ගර්භාෂයෙන් පිටත ඇතිවන ගැබ්ගැනීම් (ectopic pregnancies)

ectopic-preg-article අපගේ පාඨකයෙකු විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලිපිය ඔබ වෙත ඉදිරිපත් කෙරෙනවා. කාන්තාවන්ට ඉතා වැදගත් මාතෘකාවක් ලෙසත්, බොහෝ දෙනෙක් හට මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසා ජීවිත අවදානම් පවා ඇතිවන තත්වයක් නිසාත් මේ ගැන පුළුල් විස්තරයක් ලබාදීමට මෙම ලිපිය හරහා අපි බලාපොරොත්තු වනවා. ගර්භාෂයෙන් පිටත ඇතිවන ගැබ් ගැනීම් අසාමාන්‍ය තත්වයක් වන අතර මේ පිලිබඳව තේරුම් ගැනීමට නම්, සාමාන්‍ය ගැබ්ගැනීමකදී ඇතිවන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් තිබීම වැදගත්වනවා.

සාමාන්‍ය ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද?

මාසික ඔසප් චක්‍රයේ මැද දිනෙක (14 වන දින) එක් ඩිම්බකෝශයක් මඟින් මේරු ඩිම්බයක් නිකුත් කිරීම සිදු කෙරෙනවා.
මෙලෙස නිදහස්වන ඩිම්බය, ඉන්පසු ඇතුල්වන්නේ පැලෝපීය නාල තුලටයි. සාමාන්‍යයෙන් දින 2-3 පමණ කාලයක් එම ඩිම්බ පැලෝපීය නාල තුල පවතිනවා.. එවන් අවස්තාවකදී ශුක්‍රාණුවක් ඒ හා සම්බන්ධවීම නිසා සංසේචනයක් සිදුවනවා. මෙලෙස සසේචනය වූ ඩිම්භය දින 3-4 පමණ කාලයක් තුලදී ක්‍රම ක්‍රමයෙන් පැලෝපිය නාලය ඔස්සේ ගමන් කර ගර්භාෂය වෙත පිවිසෙනවා. ඉන්පසු එය ගර්භාෂ බිත්ති තුලට අවශෝෂණයවී ක්‍රමයෙන් වැඩීම ඇරඹෙනවා.

ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීමක් ඇතිවන්නේ කෙසේද?

ඩිම්බකෝශයෙන් පිටවූ ඩිම්භයක්, සංසේචනයෙන් පසු ගර්භාෂය වෙත නොපැමිණීව, වෙනත් යම් ස්ථානයක වැඩීම ඇරඹීම මෙයට හේතුවනවා.
මෙවැනි අවස්ථාවන්ගෙන් 98% කදී පමණම සංසේචිත ඩිම්භයේ වර්ධනය සිදුවන්නේ පැලෝපීය නාලය තුලමයි. මීට අමතරව, ගැබ්ගැනීම ඇතිවිය හැකි අනෙකුත් ස්ථාන වන්නේ,

  1. ඩිම්බකෝශ තුල.
  2. උදර කුහරය තුල.
  3. ගර්භාෂයේ පහතින්ම, ගැබ්ගෙලට ආසන්නව.
  4. පැලෝපීය නාල ගර්භාෂයට සම්බන්ධ වන ගර්භාෂයේ ඉහලම කොටස ආදියයි.

ඩිම්බකෝශ වලින් නිදහස් නොවූ ඩිම්බයක් සංසේචනය නිසා කෝෂ තුලදීත්, පැලෝපීය නාලවල ඇති යම් දුර්වල ස්ථානයක් තුලින් උදර කුහරයට වැටීම නිසා ඒ තුලදීත් මෙම කළල වර්දනය ඇතිවිය හැකියි. තවද, පැලෝපිය නාලවල සිට ගර්භාෂය වෙත ගමන් කිරීමේදී ඇතිවන බාධාවන් නිසා ගර්භාෂයේ ඉහලම කොටසේත්, සංසේචිත ඩිම්බය ගර්භාෂ බිත්ති වලට අවශෝෂණය වීමේ දුර්වලතාවක් නිසා, නිසි පරිදි ස්ථානගත නොවී ගැබ්ගෙල ආසන්නයේ කළල වර්දනයවීමත් ectopic තත්වයක් ලෙස සැලකෙනවා.

ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් වලට හේතු මොනවාද?

පැලෝපීය නාල තුල ඇති දුර්වලතා මීට මූලික වනවා.

  • උදරය ආශ්‍රිත ශල්‍යකර්ම වලදී තුවාල වීම් ඇතීවීම.
  • ගොනෝරියා , ක්ලැමේඩියා වැනි රෝගකාරක මඟින් ඇතිකරවන අභ්‍යන්තර ලිංගික අවයව ආශ්‍රිත ආසාදන තත්ව (pelvic inflammatory disease) නිසා නාලය තුල ඩිම්බ ගමනාගමනයට ඇති නිදහස් ඉඩ අවහිර වීම
  • ස්ථිර උපත් පාලන ක්‍රමයක් ලෙස පැලෝපීය නාල ගැට ගැසීමේ ශල්‍යකර්මය ( tubal ligation) හෝ එම ශල්‍යකර්මය ප්‍රතිවර්ත කිරීම ( reversing of tubal ligation ) සිදුකිරීම නිසාත් පැලෝපීය නාල තුල ගැබ්ගැනීම සිදුවීමේ අවධානමක් ඇතිවනවා.
  • පෙර ඇතිවු නාල තුල ගැබ්ගැනීම් (tubala pregnancy) නිසා නාල තුවාල වී, නැවතත් එවැනි ගැබ්ගැනීමකට ඇති අවධානම ඉහල යනවා.

ඉහත යම් හේතුවක් නිසා පැලෝපීය නාල තුවාල වී තිබුණහොත්, ඒ තුලින් සංසේචිත ඩිම්බය උදර කුහරය තුලට යොමුවී ඒතුල වර්ධනය වීම සිදුවිය හැකියි.

තවද, සමහර අවස්ථාවල ගර්භාෂය තුල කලලය වර්ධනය වූවත් එහි ස්ථානගතවීම අනුව ectopic වර්ගයේ ගැබ් ගැනීමක් ලෙස සලකනු ල්බනවා. සාමාන්‍යයෙන් කලල වර්ධනය සිදුවන්නේ ගර්භාෂයේ පසුපස බිත්තියේ ඉහල කොටසේයි. පැලෝපීය නාල ගර්භාෂයට සම්බන්ධ වන ස්ථාන හා ගැබ්ගෙලට ආසන්නව ගර්භාෂයේ පහලින්ම සිදුවන ගැබ්ගැනීම් ද සැලකෙන්නේ ectopic ගණයටයි. උපතින්ම ගර්භාෂයේ ඇති අසාමාන්‍ය පිහිටීම් මීට එකහේතුවක් වනවා. තවද උපත් පාලනය සඳහා ලූප් ( intra uterine contraceptive device / IUCD ) භාවිතා කරමින් සිටියදී කලාතුරකින් සිදුවන ගැබ්ගැනීමකදීද මේ ආකාරයේ ectopic ගැබ්ගැනීම් සිදුවනවා. තවද, කෘතිම සංසේචන ක්‍රම මඟින් සිදුවන ගැබ් ගැනීම් වලදීද මේ සඳහා වන අවදානම ඉහල යනවා.

ගර්භාෂයෙන් පිටත් ඇතිවන ගැබ් ගැනීමක මූලික රෝගී ලක්ෂණ

මෙම තත්වයට අදාල රෝගී ලක්ෂණ පහලවීම සිදුවන්නේ ගැබ් ගැනීමෙන් පළමු සති කිහිපය තුලදීමයි. බොහෝ කාන්තාවන් මේ වනවිටදී ගැබ් ගැනීමක් සිදුවී ඇතිදැයි හෝ නොදැන සිටින අවස්ථා බහුල වන අතර, මේ නිසාම නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම නිසා බරපතල තත්වයන්ට මුහුණදීමට සිදුවනවා. තවත් විටෙක ගර්භණී බව දැන සිටියත්, ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුවී නොතිබීම නිසා, මෙම තත්වය හඳුනාගැනීම මඟහැරී යාම සිදුවිය හැකියි.

  • උදරයේ වේදනාව. (බොහෝවිට මෙය උදරයේ පහල ප්‍රදේශයේ ඇතිවන අතර එක් පැත්තකට පමණක් සීමා වනවා)
  • යෝනි මාර්ගය හරහා ඇතිවන සියුම් ලේ ගැලීම.
  • ඇඟට පණ නැති ස්වභාවය හා ක්ලාන්ත ගතිය.

ආදී ලක්ෂණ මෙහි මූලික අවධියේ පෙන්නුම් කෙරෙන ලක්ෂණ වනවා. නමුත්, යම්හෙයකින් පැලෝපීය නාල තුවාල වීමක් හා ලේ ගැලීමක් සිදුවුවහොත්,

  • ඉතා තද උදර වේදනාවක්
  • දැඩි රුධිර වහනයක්,
  • උරහිස් ආශ්‍රිත වේදනාවක් හෝ ගුදමාර්ගය ආශ්‍රිත වේදනාව( මෙහිදී උදරය තුල රුධිරය එක් රැස් වන ස්ථාන ආශ්‍රිතව ඇති ස්නායු උත්තේජනය වීම නිසා මේ තත්වය ඇතිවනවා.)
    මෙවැනි රෝගී ලක්ෂණ හඳුනාගත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් මෙමගින් ඇතිවිය හැකි බරපතල තත්වයන් හා ජීවිත අවදානම අවම කර ගත හැකිවනු ඇත.

මෙම තත්වය හඳුනාගැනීම සිදු කරන්නේ කෙසේද?

බොහෝ අවස්ථාවල සාමාන්‍ය ultrasound scan පරීක්ෂණයක් මඟින් මෙය තහවුරු කරගැනීමට හැකියාව තිබෙනවා. මෙය ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබගේ රෝග ලක්ෂණ අනිව තීරණය කෙරෙණු ඇති.

මේ සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

  1. ඉතා මුල් අවදියේදීම තහවුරු කර හඳුනාගත හොත්, කලළ වර්ධනය මැඩපවත්වා, එම සෛල, පැලෝපීය නාල තුලට අවශෝෂණය කරගැනීම සිදුකෙරෙන ඖෂධ (methotraxate) භාවිතා කිරීම සිදුකරනු ලබනවා. (මෙහිදී මෙම ක්‍රියාවලිය නිසි පරිදි සිදුවනවාද නැද්ද යන්න නිශ්චිත කරගැනීමට, ගර්භණී සමයේදී ඉහල යන beta HCG හෝමෝනයේ රුධිර මට්ටම් භාවිතා කෙරෙනවා. සාමාන්‍ය ගැබ්ගැනීමකදී මෙම මට්ටම් ක්‍රම ක්‍රමයෙන් ඉහල යන නිසා, ඖෂධ භාවිතයෙන් ගර්භණී තත්වය ක්‍රමයෙන් හැරවීමකට ලක්වීම සිදුවනවානම්, මෙම මට්ටම ක්‍රමයෙන් අඩුවිය යුතුය යන සිද්ධාන්තය මෙහිදී භාවිතා කෙරෙනවා.)
  2. තරමක් දුරට වර්ධනය වූ ගැබ්ගැනීම් සඳහා ශල්‍යකර්මය මඟින් ප්‍රතිකාර කිරීම සිදුකෙරෙනවා.
    • රුධිර වහනයක් සිදුවී නොමැති, පැලෝපීය නාලවලට හානියක් සිදුවී නොමැති අවස්ථාවලදී laperoscopy ශල්‍යකර්මයක් ( උදරය මත සකසන ලද සියුම් සිදුරක් තුලින් ඇතුල් කෙරෙන කැමරාවකින් නිරීක්ෂණය කරමින්, තවත් සිදුරු කිහිපයක් ඇතුල් කරන ලද උපකරණ භාවිතයෙන් මෙම ගැබ් ගැනීම සියුම්ව ඉවත් කිරීම) මඟින් ප්‍රතිකාර කෙරෙනවා.
    • පැලෝපීය නාලවලට හානි සිදුවී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඇති අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා laperatomy ශල්‍යකර්ම ( උදරය හරහා කැපුමක් යොදා විවෘත කර සිදුකෙරෙන ශල්‍යකර්ම ) සඳහා යොමුවීමට සිදුවනවා. මෙම අවස්ථා වලදී රුධිර වහනය වලක්වා ගැනීම සඳහා පැලෝපීය නාල ඉවත් කිරීමට සිදුවීමත්, වෙනත් අභ්‍යන්තර අවයව වලට හානිසිදුවීමත්, රුධිර පාරවිලයනය කිරීමට සිදිවීම ආදියත් මෙහිදී ඇතිවන සංකූලතා ලෙස දැක්විය හැකිවනවා.

ectopic තත්වයකින් පසුව, නැවත සාමාන්‍ය ගැබ්ගැනීමක් සිදුවිය හැකිද?

එක් ectopic තත්වයකින් පසුව, නැවත ectopic තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිබව ඉහත සාකච්ඡා කෙරුනා. නමුත් මේ නිසා නැවත සාමන්‍ය ගැබ් ගැනීමක් සිදුවිය නොහැකි බවක් අදහස්වන්නේ නැහැ. යම් හෙයකින් පැලෝපීය නාලයක් ඉවත් කිරීමක් සිදුවී ඇත්නම් හෝ ඒවාට හානිවී ඇතිනම්, මෙය තරමක් අපහසු විය හැකි නමුත්, ඒ සඳහා උත්සාහ කිරීම අනිවාර්යයෙන් සිදුකල හැකිවනවා. මාස 4- 6 පමණ කාල පරතරයක් මේ සඳහා සුදුසු බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතය වනවා. මෙවැනි තත්වයක්දී උපදෙස් හා ප්‍රතිකාර සඳහා, මේ සඳහා විශේෂ වූ විශේෂඥ වෛද්‍ය සහය පැතීම වඩාත් සුදුසුවනවා.

Ectopic තත්වයක් යනු කුමක්ද, මෙවැනි තත්වයකදී සිදු කලයුත්තේ කුමක්ද යන්න පිලිබඳව මෙම ලිපිය මඟින් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. මෙවැනි රෝගී තත්වයන් පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා askmydoctor.lk වෙත. පිවිසෙන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments