අර්ශස් ( Piles හෙවත් Haemorrhoids)

arsas-articleවැඩිහිටි බොහෝ දෙනෙක්ට කායික වශයෙන් තදබල පීඩාවක් ඇතිකරන රෝගයක් තමා අර්ශස් හෙවත් “Piles”. බොහෝවිට ලැජ්ජාව හෝ මානසිකව ඇතිවන අසහනකාරි බව නිසාත් ඇතැමෙක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමවීමටද මැලිකමක් දක්වනවා.

අර්ශස් කියන්නේ මොකද්ද, මේ පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඇයි? මෙහි බරපතල බවත් හා වෙනත් අතුරු ආබාධ ඇත්තේද යන්න ගැන වගේම, මෙය වළක්වා ගන්නේ කෙසේද? හා මේ සඳහා වන ප්‍රතිකාර ක්‍රම පිළිබදව සාකච්ඡා කිරිම මෙම ලිපියේ අරමුණයි.

අර්ශස් යනු ඇත්තෙන්ම කුමක්ද?

මළපහ සමග රුධිරය පිටවීම, එදිනදා වහරට අනුව අර්ශස් ලෙස හඳුන්වන්න හැකි වුවත්, මළපහ සමඟ එසේ රුධිරය පිටවිමට තවත් බොහෝ හේතුන් තිබෙනවා. අර්ශස් රෝගයට අවේනික වූ ලක්ෂණ නිසා එය අන් රෝගී අවස්ථාවලින් වෙන්කර හදුනාගන්න පුළුවන්.

අර්ශස් රෝගයේදී සිදුවන්නේ ගුදමාර්ගය ආශ්‍රිත රුධිර නාල ප්‍රමාණයෙන් දික්වි විශාලවි දඟර වැටීමයි. මෙයට හේතුවන්නේ එම නාල මත ඇතිවන අධිපීඩන තත්වයයි, මේ අධිපිඩන තත්වයන් ඇතිවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්.

ඉන් මුලිකම කරුණ වන්නේ,

1. මල බද්ධය හෙවත් (Constipation)

මීට අමතරව,

2. ගර්භණිභාවය
3. උදරය හා උකුල ආශ්‍රිත ප්‍රදේශවල පිළිකාමය තත්වයන්
4. අධික ස්ථුලතාවය
5. කෙදි සහිත ආහාර භාවිතය අඩුකම
6. ගුද සංසර්ගය

ආදිය දක්වන්නට පුළුවන්, වැඩි වශයෙන් වයස්ගත වීමත් සමග මෙම තත්වය ඇතිවිම බහුලව දකින්නට ලැබෙනවා. ගුද මාර්ගය ආශ්‍රිත පටකවල ශක්තිමත් බව ක්‍රමක්‍රමයෙන් අඩුවීම මෙයට හේතුවනවා.

අර්ශස් අමාරුව නිසා ඇතිවන රෝගී ලක්ෂණ මොනවාද?

1. මලපහ සමග රුධිරය පිටවිම: විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙහිදි පිටවන්නේ රතු පැහැති රුධිරය (fresh blood) වීමයි. නමුත් ආහාර ජීර්ණ පද්ධතියේ ඉහළ කොටස්වල ඇතිවන රුධිර ගැලීම් කලු හෝ කුණු ලේ පැහැයෙන් යුක්ත වනවා. මළපහ කිරීම ආරම්භ කිරිමේදී රුධිරය විදිමක් ඇතිවීම අර්ශස් රෝගයේ තවත් ලක්ෂණයක්.

රුධිරය මලපහ සමග මිශ්‍රව ඇත්නම් හෝ රුධිරය අවපහ හෝ තාර පැහැති වි ඇත්නම් මෙම රුධිර ගැල්මට හේතුව අර්ශස් නොවිමට ඇති ඉඩකඩ බහුලයි.

2. වේදනාවකින් තොරවිම: ගුදමාර්ග ආශ්‍රිතව රුධිර ගැල්මක් සමග වේදනාකාරි බවක් ඇතිවනුයේ බොහෝවිට වෙනත් හේතුන් නිසාවෙනි. මද අපහසුතාවයක් ඇතිවුවත් අර්ශස් වලදි තදබල වේදනාවක් ඇති නොවන තරම්ය.

3. ගුද විවරය අසල කැසීම හා අසහනකාරී බවක් ඇතිවිම. සුදු සෙවල සහිත ශ්‍රාවයන් නිකුත්විම.

4.ගුද විවරයෙන් පිටතට සියුම් ගැටිත්තක් ඇතිබව දැනීම හා යම් විටක එය පිටතට ඇගිල්ලකින් ස්පර්ශ කල හැකි විම.

මෙම ලක්ෂණ වලට අදාල නොවන පරිදි වන රුධිර ගැලීමක් නම්, (එනම් රුධිර පැහැය, වේදනාව ආදිය) වෙනස්නම් මෙය මහා බඩවැල හෝ ගුද මාර්ගයේ පිළිකා ආශ්‍රිත රෝගි තත්වයක් විමට වඩා ඉඩකඩ ඇති බැවින්, මේ සදහා අනිවාර්යයෙන්ම වෛද්‍ය සහය ඔබ පැතිය යුතු වනවා. යම් විටක ඔබ හට මෙම අවස්ථාවල වෙනස්කම් වටහාගත නොහැකි වන්නට පුළුවන්. එම නිසා යම් ගුද මාර්ගය ආශ්‍රිත ලේ ගැලීමක් ඇතිවුවහොත් වඩාත් සුදුසු වන්නේ පමා නොවි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි

අර්ශස් රෝගී තත්වය තීව්‍ර වන තෙක් ඔබ නොසිටිය යුත්තේ ඇයි?

1. රක්තහීනතාවය (Anemia)

කුඩා ප්‍රමාණවලින් වුවද, වරින් වර සිදුවන රුධිර ගැලීම නිසා ඔබ නොදැනුවත්වම මෙම රක්තහීනතාව ඇති වනවා. සාමාන්‍ය ව්‍යහාරයේ යෙදෙන පරිදි මෙම ‘ලේ මදිකම’ නිසා ඔබගේ ශරීරයේ සෛල ක්‍රියාකාරීත්වය සඳහා නිසි පරිදි ඔක්සිජන් නොලැබී යනවා. ඔබට ඇතිවන අධික විඩාව, තෙහෙට්ටුව, ඇඟ පණ නැති ගතිය, අලස හා කම්මැලි ස්වභාවයට හේතුවන්නේ මෙයයි.

තවත් ඔබ සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ මෙම අර්ශස් ගැටිති ආශ්‍රිතව ඔබට අධික වේදනාවක් හටගන්නේ නම්, ඉන් අදහස් වන්නේ එම ගැටිත්ත සදහා රුධිර නාල අධික තෙරපුමට ලක්විම නිසා එම ප්‍රදේශයට රුධිර සැපයුම නැවති ඇති බවයි. (strangulated haemarroides) ලෙස හදුන්වන මෙම තත්වය ඉතාමත් දැඩි වේදනාවක් ගෙන දෙන්නට හේතු වනවා.

ගුද මාර්ගය හරහා රුධිරය ගැලිම අර්ශස් නිසා සිදුවන බවත්, අනෙකුත් රෝගි තත්වයන් වලින් වෙන්කර නිශ්චය කරගත හැක්කේ කෙසේද?

මුලිකවම මෙය රෝගියාගේ රෝගී ලක්ෂණ මඟින් තරමක් දුරට තීරණය කරගැන්මට හැකිවනවා. වේදනාවක් ඇතිවිම හෝ නැතිවීම, රුධිරයේ පැහැය හා මලපහත් සමග රුධිර පිටවන අවස්ථාව නිර්ණය ආදිය මෙයට දායක වනවා.

මීට අමතරව ගුද මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය පරික්ෂාවට ලක්කිරිමද සිදුකල යුතු වනවා.

  • මෙය වෛද්‍යවරයකු විසින් සෘජුව පරික්ෂාවට ලක්කිරිම (Per rectal examination).
  • ගුද මාර්ගය හා මහ බඩවැල ආශ්‍රිතව කැමරා මගින් නිරික්ෂණය කිරිම.
  • රුධිර පරීක්ෂණ ආදිය මගින් තහවුරු කරගත හැකිවනවා.

අර්ශස් ඇතිවීමට පෙර එය වලක්වා ගැනිම සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ග

  1. මෙයට මුලිකම හේතුව වන්නේ ජලය පානය මද බවත් කෙඳි සහිත ආහාර මද බවත් නිසා ඇතිවන මල බද්ධයයි (constipation). එම නිසා පිළියම් ලෙස හොඳින් ජලය පානය කිරීමත්, කෙඳි සහිත ආහාර ද්‍රව්‍ය භාවිතයත් අනිවාර්ය වනවා. කෙඳි සහිත ආහාර ද්‍රව්‍ය ලෙස පළතුරු වර්ග, එළවලු වර්ග හා ධාන්‍ය වර්ග ආහාර වේලට එකතු කරගන්නට පුළුවන්. මීට අමතරව හරක් මස්, උරු මස් හා එළු මස් (red meat) ආදී අධික මේද අඩංගු ආහාර මලබද්ධය ඇතිවිමට තුඩුදෙන නිසා මේම ආහාර වලින් ප්‍රවේසම් වීම වැදගත් වනවා.මලපහ පිටවිම අසීරුවෙන් සිදුවන්නේ නම් හෝ දිනකට වරක්වත් සිදුනොවන්නේ නම්, ජලය ලීටර 2ක් පමණවත් අවම වශයෙන් දිනකට පානය කල යුතු වනවා.
  2. තරබාරු බව අවම කර ගැනීම.
  3. ගුද සංසර්ගය සදහා යොමුවීම අවම කිරීම.
  4. ගර්භණි සමයේදි මලබද්ධය ඇතිවිමට ඇති හැකියාව මඟ හැරවීම.
  5. වැසිකිලි යාමේදි අධික පීඩනයක් නොයෙදවීම. (අනවශ්‍ය ලෙස තැටමීම සිදු නොකිරීම)
  6. වැසිකිලි යාමට අවශ්‍ය වූ විට එම කාර්ය නිමකළ යුතු අතර අපහසුවෙන් එම අවශ්‍යතාව නොසලකා සිටඅම සිදු නොකල යුතුයි.
  7. යම් ඖෂධ වර්ග භාවිතයද මලබද්ධය ඇතිවිමට තුඩු දෙන කරුණක් වෙනවා. (උදා: කැස්ස පැණිය) එම නිසා යම් ඖෂධ වර්ගයක් භාවිතයෙන් පසු බඩ වේලීමක් හෝ වැසිකිලිය භාවිතයට අවශ්‍යතාවයක් ඇති නොවීමක් ඇතිවුවහොත් ඔබගේ වෛද්‍යවරයා වෙත නැවත යොමුවී මේ බව දන්වා සිටින්න. මෙයට පිළියම් ලෙස ලබාදිමට හැකි ඖෂධ වර්ගයක් එවිට ඔබට නිර්දේශ කරනු ඇත.

අර්ශස් සදහා ලබාගත හැකි ප්‍රතිකාර

අර්ශස් ඇතිවීම වළක්වාගැනීමට යොදාගන්නා පියවර සියල්ලම ප්‍රතිකාර වශයෙන් යොදාගැනීම අතවශ්‍ය වනවා. අර්ශස් රෝගි තත්වයේ මුල් අවදියේදි මිට අමතරව මලපහ පිට කිරීම පහසුකරවන (stool softners) භාවිතා කරන්නට පුළුවන්. නමුත් මෙය බැරෑරුම් තත්වයකට පැමිණි ඇත්නම් සුළු ශල්‍යකාර්ම සඳහාද, ඒවා මගින් සුවයක් නොලැබෙන බව හැඟේනම් අර්ශස් ගැටිති ඉවත් කිරීම සඳහා හේතුවන ශල්‍යකර්ම සඳහා යොමුවිය හැකියි.

මෙම ක්‍රියාවලි අතර

    • ඖෂධ එන්නත් කිරීම (steroid injection)
    • බෑන්ඩ් පටි යෙදිම (Banding)
    • ස්ටේපල් කිරිම (stepling)
    • ලේසර් මගින් ඉවත් කිරිම
    • ශල්‍යකර්ම මගින් අර්ශස් ගැටිති ඉවත්කිරීම (haemarrhoidectomy)

ආදිය දැනට භාවිතා වේ. කුමන ක්‍රමයක් භාවිතා කළ යුතුද යන්න රෝගයේ තීව්‍රතාවය, හා එක් එක් රෝගියාගේ කායික හා මානසික ශක්තිමත් බව මත තීරණය කෙරෙනු ඇත.

බොහෝවිට අසන්නට ලැබී ඇති හෝ අත්දැක ඇති රෝගයක් වන අර්ශස් රෝගය පිළිබඳව යම් අවබෝධයක් මෙම ලිපිය මඟින් ඔබට ලැබෙන්නට ඇතැයි සිතමු.

Author – Dr. H.Vithana (M.B.B.S)

Read More: අත් හිරිවැටීම

මෙම ලිපිය share කර දැනුම බෙදාහදා ගනිමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments