ළදරුවන්ට මවුකිරි සදහා පූරක ආහාර ලබාදීම – Introduction of solid food with weening of breastmilk

ළදරුවන් සදහා මාස 06ක් ගතවනතුරු අනිවාර්යෙන්ම මවුකිරි පමණක් ලබාදිය යුතු බව අප මීට ඉහත ලිපියකින් ඔබව දැනුවත් කලා. වයස මස 06 න් පසුව ළදරුවාට ලබාදිය හැකි අතිරේක ආහාර වර්ග කවරේද? ඒවා ලබාදිය යුත්තේ කෙසේද? හා ඒවා ලබාදීමේදී තරුණ මවුවරුන් අතින් සිදුවන වැරදි මොනවාද? දරුවාගේ පෝෂණ තත්වයට මෙමගින් වන බලපෑම ආදිය පිලිබඳව මෙම සටහන තුලින් අප සාකච්ඡා කරමු.

induces-01

 

induces-02

පුරක ආහාර දීමේදී ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු

මාස 06 අවසානයේ ක්‍රමක් ක්‍රමයෙන් ඇරඹිය යුතු බව.

  1. බොහෝ මවුවරුන්ගේ අදහස වන්නේ දරුවන්ට දිය යුතු ආහාර දියරමය වශයෙන් ආරම්භ කල යුතු බවයි. නමුත් ළමා රෝග විශේෂඥයින් හා පෝෂණවේදීන්ගේ අදහස් අනුව වඩාත් සුදුසු වන්නේ මද ඝන (less solid) ලෙස සකස් කරගත් ආහාර වර්ගයි. උදා: පළතුරු ආහාරයට දීමේදී, පළතුරු යුෂ ලෙස නොව පල්පයක් (pulp) ලෙස ලබාදීම වඩාත් සුදුසුයි.
  2. මවුවරුන් අතර පවතින තවත් එක් වැරදි පුරුද්දක් වන්නේ ආහාර බ්ලෙන්ඩර්කර ලබාදීමයි. එය දරුවාට වඩාත් සුදුසු බව ඔවුන් අතර වන මතයයි. නමුත් බ්ලෙන්ඩර් කිරීම කිසිසේත් සිදුනොකළ යුතු අතර, අතින් හෝ හැන්දකින් පොඩි කරගත් ආහාර දරුවට ලබාදිය යුතු වෙනවා. ආහාර ජීර්ණය සදහා ආහාර මාර්ග පද්ධතිය පුරුදු කරවීම මෙමගින් පහසු වෙනවා.
  3. පළමු වරට එක් ආහාර වර්ගයක් දරුවාට හදුන්වා දුන්විට, දින 04ක් 05ක් පමණ එම ආහාරය පමණක්ම ලබාදිය යුතුයි. මෙය හේතු දෙකක් නිසා මෙලෙස සිදුකල යුතුයි. එනම් දරුවාට එම ආහාර වර්ගය හා එහි රස හදුනාගැනීමට අවස්ථාවක් ලබාදීම හා දරුවා යම් ආහාර වර්ගයකට යම්කිසි අසාත්මිකතාවක් දන්වන්නේනම්, එම ආහාර වර්ගය මවට හදුනාගැනීමටද මෙමගින් අවස්ථාවක් ලැබෙනු ඇත. ආහාර වර්ග කිහිපයක් එකවර හදුන්වාදුනහොත් අසාත්මිකතාවට හේතුවී ඇත්තේ කුමන ආහාරයද යන්න හදුනාගැනීමට අපහසු වීමට පුළුවන්.
  4. ආහාරවල උකුබව ක්‍රමයෙන් ඉහළ දැමීම කාලයත් සමග සිදුකල හැක.
  5. පළමු වසර අවසානය තෙක් ආහාරවලට ලුණු හෝ සීනී පිටතින් එක්නොකල යුතුයි. මෙමගින් බලාපොරොත්තුවන්නේ එම රසයන් සදහා දරුවාගේ අවශ්‍යතා හා වුවමනා සීමාකිරීම මගින් පසුකාලින ජීවිතයේදී දියවැඩියාව, අධිරුධිර පීඩන තත්ව මැඩපවත්වාගැනීමයි.

දරුවාට ලබාදිය යුතු ආහාර වර්ග හා කාල සීමාවන්

පළමුව ආරම්භයේදී ධාන්‍ය වර්ග, පිෂ්ටය සහිත ආහාර වර්ග හා පලතුරු වර්ග දරුවාට හදුන්වාදිය හැක. දෙවනුව ක්‍රමක්‍රමයෙන් ප්‍රෝටීන් අඩංගු ආහාර වර්ග එනම් බිත්තර, මස්, මාළු ආදිය හදුන්වා දිය හැක. දරුවාගේ බර සටහන් සාමන්‍යට වඩා අඩු අගයක් ගනී නම් තෙල් සහිත ආහාරද පසුව එක්කර ගත හැකිවේ. දරුවාට මාස 09ක් පමණ වන විට ඇගිලිතුඩු වලින් අල්ලා ගැනීමේ හැකියාව ලැබෙන අතර ආහාර වර්ග ඒ සදහා සුදුසු වන ලෙස සකස් කර දිය යුතුයි. උදා: කුඩාවට කපන ලද එළවලු, මස් හා මාළු කැබලි. වසරක් සම්පුර්ණ වීමත් සමග දරුවාට සාමන්‍ය පවුලේ එදිනදා ආහාර වේලට ක්‍රමක් ක්‍රමයෙන් හුරුකරවීම සිදුකල යුතුයි. දෙවන වසර සම්පුර්ණ වන විට දෙමාපියන්ගේ උපකාරයකින් තොරව තනිව ආහාර ගැනීම සදහා ඔබේ දරුවා හුරුකරවීම වඩාත් සුදුසුයි. වයස අවුරුදු 02 සම්පුර්ණ වන තෙක් පූරක ආහාර සමග දරුවාගේ අවශ්‍යතාව පරිදි මවුකිරිද දිනකට කිහිපවරක් ලබාදීමට ඔබට හැකිය. නමුත් කාලයත් සමග මවුකිරි ලබාදීම ක්‍රමක් ක්‍රමයෙන් අඩුකරමින් නවතා දැමිය යුතුයි, එසේ නොවුනහොත් දරුවා වඩවඩාත් එයට හුරුවී අනෙකුත් ආහාර වර්ග ලබාගැනීම සදහා මැලිකමක් දක්වන්නට පුළුවන. දරුවාට පූරක ආහාර ලබාදීමේදී, මවුවරුන් යම්විටක දරුවාට ඇති ආදරයත්, තමන්ගේ ආත්ම තෘප්තිය උදෙසාත් අනවශ්‍ය අයුරින් ආහාර ලබාදීමට පෙළඹීම නිසා, වයසට සරිලන බරට වඩා දරුවාගේ බරෙහි වැඩිවීමක් ඇතිවීමට පුළුවන්, එවන් විටක සායනවලදී දෙන උපදෙස් අනුව යම් පාලනයක් ඇතිව, නිසි පෝෂණය දරුවාට ලබාදීමට කටයුතු කලයුතු අතර, පෝෂණය මදකම මෙන්ම අධිපෝෂි තත්වයන්ද දරුවාට එකසේ අහිතකර බව සිහිතබා ගත යුතුයි.

මවුකිරිවලට අමතරව අනෙකුත් පුරක ආහාර මගින් දරුවාගේ පෝෂණ තත්වයන් යෝග්‍ය මට්ටමක පවත්වා ගන්නේ කෙසේද යන්න බොහෝ මවුවරුන්ට ගැටලුවක්, ඔබට එදිනදා ඇතිවන එවන් ගැටලු සදහා මෙම සටහනින් යම් සහනයක් ලැබෙන්නට ඇතැයි සිතමු. මවුවරුන් සෑමවිටම තමන්ගේ දරුවාට හැකි හොඳම දේ දෙන්න උත්සාහ කරන බව අපි දන්නවා. ඉතින් ඒ සඳහා ඔබට අත්වැලක් වෙන්න, ඔබට නොපැහැදිලි දේ පිළිබඳව විමසීමට අපට ලියන්න.

මවුවරුන්ට වැදගත් වෙන වෙනත් ළිපි :

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments