ගර්භණී සමය තුළ රුධිර වහනය වීම

bleeding-preg-ගර්භණී සමය තුළදී යෝනි මාර්ගය ඔස්සේ රුධිරය වහනය වීම සාමන්‍ය තත්වයක් ලෙස සැලකීමට හැකිවන්නේ නැහැ, නමුත් හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් නිසා රුධිර නාල ප්‍රසාරණය වී සියුම් රුධිර වහනයන් ඇතිවීම සාමන්‍ය සිදුවීමක්, මීට අමතරව ගර්භණී සමයේ දෙවැනි හා තුන්වැනි මාස තුල, යෝනි මාර්ගය ඔස්සේ පරික්ෂා සිදුකිරීම හා ලිංගිකව එක්වීමේදී ඇතිවන සියුම් තුවාල තුලින් රුධිර වහනයන් ඇතිවිමටද පුළුවන්. නමුත් මෙහිදී ඇතිවන වහනයන් ඉතා කුඩා ප්‍රමාණ වලින් ඇතිවන නිසා බොහෝවිට රෝස පැහැ කුඩා පැල්ලම් ලෙස දක්නට ලැබෙන අතර ඒවා සාමන්‍ය තත්වයන් වනවා.

වඩා සැලකිලිමත් විය යුතු අවස්ථා

ඉහත තත්වයන්ට අමතරව, ගර්භණි සමය තුල ඇතිවන රුධිර වහනයන් පිළිබඳව ඔබ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අවස්ථා:

  • ගබ්සා වීම
  • ගර්භාෂයෙන් පිටත සිදුවන පිළිසිඳ ගැනීම
  • වැදෑමහ පිහිටීම ආශ්‍රිත ගැටලු හෙවත් (placenta abnormalities)

ඉහත තත්වයන් වලදී මුලික ලක්ෂණය වනුයේ යෝනි මාර්ගයේ ඇතිවන රුධිර වහනයයි.

මේම තත්වයන් රුධිර පැල්ලම් වලින් වෙන් කරගන්නට දායක වන තවත් සාධක තිබෙනවා.

  • බොහෝවිට මෙම තත්ත්වයන්හීදී ඇතිවන රුධිර වහනය, ප්‍රමාණාත්මකව ඉතා ඉහළ වනවා. සනීපාරක්‍ෂක තුවායක් තෙත්වීමට තරම් හේතුවන රුධිර වහනයක් පැයක් වැනි කාලයක් තුල තිබෙනවනවානම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම සිදුකල යුතු වනවා.
  • රුධිරයට අමතරව, අළු, දුඹුරු හෝ රෝස පැහැ කැටති පිටවීමත් සිදුවේනම්, වෛද්‍ය සහය පැතීම අනිවාර්ය වනවා. බොහෝවිට මෙය ගබ්සා තත්වයක් විය හැකිවනවා.

ගර්භණී සමය තුල උදර වේදනා හෝ අපහසුතාවයන් ඇතිවීම සාමන්‍ය ලෙස සැලකුවද, ඉසිලිය නොහැකි තරම් වූ උදර හා යටි බඩ වේදනාවක් සමගින් අධික රුධිර වහනයක් සිදුවනවානම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වනවා. ගර්භාෂයෙන් පිටත සංසේචිත ඩිම්බ ස්ථාපනය වී කළලයන් ඇතිවීමේදී මෙම තත්වය වඩාත් සුලභව දක්නට ලැබෙනවා.

මීට අමතරව වේදනාවකින් තොරව වුවද නිතර නිතර පැල්ලමකට වඩා වූ රුධිර වහනයක් ඇතිවීමක් තිබේනම් ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉක්මණින් කල යුතු වනවා. එතෙක් ශරීරය වෙහෙසකාරි නොවන අයුරින් විවේකි සුවයෙන් සිටීම සිදුකල යුතු වනවා.

මෙවැනි ලක්ෂණයක් සාමාන්‍යයෙන් ඇතිවන්නේ වැදෑමහ ගර්භාෂය තුල පිහිටා ඇති ආකාරය අසාමන්‍ය ස්භාවයක් ගැනීම හේතුවෙනි. එය නිවැරදිව නිශ්චය කරගත හැකිවනුයේ ගර්භණි සමයේ මාස 3-4 කාලයක් ගතවීමෙන් පසුවයි.

මෙවැනි අවස්ථාවලදී ප්‍රසුතිය ප්‍රමාද කරවන ඖෂධ වර්ග ලබාදම, වහනය වන රුධිරයට ගැලපෙන පරිදි රුධිරය ලබාදීම වගේම, විවේකි සුවයද එක් ප්‍රතිකාර ක්‍රමයක් වනවා. හදිසි සිසේරියන් සැත්කම් සඳහා යොමුවීමද, යම් විටෙක මෙම තත්වයන් යටතේ සලකා බැලීම සිදුවනවා.

මවගේ පටන්ම ලැබෙන්නට සිටින දරුවගේද ජිවිත අවදානම අවම කරගැනීමටත්, සෞඛ්‍යමය වශයෙන් නිරෝගී දරු උපතක් වෙත යොමුවීම සඳහාත්, මෙවැනි අවස්ථා හඳුනාගෙන, නිසි ප්‍රතිකාර ලබාගැනිම ඉතා වැදගත් වනවා.

රුධිර වහනයන් ඇතිවන අවස්ථා හා ඒ එක් එක් අවස්ථාවලට හේතුවන සාධක පිළිබඳවත්, රුධිර වහනයේ ලක්ෂණ අනුව එම අවස්ථා වෙන්කර හඳුනාගන්නේ කෙසේද යන්න ගැන වගේම, ප්‍රතිකාර විශේෂ පිළිබඳවත් අපි තවත් ලිපියකින් සාකච්ඡා කරමු.

සෞඛ්‍යමය වශයෙන් වැදගත් වන මෙවැනි තොරතුරු පිලිබඳව වැඩිදුර කියවීමට එකතුවන්න අපේ askmydoctor.lk facebook පිටුව වෙත.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments