කුඩා දරුවන් අතර සුලභව දක්නට ලැබෙන සමේ රෝග තත්වයක් වන ස්කේබීස්

සමේ රෝග තත්වයන් කිහිපයක් පිලිබඳවම අපෙන් කරන ලද විමසීම් මෙම ලිපිය තෝරා ගැනීම සඳහා හේතුවුනා. සමේ රෝග තත්වයන් ගැන වැඩි අවදානය යොමුවී තිබෙන්නේකුඩා දරුවන් සිටින දෙමව්පියන්ගෙන් වීම විශේෂයයි. රෝඔග බෝවීමෙ හැකියාව ගැන කුඩා දරුවන් තුළ තිබෙන අනවබෝධය නිසා බොහෝ සමේ රෝග තත්වයන් වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් අතර වඩා පහසුවෙන් පැතිර යෑම මීට හේතුවන බව පැහැදිලියි. අද දින අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ස්කේබීස් ( scabies )තත්වයත් එලෙස පහසුවෙන් බෝවන සමේ රෝග විශේෂයක්. ස්කේබීස් යනු කුමක්ද, එය බෝවන්නේ කෙසේද , ඒ සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද, හා එම තත්වය ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වනවා.

ස්කේබීස් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

කුඩා දරුවන් අතර සුලභව දක්නට ලැබෙන සමේ රෝග තත්වයක් ලෙස ස්කේබීස් හඳුන්වා දිය හැකියි. මේ ආසාදන තත්වය සඳහා හේතුවන්නේ සාකොප්ටීස් ස්කේබීස් (Sarcoptes Scabies ) යන මයිටාවන් (mites) විශේෂයයි.

මෙහි පැතිරීම සිදුවන්නේ කෙසේද?

මෙම මයිටාවන් සමේ මතුපිටින් ඇතුල්වී සම තුලින් විද, කුඩා කුහර (burrows) සාදා ගනී. මෙම මයිටාවන් ඒවා තුල බිත්තර දමන අතර ඒ බිත්තර මඟින් තවත් මයිටාවන් බෝවී, ශරීරයේ අනෙත් කොටස් වලටද පැතිර යාම සිදුවේ.
සාමාන්‍යයෙන් මයිටාවන් ශරීරයට ඇතුල්වී සති 4-6 අතර කාලයක් තුලදී රෝග ලක්ෂණ මතුවීම සිදුවනවා. නමුත් ඔබ ස්කේබීස් රෝගය වරක් පෙර වැලඳී සුවවූ පුද්ගලයකු නම් මීට වඩ අඩු කාලයක් තුලදීම රෝග ලක්ෂණ ඇතිවීම සිදුවනවා.
මෙම රෝගී තත්වය වැලඳුණු පුද්ගලයකු හා සමීප සම්බන්ධතා පැවැත්වීම නිසා මෙය පහසුවෙන් බෝවීමේ අවස්ථාව තිබෙනවා. එමෙන්ම රෝගියෙකුගේ ඇඳ ඇතිරිලි, තුවා, හා අනෙකුත් ඇඳුම් හරහාද මෙම රෝගී තත්වය බෝවීමේ අවධානම ඉහළ යනවා.

scabies-article

 

ස්කේබීස්හී රෝගී ලක්ෂණ මොනවාද?

ස්කේබීස් රෝගයේ මූලික රෝග ලක්ෂණ දෙකකි.

1.අධික ලෙස ඇතිවන කැසීම
මෙය ඇතිවන්නේ මයිටාවන් සමට ඇතුල්වීම නිසා, ඔවුන්ට, ඔවුන්ගේ බිත්තර හා අපද්‍රව්‍ය වලට ශරීරය විසින් දක්වන අසාතමිකතා ප්‍රතික්‍රියාවක් (allergic reaction) ලෙසයි. මෙය බොහෝවිට රාත්‍රියේ වඩාත් සුලභ වනවා.

2. සම මතුපිට ඇතිවන බිබිලි දැමීම

මයිටාවන් විසින් ශරීරයට ඇතුල්වූ ස්ථාන වල මෙම වෙනස්වීම දක්නට ලැබෙනවා. මතුපිටින් පලු දමා සම ඉහලට ඉස්සීම වැනි ස්වභාවයක් සහ ඇතුලතින් සම හෑරී කුහර ඇතිවීමේ ස්වභාවයක් මෙහිදී දක්නට. මෙම තත්වය වඩාත් සුලභව දක්නට ලැබෙන්නේ ශරීරයේ සම හැකිලුනු හා රැළිවූ ස්ථාන වලයි.

  • දෑතේ හා පාද වල ඇඟිලි කරු අතර
  • මැනික් කටුව හා වැලමිට සන්ධිවල ඇතුලත
  • කිහිලි අතර
  • පියයුරු වල යටි පැත්ත
  • උරහිස් තල
  • ඉණ වටය
  • ඉකිලි හා ලිංගේන්ද්‍ර ආශ්‍රිත ප්‍රදේශය
  • දණහිස් සන්ධියේ ඇතුලත
  • පාදයේ වටය

සාමාන්‍යයෙන් වැඩිහිටියන්ගේ මුහුණ, හා හිස්කබල, අත්ල හා පාදවල යටි පැත්තේ මෙම ආසාදනයට ලක්වීම සිදුවන්නේ නැහැ. නමුත් කුඩා දරුවන්ට රෝගය බෝවීමේදී මෙම ප්‍රදේශ වලද සම ආසාදනයට ලක්වීම දක්නට හැකියි.

ස්කේබීස් පැතිරීම මැඩපවත්වා ගන්නේ කෙසේද?

ආසාදිත පුද්ගලයකුගේ සම හරහා රෝගකාරක මයිටාවන් තවත් පුද්ගලයෙකුට බෝවීම පහසුවෙන් සිදුවිය හැකියි ප්‍රතිකාර ලබා ගැනීමට අමතරව, එම සතුන්ගෙන් ආසාදනය වී තිබිය හැකි ඇඳ ඇතිරිලි, තුවා, හා භාවිතා කරන ඇඳුම් පැළඳුම් ආදිය, උණු වතුරෙන් සෝදා වේලා ගැනීම සිදුකල යුතුවනවා. ඖෂධීය ප්‍රතිකාර ආරම්භ කිරීමට දින තුන්කට ප්‍රථමයේ සිටම භාවිතා කරන ලද ද්‍රව්‍ය මෙලෙස පිරිසිඳු කරගැනීම වඩාත් සුදුසු වනවා.
එසේ පිරිසිඳු කරගත නොහැකි , නමුත් ආසාදනය වී ඇතැයි සිතිය හැකි අනෙකුත් භාණ්ඩ, ඒවාට වාතාශ්‍රය නොලැබෙන පරිදි පොලිතීන් හෝ ප්ලාස්ටික් මඟින් තදින් ආවරණය කර තැබීමෙන්, ඒවායේ සිටින මයිටාවන් විනාශ කර දැමීමට හැකියාව ලැබෙනවා.

ස්කේබීස් සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවද?

මේ සඳහා බහුලවම පර්මෙත්‍රීන් (permethrin) අඩංගු ඖෂධ භාවිත කරනු ලබනවා. මීට අමතරව වෙනස් රසායනික සංයෝග භාවිතා කෙරෙන අවස්ථාද දැක ගත හැකිවනවා. රෝගී තත්වයේ තීව්‍රතාව අනුව ඔබගේ වෛද්‍යවරයා විසින් භාවිත කෙරෙන ඖෂධ වර්ගය තීරණය කෙරෙනු ඇති. මෙහිදී වැදගත් වන්නේ මෙම ඖෂධ භාවිතා කරන ආකාරයයි. සාමාන්‍යයෙන්, ගෙලෙන් පහල සම්පූර්ණ ශරීරයේම මෙම ඖෂධ ගැල්විය යුතු අතර, පැය 8ක පමණ කාලයක් ගල්වා තැබිය යුතුවනවා. මෙය වඩාත් සාර්ථකව සිදු කරගැනීම සඳහා රාත්‍රී නින්දට පෙර ඖෂධ ගැල්වීම සිදුකොට උදයේදී සෝදා හැරීම සිදු කල හැකිවනවා.
ප්‍රතිකාරයෙන් පසුත් සති කිහිපයක් (2-4 අතර) පමණ වනතුරු ශරීරය කැසීමේ රෝග ලක්ෂණය පැවතිය හැකියි. ඊටත් වඩා කල් එය පවතින්නේනම් හෝ ප්‍රතිකාර වලින් පසුවත්, අලුතින් සමේ ආසදිත ප්‍රදේශ ඇතිවන්නේනම් නැවත වරක් ප්‍රතිකාරය ලබා ගැනීම සුදුසු වනවා.

ඖෂධ භාවිතය සමඟම ඉහත සඳහන් කල පරිදි, රෝගකාරකය පැතිරීම වලක්වාගැනීම සඳහා වන අනෙකුත් උපදෙස්ද පිළිපැදීම, රෝග නිවාරණය සඳහා අනිවාර්යය වනු ලබනවා.
තවද, රෝග ලක්ෂණ නොමැතිව වුවත් ආසාදිත පුද්ගලයාගේ පවුලේ සෑම දෙනාමත්, සමීප සම්බන්ධතා පවත්වන අනෙකුත් පුද්ගලයනුත් මෙම ප්‍රතිකාරය ලබාගත යුතු බව වෛද්‍ය මතය වනවා. මෙසේ සිදු කිරීම තුළින් රෝගය නිට්ටාවට සුව කරගැනීමේ අවස්ථාව උදාවනු ඇති.

මයිටාවන් විනාශ කිරීමට අමතරව ආසාදිත රෝගියාගේ සමෙවහි ඇතිවී තිබෙන අසාත්මිකතාවයට ප්‍රතිකාර ලෙස සම සිසිල් කරන ක්‍රීම් වර්ග භාවිතය හා, අසාත්මික ප්‍රතික්‍රියාව අඩු කිරීම සඳහා වන ඖෂධ (antihistamines) ලබාදීමද සිදු කල යුතු වනවා.

ස්කේබීස් රෝගයේ සංකූලතා මොනවාද?

දරාගැනීමට අපහසු තරමට වන අසාතමික ප්‍රතික්‍රියාව නිසා බොහෝ රෝගීන් සම මතුපිට තුවාල අතිවන තරමටම ආසාදිත ප්‍රදේශ කැසීම සිදු කරනවා. මෙවන් අවස්ථාවලදී එම තුවාල බැක්ටීරියාවන් මඟින් ආසාදනය වීම නිසා වෙනත් හානිකාරක සමේ රෝග තත්ව දක්වා වර්ධනය වීම සිදුවිය හැකියි.

තවද මෙම රෝගී තත්වයේ වඩාත් බරපතල ගණයක් වන crusted scabies නම් තත්වයේදී, සමේ පොතු ගැලවී යාම හා වඩාත් විශාල වූ ශරීර ප්‍රදේශයක පැතිරී යාමත් , පහසුවෙන් සුව නොවීමත් යන ලක්ෂණ දක්නට හැකිවනවා.

ස්කේබීස් මෙන්ම අනෙකුත් බෝවන සමේ රෝග ඔබට හෝ ඔබගේ සමීපතයෙකුට වැලඳී ඇතිනම්, පාසලේදී කාර්යාලයේදී , හෝ පොදු ප්‍රවාහන සේවයකදී එය තවත් කෙනෙකුට බෝවීමට ඇති අවදානම ඔබ හඳුනාගත යුතු වන අතර, ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමත්, රෝගය සුව වන තෙක් ආසාදනය පැතරවීමෙන් වැලකී සිටීමත් ඔබගේ සමාජයීමය යුතුකමක් හා වගකීමක් බව අවබෝධ කරගත යුතුවනවා. එවැනි රෝග විශේෂ කිහිපයක් පිළිබඳවත්, ඒවා බෝවන ආකාර හා බෝවීම වලක්වා ගන්නා විධි පිළිබඳවත් අපි තවත් ලිපි කිහිපයකින් සාකච්ඡා කරමු. ඔබට ඇති සෞඛ්‍ය ගැටලු පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගැනීමට askmydoctor.lk වෙත යොමුවන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments