කුඩා වියේදී දරුවන්ට ඇතිවන උණ වලිප්පුව නොහොත් උණ Fit එක

febrile-article01
වලිප්පුව, එනම් fits ඇතිවීම පිලිබඳව ඔබ අනිවාර්යෙන් අසා ඇති නමුත් මාස 06ත්, අවුරුදු 06ත් අතර වයස් කාලවලදී උණ සහිත අවස්ථාවල, දරුවන්ට ඇතිවන උණවලිප්පුව යන තත්වය දෙමව්පියන්ට හිතට බියක් හා අසහනකාරී හැඟීමක් ඇතිකරවන තත්වයක්.

උණ වලිප්පුව යනු කුමක්ද?

යම් කිසි වෛරස හෝ බැක්ටීරියාවක් මඟින් සිරුරේ කුමන හෝ කොටසක් (මොලය හා මධ්‍ය ස්නායු පද්ධතිය හැරුණු කොට) අසාදනය කිරීම නිසා ඊට ප්‍රතික්‍රියාවක් ලෙස ශරීර උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවෙනවා. යම් අවස්ථාවකට එම උෂ්ණත්වය ඉහළ යාමට ශරීරය දක්වන ප්‍රතිචාරයක් ලෙස මෙලෙස වලිප්පුව ඇතිවීම සිදුවනවා.

සාමන්‍ය උණ වලිප්පුවක ලක්ෂණ

  1. උණ සෑදි පළමු පැය 24 තුල fits ඇතිවිම.
  2. තප්පර කිහිපයක සිට විනාඩි 15කට අඩු කාලයකට සිමාවීම.
  3. සම්පුර්ණ ශරීරයම fit ඇතිවිමේදී සෙලවීමට ලක්වන අතර, එය ශරීරයේ එක් පසකට හෝ එක් කොටසකට පමණක් සිමාවී නොතිබීම.

උණ වලිප්පුව මීමැස්මොරය තත්වයෙන් වෙනස් වන්නේ කෙසේද?

අසාදන තත්වයක් නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ දරුවකුට උණ ඇතිවූ විට වලිප්පුව ඇතිවීම, ඉහත විස්තර කල පරිදි උණ වලිප්පුවයි. සාමන්‍යයෙන් මෙම තත්වය වයස අවු: 5ට අඩු වයස් කාණ්ඩයේ සිටින සැම දරුවන් 20 දෙනෙකු අතරින් එක් අයෙකු තුල ඇතිවිය හැකි සම්භාවිතාවක් තිබෙනවා. නමුත් මෙමගින් දරුවාට දිගුකාලීනව ඇතිවන බලපෑම ඉතා අල්පයි. මෙම උණ වලිප්පුව තත්වය අපස්මාර (මී මැස්මොරය) තත්වයේදී මෙන්, ස්නායු ක්‍රියාකාරීත්වයේ විෂමතාවක් නිසා සිදු නොවන බවත්, අතර මොළයේ ක්‍රියාකාරිත්වයට හා වර්ධනයට බලපෑමක් ඇතිවීමට ඇත්තේ ඉතාමත් අඩු හැකියාවක් බවත් තේරුම් ගැනීම, මෙවැනි රෝගී තත්වයක් ඇතිවන දරුවෙකුට ප්‍රතිකාර කිරීමේදී හා එම තත්වය ඇතිවීම වලක්වා ගැනීමේදී අවබෝධ කරගෙන සිටීම වැදගත් වනවා.

උණ වලිප්පුව ඇතිවිම වලක්වා ගැනිම

  • දරුවාට උණ හටගත් විට ඇඳුම් ලිහිල් කර (හෝ ඉවත් කර) හොඳින් වාතාශ්‍රය ලැබිමට සලස්වන්න. මෙහිදී විදුලි පංකාවක් වුවද භාවිතා කිරීම සුදුසු වනවා.
  • ශරීරයට ඇල් ජලයෙන් තෙමෙමින් ශරීරයේ බාහිර උෂ්ණත්වය අඩු වුවද ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය එලෙසම පවතින බැවින් එය උණ වලිප්පුව වැලැක්වීමට ආධාර නොවන අතරම, මේ නිසා ශරීරයේ නියම උෂ්ණත්වය මැන ගැනීමටද බාධා ඇතිවන නිසා ඉන් වැලකී සිටීම වැදගත් වනවා.
  • උණ කටුවක් භාවිතා කර දරුවාගේ වයසට හා බරට ගැලපෙන මාත්‍රාවෙන් පැරසිටමෝල් (එක් මාත්‍රාවක් සඳහා බර කි.ග්‍රෑ 1 කට, මිලි ග්‍රෑම් 15 බැගින්) පැය 6ක් හෝ ඊට වැඩි කාලයකට වරක් පමණක් දිය යුතු වනවා. මෙහිදී බලාපොරොත්තු වන්නේ ශරීර උෂ්ණත්වය ඉහලයාම මග හරවා ගැනීමයි. ඒ අනුව, පැය 24ක කාලයක් තුල දිය හැකි උපරිම මාත්‍රා ගණන 4කි.
  • සාමන්‍යයෙන් උණ වලිප්පුව දිගින් දිගටම ඖෂධ ලබා දිය යුතු තත්වයක් නොවන නමුත්, දිගින් දිගටම මෙම තත්වය ඇතිවන්නේ නම්, වෛද්‍ය වරයකු වෙත යොමුවි වැඩි දුර විස්තර හා ප්‍රතිකාර ලබාගැනීම සිදු කල යුතු වනවා.

උණ වලිප්පුව ඇතිවූ විට ගත හැකි ක්‍රියාමාර්ග

  • කලබල නොවිය යුතුයි.
  • වහාම දරුවා වම් ඇලයට හරවා හාන්සි කර තබා අල්වාගෙන ඇඳුම් ලිහිල් කරන්න.
  • කිසි විටක දරුවා ඉහළට ඔසවා තැබීමම හෝ ඉහලට ඔසවාගෙන දිවීම නොකළ යුතුයි.
  • දරුවාගේ කටට කිසිවක් දැමීමෙන් වළකින්න.
  • දරුවාට කිසිවක් බීමට නොදෙන්න.
  • දරුවාව ජල භාජනවල ගිල්වීම, ඇඟට ජලය දැමීම නොකළ යුතුයි.
  • සාමන්‍යයෙන් මිනිත්තු 5ට අඩු කාලයකදි වලිප්පුව නවතිනු ඇත.
  • ඉන් අනතුරුව දරුවා වෛද්‍යවරයකු කරා ගෙන ගොස් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වඩාත් සුදුසු වනවා.

කුඩා දරුවන් සිටින මවක් හෝ පියෙක්නම්, මෙවැනි ගැටලුකාරී තත්වයන් පිළිබඳව දැන හඳුන, අවබෝධ කරගෙන සිටීම එදිනෙදා ජීවිතයට ඔබට වඩාත් වටිනු ඇත. අප හට යොමු වුනු පැනයක් ඔස්සේ මෙම කරුණ අද මෙම ලිපියෙන් සාකච්ඡාවට ගැනුනා. ඔබටත් ඇතිවන විවධ සෞඛ්‍යම ගැටලු පිලිබඳව වැඩි විස්තර සාකච්ඡා කිරීමට හා අවබෝධයක් ලබා ගැනීමට, askmydoctor.lk වෙත යොමුවෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments