අත් හිරිවැටීම නොහොත් Carpal Tunnel Syndrome

Carpal-Tunnel-1ස්නායු දුර්වලතාවයන් සාමාන්‍යයෙන් ඇතිවන්නේ බොහෝවිට වයස්ගත පුද්ගලයන් හටයි. නමුත් තරුණ වියේදී වුවත් හටගන්න හැකියාව තිබෙන ස්නායු ගැටලුවක් පිලිබඳවවයි මේ ලිපිය.

එදිනදා වැඩ කටයුතු වල යෙදෙන අවස්ථාවන් වලදී ඔබගේ අත් හිරිවැටීමක් ඇතිවනවාද?

  • මෝටර් බයිසිකල් හැඩලය කරකැවීමේදී
  • අත මිට මොළවා වීර්ය යොදා ක්‍රියාත්මක කල යුතු යන්ත්‍ර ක්‍රියාකිරීමේදී
  • බස් රථයක සිටගෙන අල්ලාගෙනයාමේදී
  • රෙදි සොදා මිරිකිමේදී
  • පොල් මිරිකිමේදී

මෙවැනි අවස්ථාවන්වලදී ඔබ අත් හිරිවැටිමකට මුහුණ දී තිබෙනවාද? මෙය අසාමන්‍ය තත්වයක් වුවත්, ස්නායු දුර්වලතාවයක් ලෙස හැදින්වීම සුදුසු වන්නේ නැ. සාමන්‍ය වෛද්‍ය විවාහාරයේදී මෙම තත්වය හදුන්වන්නේ CTS හෙවත් Carpal Tunnel Syndrome ලෙසයි. මෙම තත්වයට මුහුණපාන ගොඩක් රෝගීන්.

  • අත් හිරිවැටීම්
  • කරන්ට් වැදීම වැනි අපහසුතාවයන් ඇතිවීම
  • ඇගිලිවල කටු ඇනෙනවා සේ දැනීම

ආදී විවිද ආකාරයෙන් තම රෝගී තත්වය විස්තර කරයි. මෙම තත්වය උද්ගත විම, වැඩිමනක් සිදුවනුයේ පැහැදිලිව දැක්විය හැකි හේතුවක් නොමැතිවමය. නමුත් පහත සඳහන් අවස්ථාවන් වලදීද මෙම තත්වය හටගැනීම නිතර සිදුවන බව තහවුරු කරගෙන තිබෙනවා.

  • තරබාරු බව
  • ගර්භණි අවධිය
  • දියවැඩියාව
  • ඇමයිලොඩෝසිස්
  • තයිරෝයිඩ් හෝමෝන හීනතාවය
  • ආතරයිටිස් තත්වයන්
  • මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවි ඇති පැරණි අස්ථි බිද වැටීම් ( old fractures at the wrist level)

ඉහත අවස්ථාවලදී වගේම,

  • බෙල්ලේ අස්ථිවල අසාමන්‍යතා (spondylosis)
  • වැඩිපුර පර්ශු (extra ribs) මගින් යෙදෙන පීඩන
  • පෙනහළුවල ඉහළ ප්‍රදේශවල පිළිකා මගින් ඇතිවන තෙරපුම

ආදී අවස්ථාවන් වල මුල් අවධි වලදීත්, මීට සමාන ස්නායු අපහසුතාවයන් ඇතිවනවා. නමුත් මෙම තත්වයන් CTS වලට වඩා බැරෑරුම් වන්නේ, CTS මෙන් නොව, අත්ල ප්‍රදේශ හා ඇගිලි මෙන්ම උරහිස, අත, වැලමිට ආදී ප්‍රදේශවලද ස්නායු අකර්මන්‍ය වී තවත් ආකුලතා බොහෝමයක් ඇතිවන නිසායි.

ස්නායු වේග නිරීක්ෂණ පරීක්ෂණ ( nerve conduction test), පපුව හා බෙල්ල ආශ්‍රිත x කිරණ පරීක්ෂණ, ආදීයේ උපකාරයෙන් මෙම තත්වයන් සාමාන්‍ය CTS වලින් වෙන්කර හදුනාගත හැකිවෙනවා.

CTS සදහා වන නිත්‍ය ප්‍රතිකාරය ලෙස මැණික් කටුව සන්ධියේ සිදුකරන Carpal Tunnel decompression නම්, කුඩා ශල්‍යකර්මයක් දැක්වන්න පුලුවන්. නමුත් එම ශල්‍යකර්මයෙන් පසුවද එම ප්‍රදේශය ආශ්‍රිත තන්තු නැවත ඝනවිමක් සිදුවීම හේතුවෙන් රෝගී තත්වය ආපසු උද්ගතවිමේ සම්භාවිතාවක් තිබෙනවා.

එදිනදා කටයුතුවලට අවහිරයක් නොමැතිනම් හා, වේදනා නාශක මගින් ඔබට දැනෙන අපහසුතාවයන් මගහරවාගත හැකිනම්, ශල්‍යකර්මයක් සදහා යොමුනොවී ඖෂධ භාවිතය මගින් යම් දුරට සහනයක් ලබාගැනීමට හැකියාවක් පවතිනවා.. දෑත් හිරිවැටීමේ ගැටලුකාරී තත්වයකට ඔබත් මුහුණදී සිටිනවානම්, තත්වය බැරෑරුම් වීමට ප්‍රථම ශල්‍ය වෛද්‍යවරයකු මුණගැසී මේ සඳහා ප්‍රතිකාර ලබාගන්න.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments