වකුගඩු හා මුත්‍රා මාර්ගය ආශ්‍රිත ගල් හටගැනීම (kidney & renal stone)

muthra-1වකුගඩු, මුත්‍රාවාහිනි, මුත්‍රාශය යන ප්‍රධාන කොටස් වලින් මිනිස් මුත්‍රා මාර්ගය සමන්විත වනවා. මුත්‍රා ගල් හටගැනීම අද සමාජයේ අපට සුලභව ඇසෙන්නට ලැබෙන කරුණක්. නොදැනිම රෝග කාරක ගල පහවී ඉබේම සුවවිය හැකි තරමේ රෝග ලක්ෂණ වල සිට, දරන්නට නොහැකි තරම් වන අධික කැක්කුම් ගෙන දෙන අවස්ථා දක්වා මෙහි රෝගී පරාසය විහිදෙනවා.

මුත්‍රා ගල් හැදෙන්නේ කෙලෙසේද? ඒ බව රෝගී ලක්ෂණ වල නිර්ණය කරගන්නේ කෙසේද? මෙවැනි තත්වයන් ඇතිවීම වලක්වා ගන්නේ කෙසේද යන්න අද මෙම ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

වකුගඩු හා මුත්‍රා මාර්ගය ආශ්‍රිත ගල් හටගැනීම

මුත්‍රාගල් වල මුලිකම එක් ලක්ෂණයක් වන්නේ වේදනාකාරි බවයි. මෙම වේදනාව, ගල පවතින ස්ථානය, එහි ප්‍රමාණය ආදිය මත සෘජුවම වෙනස් වෙනවා.

නොසොල්මනේ පවතින කුඩා ගලකින් වේදනාව ගෙනදීමක් වනවා අවමයි. නමුත් එයට යම් චලනයන් දක්වන්නට හැකි වීමත් සමග වේදනාව ඇතිවිම සුලභයි.

Kidney-Stones

 

  • වකුගඩු: මෙහිදි ඇතිවන්නේ තද බල පිට කොන්දේ වේදනාවක්. පිට අතින් තද කල විට මෙම වේදනාව තීව්‍ර වෙනවා. මෙම වේදනාව දිගින් දිගටම නොනවත්වා පවතින කැක්කුමක් ලෙස හටගනි.
  • මුත්‍රාවාහිනි: වකුගඩු වල හටගත් ගල් මුත්‍රා නාල දිගේ පහලට ගලා එම නිසා හෝ එම නාල තුලම ගල් හටගැනීමත් නිසා මෙම වේදනාව ඇතිවන්නට පුළුවන්. වම් හෝ දකුණු ඇල වල සිට ආරම්භ වන වේදනාව ක්‍රමයෙන් පහලට ගමන් කර රහස් ප්‍රදේශ දක්වාම පැතිරෙන්නට පුළුවන්. වකුගඩු ගල් වලින් ඇතිවන වේදනාව මෙන් නොව මෙය වරින් වර ඇතිවන අතර, එක දිගට නොපවතී. එමෙන්ම පුද්ගලයාගේ චලනයන් මගින් මෙම වේදනාව අතිශයින් තීව්‍ර කරයි. එලෙස වරින්වර වේදනාව ඇතිවන්නේ මුත්‍රාගල් කුඩා වාහිනි නාල තුලින් පහලට ගමන් කිරීමට උත්සහ කිරීමේදියි.
  • මුත්‍රාශය: මෙහිදිද ඇතිවන්නේ දිගින් දිගටම පවතින තියුණු නොවන යටි බඩ වේදනාවකි.

වේදනාව හැරුණු විට මුත්‍රාගල් වල අනෙකුත් රෝගී ලක්ෂණ තිබෙනවාද?

ඔව්, වේදනාවට අමතරව අනෙක් මුලිකම ලක්ෂණය වන්නේ මුත්‍රා සමඟ රුධිරය පිටවීමයි. බොහෝ පුද්ගලයන්ට මෙය පැහැදිලිව රුධිරය ලෙස හදුනාගන්නට අපහසුවනවා. මුත්‍රාවල වර්ණයේ වෙනසක් ලෙස හදුනාගන්නා මෙය බොහෝ විට තේ කහට සිට කෝලා (cola ) පැහැය දක්වාම වෙනස් වන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ මුත්‍රා මාර්ගය ආශ්‍රිත සියුම් පටක හරහා මෙම මුත්‍රාගල් ගමන් කිරීමේදී ඒවා තුවාල වී එයින් ගලන රුධිරය මුත්‍රා සමග මිශ්‍ර වී පහවි යාමයි.

  • වමනය සහ ඔක්කාරය
  • ගලේ ස්භාවය හා ප්‍රමාණය අනුව මුත්‍රාශයේ පිටත විවරයේ මෙම ගල් සිරවිම සිදුවෙන්නට පුළුවන්. එවිට මුත්‍රා පහ කිරීමේ නොහැකියාව එනම් මුත්‍රා අඩස්සිය හා වේදනාකාරී ලෙස මුත්‍රාකිරීමේ තදබල උවමනාවක් ඇතිවනවා.
  • ගල් රැඳීම නිසා නිතර මුත්‍රා අසාදන ඇතිවීමත් එම නිසා අසාදිත දුගන්ධයක් සහිත මුත්‍රා පිටවීම. උණ වෙව්ලීම ආදියත් ඇතිවන්නට පුළුවන්.
  • මිට අමතරව නිතර මුත්‍රා කිරීමේ උවමනාව ඇතිවීම එනම්, නැවත නැවත මුත්‍රා කිරීමේ උවමනාව හා දිනකට මුත්‍රා කරන වාර ගණන ඉහළ යාම ආදී ලක්ෂණත් මුත්‍රා ගල් නිසා ඇතිවෙනවා.

මුත්‍රා ගල් ඇතිවීමට හේතුව කුමක්ද?

නිශ්චිත හේතුවක් ලෙස ඒක්‌ හේතුවක් දක්වන්නට බැහැ. මුත්‍රා ගල් වර්ග කිහිපයක් තිබෙනවා. ඒ එක් එක් ඒවා ඇතිවන්න විවිධ කරුණු හේතුවනවා. ශරීර අභ්‍යන්තර වගේම බාහිරයෙනුත් මේ සඳහා බලපැම්
තිබෙනවා.

1. කැල්සියම් ගල් :

බොහොමයක් මුත්‍රා ගල් වලට හේතුව මෙයයි. කැල්සියම් ඔක්සලේට් ලෙස හටගන්නා මේවා, ඇතිවන්නේ ශරීරයේ පවතින කැල්සියම් හා ඔක්සලේට් වල සමතුලිතතාව බිදවැටීම නිසයි. අධික කැල්සියම්, විටමින් D, ආහාර මාර්ගයේ by pass ඔපරේෂන් වගේ දේවල් සහ කැල්සියම් සාන්ද්‍රණය පාලනය කරවන පැරාතයිරොයිඩ් නම් හෝමෝනයේ අසාමාන්‍යතා අධික කැල්සියම් වලට හේතු වනවා. තවද, අක්මාව මගින් නිපදවන ඔක්සලේට්ද ශරීරයට එක් කරනවා. අධික සාන්ද්‍රණ වලින් මුත්‍රාවලට එක්වන මේවා මුත්‍රා මාර්ගයේ කොහේ හෝ ගල් කැබලි බවට පත්වෙනවා.

2. යුරික් ඇසිඩ් ගල් :

අධික දහදිය දමන, ජලය පානය ප්‍රමාණවත් ලෙස සිදු නොකරන යට මෙකි බලපෑම වැඩියි. අධික ප්‍රෝටීන (Whey Protein) සහිත ආහාර පානත් මෙයට අවදානමක්.

3. සැන්තීන් සිස්ටීන් සහ වෙනත් ගල් වර්ග :

මේවා තරමක් දුලභ වන අතර බොහෝවිට ජානමය හේතු නිසාත්, ශරීර අභ්‍යන්තරයේ ආහාර බිද දැමීමේ ක්‍රියාවලි වල වෙනස්වීම් නිසාත් ඇතිවනවා.

නිතර නිතර මුත්‍රා අසාදන වලට ලක්වීමත්, මුත්‍රා ගල් ඇතිවීමට හේතුවන තවත් එක් සාධකයක්. මුත්‍රා අසාදන අවම කරගැනීම සදහා සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් යොදාගැනීම මගින් මේ තත්වය අවම කල හැකියි.

මුත්‍රා ගල් ඇතිවීම වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

රෝගයක් ඇතිවූ පසු සුව කරගැනීමට වඩා, එය ඇතිවීම වලක්වා ගැනීම වඩාත් ඵලදායි වනවා.

  • දිනපතා අවම වතුර ලීටර 2 – 2.5 පමණවත් පානය කරනවානම් එය සෞඛ්‍යට සැම අතින්ම හිතකර වනවා. ඔබ ජිවත් වන පරිසරය ඉතා රස්නය සහිත, දහදිය වැඩිපුර දමන ප්‍රදේශයක් නම් මේ ප්‍රමාණය තවත් වැඩිකරගත යුතුයි.
  • ඉහත සදහන් කල ආහාර පාන වලින් තරමක් වැලකි සිටීම.
  • කැල්සියම් ආහාර මගින් ලබාගත්තද, බාහිරින් කැල්සියම් supplement ලෙස ලබා නොගැනීම.
  • අධික ප්‍රෝටීන්, සිනි, ලුණු සහිත ආහාර අවම කිරීම.
  • උදරය ආශ්‍රිත ස්ථුලතාවය අඩු කරගැනීම.

ආදිය ඔබට ගත හැකි පියවර කිහිපයක්.

පවුලේ අයෙක්ට මුත්‍රා ගල් පිලිබඳව රෝග ඉතිහාසයක් පැවතීම හෝ යම් රෝගී ලක්ෂණයක් නිසා ඒ පිලිබදව යම් බියකින් පසුවන්නේ නම් හෝ වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වනවා. මන්ද යත් වර්තමාන පරීක්ෂණ මගින් මෙම තත්වයන් පහසුවෙන් නිර්ණය කරගන්නට හැකියාව තිබෙනවා.

රෝගී නිර්ණය හා ප්‍රතිකාර ක්‍රම ගැන කෙටියෙන් සාකච්ඡා කරමු.

මුත්‍රා ගල් සදහා වන රෝග නිර්ණක පරීක්ෂණ මේ සදහා වන ප්‍රතිකාර මොනවාද?

  • මුත්‍රා පරීක්ෂණ – මුත්‍රා සංඝටකයන් වල වෙනස්වීම් ඇත්ද? රුධිරය මුත්‍රා වලට එක්වීමක් ඇත්ද ආදිය දැනගැනීම.
  • ලවණ වර්ග – ශරීරයේ විවිධ අයන හා ලවණ වර්ගයන්ගෙ සාන්ද්‍රණ වල වෙනස්වීම් ඇතිද යන්න.
  • මිට අමතරව සෘජුවම, ගල් පවතින ස්ථානය, ප්‍රමාණය, ආදිය නිර්ණය කිරීමට x-කිරණ, ultra sound පරීක්ෂණ, ඩයි පරීක්ෂණ ආදිය උපකාරී වනවා.

මේ අයුරට හඳුනාගන්නා මුත්‍රා ගල් ඉවත් කිරීමට අනිවාර්යෙන්ම ශල්‍යකර්මයක් සිදුකල යුතු වන්නේ නැහැ.

කුඩා ප්‍රමාණයේ, පද්ධතියේ පහල මට්ටමේ ඇති ගල් – වැඩිපුර වතුර පානය මගින් මුත්‍රා සමගම පිටවි යන්නට පුළුවන්. මෙහිදි ඇතිවන වේදනාව අවම කිරීමට වේදනා නාශකත්, මුත්‍රාවාහිනී සියුම් නල වල සංකෝචන හැකියාව අවම කර, ගල් වලට පහලට ගමන් කිරීම පහසු කරවන ඖෂධත් මේ සමගම ලබාගන්නට පුළුවන්.

මුත්‍රා මගින් පහ කල නොහැකි ගල් පවතින ස්ථානය හා ඒවායේ ප්‍රමාණය අනුව, කම්පන තරංග මගින් කුඩා කැබලි කොට ඉවත් කිරීම, කැමරා පරීක්ෂණ මගින් හදුනාගෙන ඒ හරහාම ඉවත්කිරිම ආදි ශල්‍යකර්ම අද වන විට සිදුකරනවා. මිට අමතරව වකුගඩු, මුත්‍රාශය, මුත්‍රාවාහිනී සෘජුව ශල්‍යකර්ම වලට භාජනය කර ගල් ඉවත් කිරීමද සිදුකල හැකියි.

නිතර කතා බහට ගැනෙන මාතෘකාවක් ගැන, ඔබ නොදැන සිටි දේ පිලිබඳව ඔබව දැනුවත් කිරීමට ගත් උත්සාහය සාර්ථක යයි සිතමු. මේ පිලිබඳව යම් ගැටලු වෙතොත් විමසන්න. AskMyDoctor.lk වෙතින්.

Author – Dr. H.Vithana (M.B.B.S)

Read More: අත් හිරිවැටීම

මෙම ලිපිය share කර දැනුම බෙදාහදා ගනිමු.

Author : Dr. H.Vithana (M.B.B.S)

Comments