දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර​ (පූර්ව ගර්භණී සුදානම​)

before-preg-articleඔබ සහ ඔබේ සහකරු දරුවෙකු පිළිබඳ සිහින මවනවා විය හැකි​නමුත්, ගැබ් ගැනීමකට ඔබගේ මානසික සූදානම මෙන්ම ශාරීරික සුදානමද අත්‍යාවශ්‍ය බව ඔබ තවමත් වටහාගෙන නොමැතිවනවා විය හැකියි. එමනිසා පිළිසිඳගැනීමකට ප්‍රථම ඔබගේ සැලකිල්ල යොමුවිය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය තුලින් සාකච්ඡා කෙරෙනු ඇත.

නිරෝගී දරු උපතක් බලා පොරොත්තු වන ඔබ ගැබ් ගැනීමකට පෙර ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව උපදෙස් ගැනීම සිදු කළ යුතු වනවා.​ ඔබ වයස 30 ත් 40 ත් අතර පසු වන්නේ නම් හෝ නිදන් ගත රෝගාබාධ හෝ වෙනත් විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින්නේ නම් එසේ උපදෙස් ගැනීම අත්‍යාවශ්‍ය බව මතක තබා ගන්න.

එහිදී පහත ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඔබගේත්, ඉපදීමට සිටින දරුවාගේත් සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටහේතු වනවා ඇති.

ඔබ භාවිතා කරන උපත්පාලන ක්‍රමය

ඔබ කුමන වර්ගයේ උපත් පාලන පෙති වර්ගයක් භාවිතා කළ ද ඒවා නතරකිරීමෙන් පසුව නැවත ඔසප් වීම සති දෙකක පමණ කාලයක් පමා වනු ඇත​.දරුවෙක් පිළිසිඳ ගැනීමට පෙර අවම වශයෙන් එක් සාමාන්‍ය ලෙස සිදුවන ඔසප් වීමක් හෝ සිදු වීමට ඉඩදෙන්නට වග බලාගන්න​. යම් හෙයකින් ඔබට පිළිසිඳ ගැනීමට සඳහා තවත් පමා විය යුතුයැයි ඔබට හැඟෙන්නේනම්, එම කාලය තුළ උපත් පාලන කොපු භාවිතා කරන්න​.තවද ඔබ එන්නත් වැනි දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්නේ නම් ගැබ් ගැනීම මඳක් පමා විය හැකිය​. එවැනි අයගෙන් 50% පමණ ප්‍රමාණයක් ගැබ් ගැනීම මාස හයකට හෝ හතකට පසුව සිදු වීම සාමාන්‍ය ලෙස සැලකිය හැකිවනවා.

ප්‍රතිශක්තීකරණ එන්නත්

පැපොල සහ ජර්මන් සරම්ප වැනි රෝග ඉපදීමට සිටින දරුවාට ඍජු බලපෑමක් එල්ල කරනු ලබන රෝගවනවා.යම් හෙයකින් එම ප්‍රතිශක්තිකරණ එන්නත් නිසි ලෙස ලබා ගෙන ඇද්දැයි හෝ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඔබ තුළ ඇත් දැයි බැලීමට රුධිරපරීක්‍ෂාවන් සිදු කර ගන්න​. ඒ සඳහා ගැබ් ගැනීමට පෙර අවම වශයෙන් මසක පමණවත් කාලයකට පෙර යොමුවන්න​. එම පරීක්ෂා වලින් පසුව එම ප්‍රතිශක්තිකරය ඔබ සතුව නොමැතිනම්, ගැබ් ගැනීමට ප්‍රථම එම එන්නත් ලබාගන්න.

නිදන් ගත රෝග​

ඔබ තරබාරු නම් හෝ දියවැඩියාව ,ඇදුම , අධිරුධිර පීඩනය, වලිප්පුව, තයිරොයිඩ් ග්‍ර්‍රන්ථි ආශ්‍රිත රෝග, හෘද රෝග, වැනි නිදන් ගත රෝග වලින් පෙලෙන්නේ නම් හෝ ඒ සඳහා වැඩි අවදානමක් සහිත කෙනෙක් නම්, පිළිසිඳ ගැනීමට පෙර එම රෝග පාලනය කර ගැනීමට අවශ්‍ය ඖෂධ ලබාගන්න​. ඔබ දැනටමත් ඖෂධ භාවිතා කරන්නේනම් ඒ පිලිබඳව ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. අදාළ ඖෂධයේ මාත්‍රාවන් වෙනස් කිරීමට, වෙනත් ආදේශක භාවිතා කිරීමට හෝ ඇතැම් විට සම්පූර්ණයෙන් නතර කිරීමටද ඔබට උපදෙස් ලැබෙනු ඇත​. තවද විශේෂ තත්වයන් කෙරෙහි පිළිපැදියයුතු උපදෙස් ලබා දීමද, ඒ ඒ රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරවීමද මෙහිදී සිදු කරනු ඇත​.

ඔබ ලබා ගන්නා පෝෂණ අතිරේක​

ඔබ ලබා ගන්නා පෝෂණ අතිරේක පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න​.ඒ අනුව ඒවාවල මාත්‍රව වෙනස් කිරීමට හෝ ආදේශන ලබාදීම සිදු කෙරෙනු ඇත .එ මෙන්ම ගර්භනී සමයට ගත යුතු පෝෂක ( ෆෝලික් අම්ලය, කැලිසියම, යකඩ ආදිය ) ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ද සිදු කළ යුතුය. දරුවාගේ මොළය සහ සුෂුම්නාවේ වර්ධනය ගැබ් ගැනීමෙන් පසු පළමු මාසයේම ආරම්භ වන අතර ඒ පිළිබඳව නොදැනුවත්බව නිසාම ඒ කෙරෙහි ඔබේ වැඩි සැලකිල්ලක් යොමු නොවීමට වැඩි ඉඩකඩක් ඇත​.එමනිසා මොලයේ වර්ධනයටඅදාළ පෝෂක වර්ග ( ෆෝලික් අම්ලය ) ලබා ගැනීම, ගැබ්ගැනීමට ප්‍රථමයේ සිටම භාවිතා කිරීම වඩාත් සුදුසු වනවා.

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග​

ගොනෝරියා ,සිපිලිස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැබ් ගැනීමකට බාධාවක් විය හැකිය​.මෙවැනි රෝග මවගේ මෙන්ම ගර්භනී කාලය තුළ දරුවාට ද අවධානමක් ඇති කරනු ලබයි.ඔබට හෝ ඔබේ සහකරුට ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ රෝගයක් වැළඳී තිබීමේ අවධානමක් පවතියි නම් ඒ පිළිබඳව උපදෙස් සහ ප්‍රතිකාර සඳහා ඔබගේ වෛද්‍යවරයා හරහා ගැබ්ගැනීමට ප්‍රථමයෙන් යොමු වන්න​

පාරම්පරික රෝග​

ඔබගේ හෝ ඔබේ සහකරුගේ පවුල්වල පැවැතිය හැකි පාරම්පරික රෝග (හෘද වස්තුව ආශ්‍රිත, හා රුධිරගත රෝග) ලැබෙන්නට යන දරුවාට බලපෑමක් ඇති කළ හැකි බැවින් එවැනි රෝගාබාධයන් පවතී නම් ඒ බව වෛද්‍යවරයාට හෙළි කොට උපදෙස් ලබා ගැනීමට විශේෂ අවධානයක්‍ යොමු කරන්න​. ජානමය සම්ප්‍රේෂණයක් ඇති රෝග,ඔබට වැලඳී නැතැත්, ඔබගේ පරම්පරාවේ ඉහල පුරුක් වල දක්නට තිබේනම්, ඔබගේ නිලීන ජාන ඔස්සේ ඔබේ දරුවාට සම්ප්‍රේෂණය වීම සිදුවිය හැකියි.

ඔබගේ සහ ඔබේ සහකරුගේ වයස​

සාමාන්‍යයෙන් ගර්භනීභාවය සඳහා සුදුසු වයස් කාලය ඉක්මවා යෑමත් සමඟම මඳ සරුබව, ගැබ් නොගැනීම සහ වෙනත් සංකූලතා ඇතිවීමේ හැකියාව වැඩිවේ.​.ගර්භනී භාවය සමඟ ඇතිවන වෙනත් රෝග තත්වයන්ද, දරුවන්ට ඇතිවිය හැකි ආබාද තත්වයන්ද වයස්ගතව ගැබ් ගන්නා මව්වරුන් තුළ බහුලව දැකිය හැකිය​. එමෙන් ම ඔබේ සහකරුගේ වයස ද මේ සඳහා බලපෑමක් එල්ල කරනු ලබයි.එමනිසා ඔබගේ වෛද්‍යවරයා මේ කරුණු ද සැලකිල්ලට ගෙන අදාළ උපදෙස් ලබා දෙනු ඇත​.

පෙර ගැබ් ගැනීම්

ඔබගේ පෙර ගැබ් ගැනීම් තිබී ඇතනම් සහ ඒවා වලදී ඇති වූ සංකූලතා පිළිබඳව ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න​,පෙර ගැබ් ගැනීම්වලදී ඇති වූ සංකූලතා මත ෆොලික් අම්ල අධිමාත්‍රාවන් සහිතව නියමකිරීමට පුලුවන්. තවද අඩු සති ගණනකින් ගර්භණබව නිමාවුණිනම්, ඒ සඳහා විශේෂ හේතුවක් තිබුණිද යන්න සොයාබලා, ඒ සඳහා සුදුසු ප්‍රතිකරම යෙදීමද සිදුකෙරෙනු ඇත. ඔබහට ගැබ් ගැනීමක් පිළිබඳව යම් බියක් පවතිනේ නම් ඒ පිළිබඳව ද ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න​.එවිට ඒ පිළිබඳව මනා අවධානය යොමු කොට එම තත්ව දුරලීමට කටයුතු කරනු ඇත​

ඔබගේ වර්තමාන ජීවන රටාව​

සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වාගෙන යැම ගැබ් ගැනීමකට සුදානම් වීමේදී අත්‍යාවශ්‍ය වනවා.සමබර පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීම​,ව්‍යායාම සහ ආතතිය කලකමණාකරණය මෙහිදී විශේෂවනවා.ඒ පිළිබඳව උපදෙස් වෛද්‍යවරයාගෙන් ඔබට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පැකිලෙන්නට එපා. නිසි බරක් පවත්වා ගෙන යෑම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න​.ඔබ මත් පැන් පානයට පුරුදුවී ඇත්නම් එය අත හළ යුතු අතර ඔබ දුම් පානය කරන්නෙක් නම් එයද ක්‍රමානුකූලව අත් හළයුතුවනවා.

දරුවකු ලැබීම කාන්තාවගේ පමණක් වන වගකීමක් නොවන නිසාමත්, ගර්භණී කාලය තුලදී කාන්තාවගේ කායික මානසික හා සමාජයයීය සෞඛ්‍ය යහපත් මට්ටමක පවත්වා ගැනීම, කලළය වර්ධනයට වගේම උපතින් පසුව දරුවාගේ යහපත් සෞඛ්‍ය ඳහාද හේතුවනු නොඅනුමානය. මේ කාලය තුල, මේ ඓයලු කාරණා පිලිබඳව ඔබේ සහකරුද දැනුවත්වී සිටීම දෙදෙනාටම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එම නිසා වෛද්‍යවරයා හමුවීමට යන අවස්ථාවලට ඔහිඋවද එක්කර ගැනීමට උනන්දුවන්න, උත්සහ කරන්න​.ඔබගේ මෙන්ම ඔහුගේ ද ජීවන රටාව සහ සෞඛ්‍යය දරුවා කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇත​.

දරුවකු පිළිසිඳගැනීමට ප්‍රථමයෙන්, ඔබගේ සැළකිල්ල යොමුවිය යුතු කරුණු කිහිපය පිලිබඳව ඔබට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමු. දරුවකු බලාපොරොත්තුවෙන් සිටින නව යුවල කිහිපයක් මෙන්ම, තම පවුලට තව දරුවන් එක කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින දෙමව්පියන් කිහිප දෙනෙකුගෙන්ම අප හට යොමු වුණු ගැටලු, මෙම ලිපිය ඉදිරිපත් කිරීමට හේතුවුණා. ඔබටත් ඇති එවන් සෞඛ්‍ය සම්බන්ධ ගැටලු පිලිබඳව අප දැනුවත් කිරීමට askmydoctor .lk හරහා අපහා සම්බන්ධ වන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments