ඔබේ දරුවාත් TV, Phone, Tablet, PC ආදියට ඇබ්බැහි වී ඇත්ද?

“මේ ළමය කොයි වෙලේ බැලුවත් “phone” එකේමයි”,

“ඕන වේලාවක බැලුවොත් කාමරේට වෙලා කොම්පියුටරේ ඔබ ඔබ ඉන්නවා, වෙන වැඩක් ඇත්තෙම නෑ”

වර්තමානයේ ළමයින් සිටින ගෙවල් වල නිතර අසන්නට ලැබෙන දෙයක්.

වර්තමානයේ තිබෙන කාර්යබහුල ජීවන රටාවත් සමග බොහෝ දෙමව්පියන් අඬන කුඩා දරුවකු නළවා ගැනීමට පහසුම හා ඉක්මන්ම ක්‍රමය ලෙස යොදාගන්නේ තමන් අත නිතරම රැඳෙන ජංගම දුරකථනයයි. එසේ කරන්නේ ජංගම දුරකතනයේ ඇති විවිධ apps හෝ වීඩියෝ දර්ශන පෙන්වා තම දරුවා නළවා ගැනීම ඔවුනටත් පහසුවක් බැවිනි. රූපවාහිනී, ටැබ්, ලැප්ටොප්, පරිගණක එක්ක දවස ගෙවන අප මේ සඳහා ඉබේ යොමුවීම අරුමයක් නොවෙයි.

නමුත්, කුඩා කල සිටන්ම මෙම ඩිජිටල් උපකරණ වලට හුරුවන දරුවාගේ වර්ධන රටාවන්ට හානි සිදුවීමත් ක්‍රමයෙන් වයසින් වැඩෙත්ම දරුවා මේ සඳහා ඇබ්බැහිවීමත් වැළකිය නොහැකිවනවා.කුඩා කාලයේදී නොදැනුවත්වම දරුවන් මේ සඳහා යොමුකරන දෙමව්පියන්, දරුවන් වයසින් වැඩෙත්ම ඔවුන් පරිගණකයට, දුරකථනයට හා රූපවාහිනියට ඇබ්බැහිවී ඇතැයි පසුතැවිලි වනවා.

මේ තත්වය පිළිබඳව කල අධ්‍යනයන්ගෙන් පසුව, ළමා රෝග පිලිබඳ විශේෂඥ ඇමරිකානු ඇකඩමිය (American Academy of Paediatric ) මඟින් එක් එක් වයස් කාණ්ඩ වල දරුවන්ට මෙම විවිධ වර්ගයේ විද්‍යුත් තිරයන් භාවිතා කිරීමට අදාළ නිර්දේශයන් ලබා දී තිබෙනවා. එම නිර්දේශ පිලිබඳවත්, මෙම තත්වය නිසා දරුවන්ට ඇතිවිය හැකි හානිකාරක තත්වයන් හා ඒවා අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳවත් අද අපි මෙම ලිපිය තුලින් සාකච්ඡා කරමු.

child-screen-5

#American Academy of Paediatric මඟින් දරුවන්ට විද්‍යුත් තිරයන් භාවිතයට ලබාදී ඇති නිර්දේශ

අවු. 1 1/2 ත් 2 ත් අතර

මෙම වයස් සීමාව තුල වන කුඩා දරුවන්ට, විද්‍යුත් මාධ්‍ය භාවිතය අනුමත කෙරෙන්නේ නැහැ. නමුත් වීඩියෝ චැට් කිරීම මඟින් දුර සිටිනා සමීපතමයෙක් හා දරුවා සම්බන්ධ කිරීම මෙහිදී තහනම් කොට නැහැ.

අවු. 2-ත් 5ත් අතර

මෙම වයස් පරතරය තුල දිනකට විද්‍යුත් තිරය භාවිතයට දරුවාට ලබා දෙන කාලය පැයකට සීමා කල යුතු බවට නිර්දේශ කර තිබෙනවා . මෙම කාල සීමාව තුලද හරවත් යමක්, උසස් ප්‍රමිතියේ මාධ්‍ය භාවිතයක් තුලින් දරුවාට ලබාදීම සුදුසු වනවා.

දරුවා වයසින් වැඩෙත්ම, ඔහු හෝ ඇයට මෙම විද්‍යුත් තිරයන් භාවිතය සඳහා සුදුසු කාලසීමාවන් හා ඒ එක් එක් වැඩසටහන් වල ප්‍රමිතිය පිළිබඳව නිර්ණය කරගැනීමේ වගකීම දෙමව්පියන් සතු වනවා.

විද්‍යුත් තිරයට අනවශ්‍ය ලෙස ලෙස යොමුවීම නිසා ඇතිවන ගැටලු මොනවාද?

Smart phone, පරිගණක, රූපවහිනී, tab ආදී උපකරණ අනවශ්‍ය ලෙස භාවිතා කිරීම
නිසාවෙන් දරුවන් හට මානසික කායික හා සමාජයීය වශයයෙන් විවිධ වයස් සීමා තුලදී නොයෙකුත් ගැටළු ඇතිවීමට පුලුවන්.

1. මානසික සෞඛ්‍ය ගැටලු

  • නිදිවැරීම/අසාමාන්‍ය නිදාගැනීමේ රටාවන්ට හුරුවීම නිසා බුද්ධි වර්ධනයට බාධා ඇතිවීම, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, උත්තේජනයක් සඳහා ප්‍රතික්‍රියාවක් දැක්වීමට ගතවන කාලය වැඩිවීම ආදිය සිදුවේ
  • නිර්මාණාත්මක හැකියාව හා චින්තන ශක්තිය අඩුවීයාම
  • මුරණ්ඩු බව, ඉගෙනීමේ කටයුතු මඟහැරී යාම
  • පරිගණකය හෝ දුරකථන සමඟ තනිවීම නිසා depression / විශාදය තත්වයට මුලපිරීම.

2. කායික සෞඛ්‍ය ගැටලු

  • ක්‍රියාශීලි මද බවින් හටගන්නා ස්ථූලතාවය නිසා, හෝමෝන අසමතුලිතතාවයන්, අඩුවයසින් ඇතිවන දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්වය, කොලොස්ටරෝල් මට්ටම ඉහල යෑම, හෘද රෝග හා අධි රුධිර පීඩන තත්වයන් ආදී බෝනොවන රෝග තත්ව රාශියක් ඇතිවීමේ අවදානමක් තිබීම.
  • අක්ෂි වර්ධනයේ දුර්වලතා සහිත දරුවන්ට රෝග ලක්ෂණ ( තද ඔළුව කැක්කුම, ඇස් වල වේදනාව, කඳුලු ගැලීම ) ඇතිවීමටත්, නීරෝගී අයට අක්ෂි දුර්වලතා ඇතිවීමේ අවදානමක් තිබීම.

3. සමාජයීය සෞඛ්‍ය ගැටලු

  • සම වයස් දරුවන් හා මුහු නොවීම හා සමාජ භීතිය.
  • පවුල තුල දෙමව්පියන්, සොයුරු සොයුරියන් වශයෙන් එකිනෙකා අතර ඇති බැඳීම් බිඳ වැටීම.
  • වැඩුණු දරුවන් ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය මූලික කරගත් සමාජ අසම්මත ක්‍රියා සඳහා පෙළඹවීම් ලබා ඒවාට ගොදුරුවීම.

මෙම ගැටලු ඇතිවීම අවමකර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද?

1. විද්‍යුත් තිරය වෙත දරුවා

යොමුවන කාල සීමාව පාලනය කිරීම. (මේ සඳහා American Academy of Paediatric මඟින් ලබා දී ඇති නිර්දේශ ඉහතින් දක්වා ඇත.)

  • තවද, විද්‍යුත් තිරයක් දෙස බලා සිටිනා පැය 2කට වරක්, ඉන් ඉවත්වී අවම විනාඩි 15 ක කාලයක් ගත කල යුතුවනවා.
  • දවසක් තුල දරුවකු පරිගණකයක් ඉදිරියේ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් ක්‍රියාශීලීව සෙල්ලමින් ගත කරන බවට වගබලාගන්න.
  • පවුලේ ක්‍රියාකරකම් ලෙස, එකට එක්වී චිත්‍රපටි හෝ රූපවාහිනී නැරඹීම වෙනුවට interactive activities මල් පැළ ඉන්ඳවීම, ඉවුම් පිහුම් වැඩ, ගේ දොර පිරිසිඳු කිරීම්, නව නිර්මාණ ඉදිකිරීම ආදියට දරුවා සහභාගී කරවාගන්න.

2. දරුවන් මෙම උපකරණ භාවිතා කරන අවස්ථාවලදී ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට පියවර ගැනීම.

  • සම්පූර්ණ අඳුරක් සහිත කාමරයක සිට රූපවාහිනී නැරඹීම, දුරකථන තිරය දෙස බලා සිටීම නොකල යුතුවනවා.
  • රූපවාහිනිය නැරඹීම සඳහා තිරය හා දරුවා අතර අවම මීටර 4-5 අතර පරතරයක් තබා ගන්න. දරුවා රූපවාහිනියට බොහෝ සමීපයෙන් හිඳගන්නවානම් බොහෝ දුරට ඔහු අක්ශි දෝෂයකින් පෙළෙනවා විය හැකියි. ඒ බව හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන්න.
  • රූපවාහිනිය නරඹන විට එහි තිරය සෑම විටම ඇස් මට්ටම හෝ ඊට මදක් පහලින් තබාගන්න. පහල ස්ථානයක සිට ඉහළින් සවිකර ඇති රූපවාහිනියක් නැරඹීමෙන් ඇස් වඩා වෙහෙස කරවනවා.
  • රූපවාහිනි, පරිගණක තිරයේ දිස්නය / glare එක හැකි තරම් අඩු මට්ට්මේ තබාගන්න. හැකි අවස්ථාවලදී antiglare glasses භාවිතා කරන්න හුරු වන්න.

3. දරුවා එයට යොමු වන කාලය තුල පරිහරණය කෙරෙන ක්‍රීඩා, වීඩියෝ, චිත්‍රපටි, හා වෙනත් වැඩසටහන් වල ගුණාත්මක බව පිළිබඳවද සැලකිලිමත් විය යුතුවනවා.

  • දරුවා අතට පත්වීමට පෙර වීඩීයෝ චිත්‍රපටි ආදිය ඔබ විසින් මුලින් පරීක්ෂා කරන්න.
  • දරුවන් පරිගනක ක්‍රීඩා වැඩසටහන් ආදියෙහි යෙදෙන විට ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන්න.
  • අන්තර්ජාලය භාවිතයට දරුවන්ට අවස්ථාව ලබාදෙනවිට එය දෙමව්පියන්ගේ පාලනය යටතේ සීමාකාරීව සිදුකිරීමට වග බලා ගන්න.
  • දරුවන් මෙම උපකරණ භාවිතා කරන අවස්තාවලදී ඔබ ආසන්නයේ රැඳී සිටිමින් අවධානයෙන් පසුවන්න.

දරුවන් කුඩා අවදියේදී ඇති කරගන්නා පුරුදු, කල් යත්ම ඔවුනගේ ශරීර වර්ධනයට වගේම මානසික හා සමාජමය සෞඛ්‍ය වර්ධනයටද ඍජුවම බලපාන නිසා මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන බව ඔබට අවබෝධ වී ඇතැයි සිතමු. ඉදිරි පරම්පරාවේ නිසි වර්ධනය උදෙසා අප දැන් සිටම කැපවිය යුතු බව සිහි තබා ගනිමු.

මෙවන් කාලීන සෞඛ්‍ය තොරතුරු පිළිබඳව දැනුවත්වීමට අපගේ වෙබ් අඩවිය සමඟ එකතු වන්න
Sign-up for our newsletter/

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments