මදසරුබව

subfertility2දැන් කසාද බැඳලා අවුරුදු තුනක් වෙන්නත් ඇවිත්නේ, තාම බබෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද? මෙය සමාජයේ සුලභව ඇසෙන, කාන්තාවන් හට විශේෂයෙන් යොමුවෙන, තවත් එක් පීඩාකාරී ගැටලුවක් බව ඔබ හඳුනාගෙන ඇති. යුවලක් විවාහවී වසර කිහිපයක් ගතවී ඇතත්, දරුසම්පතක් බලාපොරොත්තුවෙන් සිටියත්, එම අවස්ථාව උදා නොවන හෝ උදාවීම ප්‍රමාද කරවන හේතු කාරණා රාශියක් තිබෙන්නට පුලුවන්. එලෙස ඇතිවන මඳසරුබව හා නිසරු බවට හේතු යන සමාජ සංවේදී මාතෘකාව පිලිබඳව අද මෙම ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

මඳසරු බව යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්වයක්ද?

ආරක්ෂිත ලිංගික එකතුවීමකින් තොරව, ගැබ්ගැනීමේ බලාපොරොත්තු සහිතව සරු කාලයේදී ලිංගිකව එකතුවූවත්, මාස 12ක කාලයක් තුල පිලිසිඳ ගැනීමක් සිදු නොවන්නේ නම් එය මදසරු තත්වයක් ලෙස සැලකිය යුතුවනවා. මේ තත්වය අදාල වන්නේ වයස අවුරුදු 35ට අඩු යුවලකටයි. ඔබ වයස අවුරුදු 35ට වඩා වැඩි නම්, ඉහත කාල පරාසය මාස 6 දක්වා අඩුවනු ඇත. මෙලෙස වයස් සීමාවන් අනුවවෙන්කර හඳුනාගැනීමෙන් බලාපොරොත්තු වන්නේ, අදාල මාස ගණනින් පසු කාලසීමාව තුලදී ඔබ වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරවීමයි.

විවාහයෙන් පසු ගැබ්ගැනීමක් සාමාන්‍යයෙන් සිදුවීමට කෙතරම් කාලයක් ගතවනවාද?

සාමාන්‍යයෙන්, දරුවකු බලාපොරොත්තුව, උපත් පාලන ක්‍රම භාවිතා නොකරමින් එක්වීමේ යෙදෙන්නේනම්, ගැබ්ගැනීමට ගතවන කාලය ප්‍රතිශතයක් ලෙස ගත් කල පහත පරිදි දැක්විය හැකිවනවා.

  • පලමු මාස 3 අතුලත —> 25%
  • මාස 6ක් ගතවනවිට —> 50-60%
  • පලමු අවුරුද්ද අවසානය වනවිට —> 90%

පලමු වසර අවසානය වනවිටත් ගැබ් ගැනීමට නොහැකිවන යුවළ ප්‍රතිශතය 10% පමණ වනවා. මදසරු බව සඳහා ප්‍රතිකාර යොමුවිය යුත්තේ මෙම කොට්ටාශ යයි.

දරුගැබැක් පිළිසිඳගැනීමට බාධාවන කරුණු මොනවාද?

පිරිමියෙකු විසින් සරු ශුක්‍රාණු නිපදවීමේ සිට, ඒවා ඩිම්බයක් හා සංසේචනය වන තෙක් , යෝනි මාර්ගය ඔස්සේ ගමන්කිරීම ආදී වූ සියලු පියවරන් නිසි පරිදි සිදුවීම අනිවාර්යය වනවා.
එමෙන්ම, කාන්තාවක් නිසි පරිදි සරු ඩිම්බ නිපදවා ඩිම්බකෝශ වලින් මුදාහැරීමේ සිට, පැලෝපීය නාල තුලදී සංසේචනය වීම, තෙක් වන සියලු ක්‍රියාවලි නිසිපරිදි සිදුවීම පිලිසිඳ ගැනීමකට අත්‍යාවශ්‍ය වනවා.

මේ කුමන හෝ අවස්ථාවක දී හෝ එයට බාධාවක් පැමිණෙන්නේනම්, එය මදසරුබවට හේතුවක් වනු ඇත.

A/ කාන්තා පාර්ශවය තුල මදසරු බව ඇතිවීමට හේතු

1. ඩිම්බහරණය නිසි පරිදි සිදු නොවීම,

2. හෝමෝනමය වෙනස්කම් ඇතිවීම.

  • පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත අධි ක්‍රියාකාරී තත්ව
  • හයිපොතැලමස ආශ්‍රිත ගැටලු
  • PCOS

3. ඩිම්බ ගර්භාෂය වෙත ගමන් කරන මාර්ගයේ පැලෝපීයනාල ආශ්‍රිත බාධා ඇතිවීම්

  • අභ්‍යන්තර ලිංගික අවයව ආශ්‍රිත ආසාදන (PID – Pelvic Inflammatory Disease )
  • අභ්‍යන්තර ලිංගික අවයව ආශ්‍රිතව සිදුකරන ලද සැත්කම්
  • ලිංගිකව බෝවන රෝග තත්ව ( sexually transmitted diseases )

B/ පිරිමි පාර්ශවය තුල මදසරු බව ඇතිවීමට හේතු

1. ශුක්‍රාණු සම්බන්ධ ගැටලු

  • ශුක්‍ර තරලය තුල ශුක්‍රාණු වල ඝනත්වය අඩුවීම
  • ශුක්‍රාණුවල ගමන් කිරීමේ හැකියාව හා වේගවත් බව අඩුවීම
  • ශුක්‍රාණු නීරෝගී නොවන, අසාමාන්‍ය ස්වභාවයක් ගැනීම

2. ශුක්‍රාණු නිපදවීමේ සිට පිටවීම දක්වා ගමන් මාර්ගයේ බාධා ඇතිවීම.
( උදා:- වැරිකොසීල් තත්වය / varicocele )

3. හෝමෝනමය බලපෑම්

  • පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත අධි ක්‍රියාකාරී තත්ව
  • හයිපොතැලමස ආශ්‍රිත ගැටලු

ඉහත කාරණා වලට අමතරව,
දෙපාර්ශවයටම බලපාන තවත් පොදු හේතු කාරණා කිහිපයක් පහත පරිදි දක්වන්න පුලුවන්.

  • විවිධ ඖෂධ වර්ග භාවිතය ( උදා :- පිළිකා තත්ව සඳහා )
  • මද්‍යසාරය භාවිතය
  • දුම්පානය
  • අධික මානසික පීඩනය

මදසරු බව හඳුනාගැනීම සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ප්‍රතිකාර කුමන කාල වලදී සිදු කලයුතුද, කුමන පරීක්ෂණ සඳහා යොමුවිය යුතුද , යන්න එක යුවලකින් තවත් යුවලකට වෙනස්වනු ලබනවා. අදාල කරුණු වලට අනුව එක් එක් පරීක්ෂණ මගින් මදසරු බව ඇතිවීමට හේතු බැහැර කරමින් , අදාල නිගමන වලට එළඹීම ඔබගේ වෛද්‍යවරයා විසින් සිදු කරනු ඇත. මේ සඳහා සුලභව උපයෝගීවන පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

  1. හෝමෝන පරීක්ෂා – LH, FSH, Prolactin , TSH , Tetesterone
  2. අභ්‍යන්තර අවයව පරීක්ෂා සඳහා වන ස්කෑන් පරීක්ෂා ( උදා :- ultra sound scanning )
  3. ශුක්‍ර තරල පරීක්ෂාව ( SFA – Semen Fluid Analysis )
  4. Laparascopic procedures ( කැමරා භාවිතා කරමින් අභ්‍යන්තර අවයව නිරීක්ෂණය කෙරෙන ශල්‍යකර්ම )

මේ සඳහා වන ප්‍රතිකාර ක්‍රම මොනවාද?

මූලික වශයෙන්ම , මදසරු බවට හේතූ වන සාධකය හඳුනාගෙන , එම බාධකය ඉවත් කරගැනීමට කටයුතු කිරීම මෙහි මූලික් ප්‍රතිකාර ක්‍රමයයි. එනම්,

  1. හෝමනමය බලපෑම් ඉවත් කිරීම — ඖෂධ මඟින් හෝ ශල්‍යකර්ම මඟින් හෝ බර පාලනය හා ව්‍යායාම වැනි උත්සහයන් මඟින් හෝමෝන වල බලපෑම් අවම කරගැනීම සිදු කල හැකිවනවා.
  2. ඩිම්බහරණය ක්‍රමවත් කිරීම සඳහා ඖෂධ භාවිතය.
  3. ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සසේචනය වීමට ගමන් කල යුතු මාර්ගයේ බාධවන් ඇතිනම් ඒවා ඉවත් කිරීම සඳහා ශල්‍යකර්ම ක්‍රම භාවිතය. ( උදා:- adhesiolysis)

මීට අමතරව, යම් හේතුවක් නිවැරදි කල නොහැකි අවස්තාවක හෝ නිශ්චිත වශයෙන් මදසරු බවට හේතුවක් හඳුනාගත නොහැකි අවස්ථාවක , ප්‍රතිකර්ම ලෙස යොදාගැනෙන නව තාක්ෂණික ක්‍රම භාවිතා කරනු ලබනවා.

  1. IUI – Intra Uterine Insamination
    මෙමගින් සංසේචනය සඳහා සුදුසු ශුක්‍රාණු ගර්භාෂය තුලට ඍජුවම ඇතුල් කිරීම සිදු කෙරෙනවා.මේ නිසා සංසේචනයක් සිදුවීම වඩා පහසු කරවනවා.
  2. IVF ( In Vitro Fertilization )
    මෙහිදී සිදුකරන්නේ, බාහිරයේදී විශේෂ තත්ව යටතේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය කරවීම සිදුකර, සංසේචිත ඩිම්බය මදක් වර්ධනය වීමට ඉඩ හැර, සුදුසු තත්ව යටතේ ගර්භාෂය තුල තැන්පත් කරවීමයි.

මෙම ක්‍රම සඳහා උසස් තාක්ෂණික දැනුම භාවිතය නිසා, තරමක් වියදම් සහිත වනවා. නමුත් දැන් දැන් මේ සඳහා වැඩි වශයෙන් යොමුවීමක් සිදුවන බව දක්නට ලැබෙනවා.

සමාජයේ සංවේදී මාතෘකාවක් වන මඳසරු බව පිලිබඳව ඔබ සිහිතබාගත යුතු කරුණු මොනවාද?

  • තමන්ගේ වයස අනුව, ප්‍රතිඵල නොලැබීම නිසා වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වන කාල සීමාව තීරණය වන බව, එනම්
    වයස 35ට අඩු – මාස 12කින් පසු
    වයස 35ට වැඩි – මාස 6කින් පසු
  • පවුලේ රෝග ඉතිහාසයන්, දිගුකාලීන රෝගී තත්වයන්, කුඩා කාලයේදී (විශේෂයෙන් පිරිමි පාර්ශවය) කම්මුල්ගාය වැනි රෝග තත්ව වලට මුහුණදී ඇත්නම්, ඒ පිලිබඳව වෛද්‍යවරයා දැනුවත් කර මුලසිට ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වනවා.
  • එක් දරුවකු ලැබීමෙන් පසුව වූවද, තවත් දරුවකු ලැබීම ප්‍රමාදවීමද මදසරු බවට අයත්වෙනවා. මෙය හඳුන්වන්නේ දෙවන කාණ්ඩයේ මදසරු බව ( secondary subfertilty ) ලෙසටයි. මෙම තත්වය සඳහා ද තමන්ගේ වයස් සීමාව අනුව, වෛද්‍ය උපදෙස් වෙත් යොමුවීමට තීරණය කළ යුතුවනවා.
  • නිසරු බව හෝ මද සරු බවට හේතුවිය හැකි සාධක කාන්තා හා පිරිමි පාර්ශව දෙකටම අදාල වන බව හා ඒ සඳහා හේතුවක් නිශ්චිතව සොයාගැනීමටනම් දෙපාර්ශවයම පරීක්ෂාවට ලක් කල යුතු බව අවබෝධ කරගැනීම ඉතාමත් වැදගත් වනවා.

මෙම ලිපිය තුලින් , ඉතාමත් සැකෙවින් මදසරු බව හා ඒ ආශ්‍රිත කරුණු පිලිබඳව සාකච්ඡා කරීමට අප බලාපොරොත්තු වුණා. මේ පිලිබඳව ඔබගේ ගැටලු ඉදිරිපත් කිරීමටත්, වෙනත් සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත්වීමටත් askmydoctor.lk අපගෙ වෙබ් පිටුව වෙත යොමුවන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments