අධික තරබාරු බව නිසා දරු ඵල අහිමිවීම (PCOS – poly cystic ovarian syndrome)

pregnant-obesity-1අද වන විට සමාජයේ විවාහක කාන්තාවන්ගෙන් 1-2% අතර ප්‍රමාණයකට දරු ඵල අහිමිවීම, අධික තරබාරු බව නිසා ඇතිවන PCOD / poly cystic ovarian disease හේතුවෙලා තිබෙනවා. මෙය සමාජීය වශයෙන්ද මානසික වශයෙන්ද කාන්තාවන්ට බොහෝ ගැටලුකාරී තත්වයන් උද්ගත කරවන කරුණක්. අතීතයේද බොහෝවිට ජානමය වශයෙන් පවුලෙන් පවුලට (මවගෙන් දියණියට) ආදී ලෙස ව්‍යාප්ත වුනු රෝගී තත්වයක් වුවත්, නොගැලපෙන ජීවන රටාව, ආහාර පාන හා ව්‍යායාම මද බව නිසා අද වනවිට අධික තරබාරු බවත් සමග දරු ඵල අහිමිවීමට හේතුවන මෙම රෝගී තත්වය ඇතිවිමේ ඉහළ යාමක් දක්නට පුළුවන්.

තරබාරු බවට අමතරව මෙහිදී වෙනත් ලක්ෂණ දක්නට ලැබෙනවාද?

ඔව්, යම් විටක තරබාරු නොවන කාන්තාවකට වුවත් මෙම රෝගී ලක්ෂණ තිබෙන්නට පුළුවන්. තරබාරු බව නිසා මෙම ලක්ෂණ තීව්‍ර වීමත්, මේ සදහා වැඩි අවධානමක් ඇතිවිමත් තමයි සිදුවන්නේ.

සුලභම ලක්ෂණය වන්නේ මාසික ඔසප් වීම අක්‍රමවත් වීමයි. මෙය නිසි පරිදි දින 28 කට වරක් ඔසප් වීම ඇති නොවි දින 35කට වැඩි කාල පරතරයකදී සිදුවීම, වසරකට ඔසප් විම ඇතිවන වාර ගණන 08 ට වඩා අඩුවිම, මාස 04 කට වඩා වැඩි කාලයක් ඔසප් ඇති නොවිම ආදී ලෙස පුද්ගලයාගෙන් පුද්ගලයන්ට වෙනස්වන්නට පුළුවන්. මීට අමතරව මෙලෙස දිගු කාල පරතරයන් වලින් පසු ඇතිවන ඔසප් විටකදී අධික ලෙස රුධිර වහනය විමක් හෝ ඉතා සුළු වශයෙන් රුධිර පිටවිමක් වුවද සිදුවන්නට පුළුවන්.

මීට අමතරව මෙම තත්වය යටතේ ඇතිවන හෝමෝන අසමතුලිතතාවය නිසා

  • අනවශ්‍ය හා අධික ලෙස රෝම ඇතිවිම
  • කුරුලෑ අධික ලෙස ඇතිවිම
  • හිස කෙස් වැටිම (මෙය Male pattern) ලෙස ඇතිවේ
  • බෙල්ල, ඉකිලි හා කිහිලි ආශ්‍රිත වැඩි වශයෙන් දුර්වර්ණ වීම

කාන්තාවන් ලෙස හා ගර්භණි භාවයට මෙම රෝගයෙන් ඇතිවන බලපෑම කුමක්ද?

1. ප්‍රධානතම ගැටලුව වන්නේ – දරු ඵල අහිමිවීමට ඇති අවධානම ඉහල යැමයි. එසේ වන්නේ මෙය හෝමෝනමය බලපෑමක් නිසා ඇතිවන රෝගී තත්වයක් නිසයි. ඔබ දන්නවා ශරීරයේ රුධිරගත ග්ලුකෝස් ප්‍රමාණය පාලනය කරන්නේ අග්න්‍යාෂය (pancreas) මගින් ශ්‍රාවය වන ඉන්සියුලින් නම් හෝමෝනය මගින් බව. නමුත් මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වයේ මද බවක් (එනම් ශරීරය මගින් එම හෝමෝනය සදහා දක්වන ප්‍රතික්‍රියාවේ දුර්වල බවක්) නිසා නිසි පරිදි ග්ලුකෝස් මට්ටම පාලනය කරගැනීමට ඉන්සියුලින් අධික ලෙස ශ්‍රාවය කරවීමට සිදුවීමයි.

මෙම අධික ඉන්සියුලින් ඩිම්බකෝෂ මතද ක්‍රියාකරනවා, ඩිම්බ නිපදවීම හා මුදාහැරිමේ ක්‍රියාවලියට මෙමගින් බාධා වීමක් සිදුවන නිසාවෙන් ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමක් වෙනවා. එපමණක් නොවෙයි කාන්තාවකගේ සිරුරේ ලිංගික ක්‍රියාවලියන් පාලනය කෙරෙන හෝමෝන වන ඊස්ටජන් ශ්‍රාවයද අඩුවෙනවා. ඒ වෙනුවට පිරිමි හෝමෝනය වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ඉහල යනවා. අධික රෝම, කුරුලෑ ආදිය ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලයක් විදියටයි.

අක්‍රමවත් ඔසප් වීම හා ඩිම්බ නොමේරු තත්වයක් හා ඩිම්බ මුදාහැරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොවීම නිසා දරු පිලිසිඳ ගැනීමක් ඇතිවීම අපහසුවනවා.

2. මීට අමතරව ගර්භණි කාලය අතරතුර ඇතිවන GDM / ගර්භණි සමයට සීමාවූ දියවැඩියා තත්වය ( gestational diabetes mellitus) හා PIH / ගර්භණි සමයෙදි ඇතිවන අධිරුධිර පිඩනය (pregnancy induced hypertension) ආදී තත්වයන් ඇතිවීමේ අවධානම ඉහළ යනවා.

3. ඒ විතරක් නොවෙයි නිසි පරිදි ඔසප්වීම් සිදුනොවන නිසා, ගර්භාෂ බිත්ති ඉවත්වීමේ ක්‍රියාවලියද නිසි පරිදි සිදුවන්නේ නැහැ. පසුකාලින ජිවිතයේදි ගර්භාෂ බිත්ති ඝනවිම නිසා ඇතිවන පිළිකා තත්වයන්ට (endometrial cancer) අවධානමද මේ නිසා ඉහළ යනවා.

මෙමගින් ඇතිවන වෙනත් අහිතකර ප්‍රතිඵල මොනවාද?

  1. දියවැඩියාව
  2. අධිරුධිර පීඩනය
  3. අධික මේද ගබඩාවක් ඇතිවීම
  4. හෘද රෝග
  5. අක්මාව ආශ්‍රිත මේද තැන්පත් වීම
  6. නිදිවර්ජිත බව
  7. මානසික අවපිඩනය (depression) නිසා නිතර ඇතිවන දොම්නස හා කනස්සලු ස්වභාවය හා කාන්සාව (anxiety)

මෙම රෝග ලක්ෂණ ඇති කාන්තාවකට ඒ පිළිබද තහවුරු කරගැනිමක් සිදුකරගත හැක්කේ කෙසේද?

මේ පිළිබඳව ඔබටත් යම් සැකයක් ඇතිනම් ප්‍රසව හා නාරී විශේෂ වෛද්‍යවරයකු වෙත යොමුවන්න. මෙහිදි ගර්භාෂය හා ඩිම්බ කෝෂ ආශ්‍රිත scan පරීක්ෂාවක් මගින් හා රුධිර හෝමෝන ප්‍රමාණයන් පරික්ෂාවට ලක්කිරීමෙන් මේ පිලිබඳව නිගමනයකට එළබ, ඒ සදහා ගතයුතු පියවර වලට යොමුවන්නට ඔබටත් හැකිවේවි.

මෙම රෝගි තත්වය හා එමගින් ඇතිවන අහිතකර බලපෑම් සඳහා යම් ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවාද?

1. මුලිකවම එක් ප්‍රතිකාරයක් ලෙස සදහන් කල හැක්කේ අධික තරබාරු බව අඩුකරගැනීම සහ ශරීරයේ ක්‍රියාශීලි බව මනා පරිදි පවත්වා ගැනීමයි. මෙමගින් ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරනු ලබනවා.

  • මේදය, අධික සීනි හෝ පිටි සහිත ආහාර අවම කිරීම.
  • දිනකට අවමය පැය 1/2 පමණ ව්‍යයාම වල යෙදිම.

2. දියවැඩියාවේදී සාමන්‍යයෙන් භාවිතයට ගැනෙන යම් යම් ඖෂධ මගින් මෙහිදී දියවැඩියාව ඇතිවීමට ඇති අවධානම පාලනය කිරීමත්, ඉන්සියුලින් ස්‍රාවය අඩු කරවීමත් නිසා තරබාරු බව අඩු කරගැනීමටත් යම් රුකුලක් ලැබෙනවා.

3. වෙනත් ඖෂධ

  • මිට අමතරව ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීම සදහා උපත් පාලන පෙති භාවිතයට ගැනීම.
  • දරු පිළිසිද ගැනීමකට සුදානම් වන විට ඩිම්බ මේරීම සහ මුදාහැරීමට දායක වන ඖෂධ වර්ග භාවිතයට ගැනීමත්.
  • අධික රෝම කූප සදහා පිලියමයක් ලෙස ලබාගත හැකි ඖෂද වර්ගද වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ලබාගැනීමට හැකියාව ඔබට තිබෙනවා.

දිගුකාලින වශයෙන් කාන්තාවකට ගැටලුකාරී විය හැකි කරුණු කිහිපයකටම තුඩුදෙන මෙම රෝගී තත්වය පිළිබදව මෙම ලිපිය මගින් යම් අදහසක් ලැබෙන්නට ඇතැයි සිතමු. උතුම්වූ මව් පදවිය ලැබිමට ඇතිවන බාධාවන්, මුල් අවධියේම නිශ්චය කරගෙන ඒ සඳහා පිළියම් යොදාගැනීමටත් ප්‍රතිකාර සදහා යොමුවීමටත් මෙමගින් ඔබට අවස්ථාව සලසා දීම අපගේ අරමුණයි.

Author – Dr. H.Vithana (M.B.B.S)

Read More: ළදරුවන්ට මවුකිරි සදහා පූරක ආහාර ලබාදීම

මෙම ලිපිය share කර දැනුම බෙදාහදා ගනිමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments