පියයුරු පිළිකා (Breast cancer)

breast-cancer-02

ඔබ දන්නවාද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සැම ගැහැණු අය 8 දෙනෙක්ගෙන් එක් අයකුම පියයුරුවල පිළිකා සදහා ගොදුරු වනවා. මෙහිදි බොහෝ කාන්තාවන් අතර ඇති දැනුම අල්ප නිසාත්, තත්වය ඔඩු දුවන තෙක් හඳුනා නොගැනීමත්, වෛද්‍ය උපදෙස් නොපැතීමත් නිසා මෙහි සංකීර්ණත්වය වැඩි වී තිබෙනවා. බොහෝවිට මේ තත්වයට මුහුණපාන කාන්තාවන් වයස අවුරුදු 60 පමණ ඉක්මවූ කාන්තාවන් වූවත්, මේ සඳහා දායක වී ඇති පටක වර්ගය හා එහි ඇතිවන අසාමන්‍යතාවය අනුව, මෙය ඕනෑම වයස් කාණ්ඩවල කාන්තාවන්ට වැලඳීමේ අවධානමක් පවතිනවා.

පියයුරු පිළිකාවකදී, පියයුරක් සැකසී ඇති පියයුරු නාල (ductules) හෝ සම්බන්ධක පටක (surrounding stroma) වල ඇති සෛල, ඒවාහී සාමාන්‍ය සැකසුමෙන් වෙනස්වී පිළිකාකාරී සෛල බවට පරිවර්තනය වීමක් සිදුවෙනවා. එලෙස වෙනස් වූ සෛල බෙදීයාමේදී, ඒ අවට ඇති සාමාන්‍ය සෛල සහිත ප්‍රදේශ වලටද පැතිර ගොස්, ඒවාද පිළිකාකාරී සෛල බවට පත් කෙරෙනවා. පිළිකාවක් ව්‍යාප්ත වීම, නැතහොත් ඔඩුදිවීම සිදුවන්නේ මෙලෙසයි.

පියයුරු පිළිකා ඇතිවීමට හේතුකාරක වන කරුණු

  1. දරුඵල නොමැති වීම.
  2. දරුවන්ට මවු කිරි ලබාදී නොතිබීම.
  3. පළමු දරුවා ලබන විට වයස්ගතවී තිබීම
  4. දිගුකාලීන උපත් පාලන පෙති භාවිතය.
  5. ඊස්ට්‍රජන් ස්‍රාවී අසාමාන්‍ය ඩිම්භකෝෂ තත්වයන්
  6. දිගින් දිගටම විකිරණ වලට භාජනය වීම.
  7. රෝගියා හට පෙරදී ඇති වු වෙනත් පිළිකා තත්වයන් ( මහා අන්ත්‍රය,ඩිම්භකෝෂ, ආශ්‍රිත)
  8. රෝගියාගේ පවුලේ පිරිමි සාමාජිකයකු හට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ( prostatic cancer)
  9. පලමු හෝ දෙවනුපෙල ලේ නෑයින් කිසිවෙකුට හෝ ඉහත සඳහන් පිළිකා වලින් කිසිවක් වැළඳී තිබීම.

ඉහත අංක 7, 8, 9, මගින් දැක්වෙන කරුණු පවුලෙන් පවුලට පැවතී එන පියයුරු සඳහා පිළිකාකාරක ජාන වන BRAC 01 හා BRAC 02 සමඟ ඇති සම්බන්ධය විදහාපානවා.

පියයුරු පිළිකාවක මූලික bc-03ලක්ෂණ

    • පියයුරු ආශ්‍රිත වේගවත්ව වැඩෙන, එහෙත් රිදුම් නොදෙන ගෙඩියක් / ගැටයක් වැනි යමක් හටගැනීම මෙහි මූලික ලක්ෂණය වනවා. ඒ නිසා අනෙත් පියයුරට සාපේක්ෂව එක් පියයුරක් විශාල වීමත් මෙහිදී දක්නට පුළුවන්.
    • පියයුරුරු මත සමෙහි වෙනස් වීමක් ඇතිවීම අනෙත් මූලිකම කරුණක් වනවා. එය,
– සම ක්‍රමයෙන් කලු පැහැගැන්වීම
– තුවාලයක් වැනි, එහෙත් රිදුම් නොදෙන ප්‍රදේශයක් හටගැනීම
– සම හැකිලී ගොස් පියයුරේ සාමන්‍ය ස්වභාවය වෙනස්වීම, ආදීවන ඕනෑම ලෙසකින් ඇතිවන්නට පුලුවන්
    • තනපුඩු ආශ්‍රිත වෙනස්වීම් ඇතිවීමත් විශේෂයි
– තන පුඩුව හැකිලී යාම හා ඇතුලතට ඇදී තිබීම
– තන පුඩුව ඉරිතැලීම
– තන පුඩුව ක්‍රමයෙන් විනාශවීම
– තන පුඩු මගින් ලේ රතු පැහැති ශ්‍රාවයන් ගැලීම ආදී ඕනෑම ලෙසකින් ඇතිවීමට පුලුවන්
  • කිහිලි ආශ්‍රිත කුද්දෙටි විශාල වීමද මෙහිදී දක්නනට ලැබෙනවා.
  • මීට අමතරව, අනෙක් බොහෝ පිළිකා රෝග තත්වයන්ගේදී මෙන්ම,
    සීඝ්‍රයෙන්ශරීර බර පහත වැටීම.
  • කෑම අරුචිය සහ ශරීර දුබලතාවයද මෙහිදී ඇතිවෙනවා.

පියයුරු පිළිකා පිලිබඳව සැලකිල්ලට ගතයුතු කරුණු

නිරන්තරයෙන් තමන්ම පියයුරු පරීක්ෂා කොට බලා, සාමාන්‍ය තත්වයට වඩා වෙනස්වීමක් ඇතිවී ඇත්දැයි නිර්ණය කරගන්නට හැකියාව තමන්ටම තිබෙනවා. එවැනි අවස්තාවක, ඉහත සඳහන් මොනයම් හෝ ලක්ෂණයක් පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීමේ අවස්ථාව එවිට ඔබට ලැබෙනවා. ඉහත දක්ව ඇති කිනම් හෝ කරුණක් මත පියයුරු පිළිකා සඳහා වැඩි අවධානම් කාණ්ඩයකට ඔබ අයත් වනවානම් නම්, පියයුරු පිළිකාවක ලක්ෂණ පිලිබඳව දැනුවත්වීමත්, ඒ පිලිබඳව වැඩි අවධානයක්‍ යොමුකිරීමත් ඔබ අනිවාර්යයෙන් සිදුකල යුතුවනවා.

කල්තබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් පිළිකාව ඔඩුදිවීම වලක්වාගත හැකි අතර පිලියම් ලෙස පියයුර ඉවත් නොකොට සිදුකරගත හැකි ශල්‍යකර්මයකට එනම්, පියයුරෙන් කොටසක් පමණක් ඉවත් කිරීම, හෝ පියයුරේ පිළිකාකාරී කොටස පමණක් ඉවත් කිරීම සඳහා යොමුවිය හැකිවනවා. (breast preserving sugery, for example ; wide local excision / lobectomy)

පියයුරු පිළිකාවක් නිසි ලෙස හඳුනා ගැනෙනුයේ කෙසේද?

මේ සඳහා triple assessment නොහොත් තුන්ඈඳුනු පරීක්ෂණ පිලිවෙතක් භාවිතා කෙරෙනවා.

Clinical assessment and history

මෙහිදී සිදු කරනුයේ වෛද්‍යවරයකු ලවා පියයුරු පරීක්ෂා කරවා ගැනීමත්, රෝගය හා සම්බන්ධයක් ඇතැයි සිතිය හැකි කරුණු පිලිබඳවත්, රෝග ඉතිහාසය පිලිබඳවත් වෛද්‍යවරයා දැනුවත් කිරීමයි.

Imaging

පටක වල සැකැස්ම හා එහි ස්වභාවික ආකෘතියේ වෙනස්වීමක් සිදුවී ඇත්දැයි මෙමගින් නිර්ණය කරගන්න පුළුවන්. ඒ සඳහා පහත් ක්‍රම දැනට භාවිතා කෙරෙනවා.

මැමෝග්‍රම් ( mammogram )

තල 2ක් ඔස්සේ ලබාගන්නා X කිරණ සටහනක් වන මෙය වයස අවුරුදු 35ට වැඩි (පියයුරු පටක වල ඝනත්වය ක්‍රමයෙන් අඩුවී ඇති) කාන්තාවන් සඳහා භාවිතා කරනු ලබනවා.

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් (ultra sound scan -USS)

ඇතුලත පටක පිලිබඳව බාහිරින් සිට වීඩියෝවක් වැනි නිරීක්ෂණයක් කල හැකි මෙම පරීක්ෂණ බහුලව සිදුකරනුයේ වයස අවුරුදු 35ට අඩු (පියයුරු පටක වල ඝනත්වය වැඩි) කාන්තාවන් සඳහාය.

මෙමගින් ලැබෙන වාර්තාවන්ට අනුව පියයුරල පටකවල යම් වෙනස්වීමක් ඇතිවී තිබෙන්නේනම් එය නිශ්චය කරගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදුකල හැකිවනවා.

Tissue sampling

පියයුරෙහි රෝගයට ගොදුරු වී ඇති කොටසෙන් කටු විදීමක් ( FNAC ) හෝ පටක කොටසක් ලබාගැනීම ( True cut biopsy ) මගින් පිළිකාකාරී සෛල ඇතිදැයි නිශ්චය කොට දැන ගැනීම සිදුකල හැකිවනවා. මෙම එකිනෙක හා බැඳී පරීක්ෂණ ක්‍රම ත්‍රිත්වය මගින් පිළිකාවක් අත්දැයි සනාථ කරගන්නට පුළුවන්.

මීට අමතරව CT scan පරීක්ෂණක් මගින් පිළිකාව පැතිර ගොස් ඇතිද නැතහොත් එවන් අවධානමකට ලක්වී ඇත්දැයි තීරණය කල හැක.

පිළිකාව සඳහා වන පිලියම්

මෙය තීරණය වන්නේ පිළිකා සෛල වල ස්වභාවය, පිළිකාවේ ප්‍රමාණය, පැතිරීම, රෝගියාගේ වෙනත් වෛද්‍ය ගැටලු, රෝගියාගේ අවශ්‍යතාව ඇතුලු තවත් කරුණු රාශියක් මතයි.
ඒ අනුව පියයුරම හෝ කොටසක් (mastectomy or wide local excision) ශල්‍යකර්මයක් මගින් ඉවත්කරලීම, විකිරණ ඇල්ලීම (radio therapy), පිළිකා නාශක ඖෂධ (chemotherapy) ලබාගැනීම සිදු කල හැකිවනවා.

සෑමවිටම රෝගයක මුල් අවදියේදීම ඒ පිලිබඳව දැනගැනීමට හැකියාව ලැබීම නිසා, එය තවදුරටත් වර්ධනයවීමත්, තීව්‍ර වීමත්, පැතිරීයාමත් අවම කරගන්නට පුලුවන්.. ඉතා වේගයෙන් වර්ධනය වී පැතිරීම ඇතිවන පිළිකාවකට ප්‍රතිකාර කිරීමේදී මෙම තත්වය වඩාත් වැදගත්වනවා.

පියයුරු පිළිකා පිලිබඳව ඔබට යම් අවබෝධයක් ලබාදීමටත්, සමාජය තුල මේ සඳහා වැඩි අවදානයක් ලබාදීමටත්, මෙම ලිපිය මගින් හැකියාවක් ලැබෙන්නට ඇතැයි අපි සිතනවා. ඒ වගේම, පියයුරු පිළිකා මර්ධන මාසය ලෙස නම් කර ඇති ඔක්තෝබර් මාසය තුලදී, ඔබ සතු දැනුම බෙදා හදාගෙන, තම හිත මිත්‍රාදීන්ද, මේ පිලිබඳව දැනුවත් කිරීමේ සමාජයීය මෙහෙවරට ඔබත් එකවේවීයැයි අප බලාපොරොත්තු වනවා.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments