වනවා.

නමුත් අධික උණ හා වමනය නිසා ද්‍රව පානයන් ලබාගැනීම රෝගිය විසින් ප්‍රතික්ෂේප කරනවානම් හෝ, අදික ලෙස බඩ එලිය යාම නිසා ඊට සරිලන ප්‍රමාණයන් පානයන් ලෙස ලබා දීමට නොහැකි තත්වයක් උද්ගත් වන්නේනම් ඔබ වඩ්ඩත් සැලකිලිමත් විය යුතු වනවා.. මෙහිදී හැකි ඉක්මණින් රෝගියා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරවිය යුතු අතර, විජලන තත්වයේ තීව්‍රතාව අනුව, රුධිර නාල ඔස්සේ ද්‍රව ලබාදීම, ( සාමාන්‍ය ව්‍යවහාරයට අනුව සේලයින් ලබාදීම ) සිදු කෙරෙනු ඇති. අධික විජලනය නිසා රුධිර නාල හැකිලී ගොස් රෝගී පුද්ගලයා කම්පන තත්වයට පත්වීමේ අවදානමක් තිබෙන නිසා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියා නිශ්චිත කාලසීමවක් තුලදී යොමුකරවීම වඩා ප්‍රතිඵලදායි වනු ඇත.

අද ලිපිය තුලින් විජලන තත්වය කල් තියා හඳුනාගන්නේ කෙසේද, ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමේ වැදගත්කම හා කුඩා දරුවන් පිලිබඳව මෙහිදී වැඩිසැලකිල්ලක් යොමු කලයුත්තේ මන්ද යන කාරණා සාකච්ඡා කෙරුණි. මෙමගින් විජලන තත්වයකදී රෝගියා හෙරෙහි ඔබගේ වගකීම පැහැදිලි කරගැනීමට මෙම ලිපියෙන් යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු. මෙවන් එදිනෙදා දිවියට වැදගත්වන වෙනත් සෞඛ්‍ය ආශ්‍රිත මාතෘකා පිලිබඳව කියවන්න,askmydoctor.lk වෙත පිවිසෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments